මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, March 14, 2017

මාර්තු පළවෙනි බදාදා

ජිවිතේ සමහර දවස් තියෙනවා ඒ දවස් හිතට හරිම විශේෂයක් එකතු කරනවා. අදත් එහෙම දවසක්. ඒ වෙන මොකුත්ම හින්දා නෙමෙයි, මම කියන ජීවියා මෙන්න මේ විදිහට මේ ලෝකය දකින්න, ඒ ලෝකේ සැරිසරන්න ඕනෑය කියලා හරි, මෙන්න මේ විදිහට හිතන්න පතන්න ඕනෑය කියලා හරි කවුරුම හරි සැලසුමක් හැදුවා නම් අන්න ඒ විදිහට ඇන්ද පිඹුරු පතට අඩිතාලම වැටුණේ අද වගේ දවසක හින්දායි.


හැම අවුරුද්දකම මාර්තු පළවෙනිදා කියන්නේ මෙන්න මේ විශේෂත්වයෙන් මගේ හිත පිරෙන දවසක්. මම අම්මායැයි හඳුනාගත් ඒ ගැහැණියත්, මම අප්පච්චියැයි හඳුනාගත් ඒ මිනිසාත් අතින් අත බැඳුන දිනය, මේ ඔවුන් දෙදෙනා එක්ව සමරන තිස් හත්වන අවුරුද්ද.


අප්පච්චී,
නුඹ රළව ...
ඈ වෙරළව ...
රළ වෙරළ සිඹිද්දී,
ඒ මහෑඟි ආදරයේ ...
              අනුහසින්
ඵල දැරු 
ඉතිං දැන් 
අපි කවුද?


ඒ  ඔවුන් දෙදෙනාගෙන් දුරක මා රැදී ගෙවී ගිය එවන් එක් දිනකදී ලියවුවක්. මතක විදිහටම ඒ අම්මාගේ ආදරේ තදින් දැනුන තවත්  දවසක්.

ඊට පස්සෙන් පහු හැම අවුරුද්දකම අම්මාටත් අප්පච්චිටත් දුරකථනයෙන් සුබ පතමින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් යමක් ලිවීම පමණක් සිදු කරන්නට වන්නේ, ඒ සෑම දිනයක්ම ඔවුන්ගෙන් සැතපුම් ගණන් බොහෝ දුරක හිඳින්නට සිදු වීම හේතුවෙනි.


අප්පච්චි,
ජිවිතේ මහ මෙරක් බර උර මත්තේ රඳවාන
සිනාසුන දියත නම් නුඹයි.

අම්මා,
ජිවිතේ නෙත කඳුළු පපුතුරේ රඳවාන 
හඩාවැටුනු දියත නම් නුඹයි.

දියත දියවර එක්න මැවු
පහන් ලොව
සහන් එළිය නම්...

නුඹ ඇය
දැඟිලි බැඳ
මැවු ලොව
අපිමැයි... 


හිතින් උස, ගතින් පුංචි මනුස්සයෙක් වෙච්චි අප්පච්චි එක්ක දීග එන්න අම්මාට තිබුණ හොඳම හේතුව වෙන්න ඇත්තේ, අප්පච්චි ලඟ තිබුණ නොසැලෙන ශක්තියම වෙන්න ඇති. ඒත් පුංචිම දවස්වල අපිට තිබුණ එකම ප්‍රශ්නය වුනේ කළුම කළු අප්පච්චිගේ රූපේට අම්මාට කැමති වෙන්න තිබුණ හේතුව මොකක්ද කියන එකයි. ඒ ප්‍රශ්නේම අද ඇහුවත් ඇය හිනාවකින් මිසක වචනයකින් උත්තර නොදෙන බව නම් මට හොඳටම විශ්වාසයි. 


කොහොම උනත්, පිච්ච මලේ වහපු කපුටා වෙච්ච අප්පච්චි ඒ උපහාස කතාව දරා ගත්තේ අස් වල ඇදිච්ච හිනාවකින්. වසර ගණනාවකට පසුත් කේක් කපලා උත්සව වලින් සැමරුවේ නැතුවාට උදේම නැඟිටලා කිරි බතක් හදන ඒක අම්මා නොකර ඉන්න දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. අදත් එහේ එහෙම ඇති. 


අප්පච්චි,
මහා සමුදුර නුඹයි..
විටෙක සැඩ රළ නඟින,

අම්මා,
අහස් කුස නුඹයි..
පිණි කඳුළු වගුරවන,

ක්ෂිතිජ ඉම එක් කළා
මහ සයුර අහස් කුස
රන් හුයෙන් බැඳුන දා
වාගේමයි ඔබ දෙදෙන.


අද යමක් ලියන්නට නොහැකි කාර්යබහුල බවින් මා පිරියද්දී, මතකයට නැඟුණූ අකුරු ඇමිණුම් එක්ක මේ සටහන ලියන්නේ හිතේ පිරිච්ච මහා ආදරයකින්. මෙන්න මේ දිනේ දි මම හිතන්නේම, මට හිතෙන්නේම...


අප්පච්චි,
ඔබට ඇය හිමි වන්නේත්,

අම්මා,
ඔබට ඔහු හිමි වන්නේත්,

ඒ අප නිසාම වන්නට ඇති බවයි.

එවන් ආදරයක් එකතු කර ඔබ අපට දෙන්නට, සසර කවරදාක හෝ සිට පීරූ පෙරුමක් නිසාම වන්නට ඇති.
 තවත් කල්පයක් සසර හමුවේ නම් අප ඒ ඔබ දෙදෙන එක්ව සදන අත්පහුරේම වේවා.




 අම්මා...
අප්පච්චි...

ඔබ දෙදෙනාටම සුබ යුග දිවියක්.
 

4 comments:

  1. සඳත් හිරුත් පෙරුමන් පිරු බව දනිමී
    තරුත් එක්ව සතුටක් විඳි බව සිතමී
    තවත් සතුට නිරෝගි සුව නිති පතමී
    මමත් නුඹේ මාපිය වෙත සුභ පතමී.....

    ජයවේවා!!!

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...