මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, March 30, 2017

මාර් තු හය වෙනි සඳුදා

අද යාත්‍රාට අලුත් දවසක් නෙමෙයි. වෙනදා වගේම ඉර පායපු දවසක්. වෙනදා රාජකාරි ඒ විදිහටම යාත්‍රා ඉස්සරහා ගොඩ ගැහිලා තිබුණ දවසක්. ඒ වගේම යාත්‍රා ඉන්නේ වෙනදා වගේම සතුටෙන් කියලා මවා ගන්න උත්සහ කරපු දවසක්. අද කියන්නේ ඇත්තටම යාත්‍රා නම  මහම මහ එපා කරපු දවසක්.

යාත්‍රා උදේම බස් එකට ගොඩ උනේ වෙනදා කඳ බැදගෙන එන හිනාව එක්ක නෙමෙයි. කොහොමත් යාත්‍රා හිනා නොවෙන වෙලාවට, ඔව් සමහර විට ඒ වෙලාවට ඔරව ගත්ත, තරහින් පිරිච්ච රතු වෙච්ච මහ එපා කරපු මුණත් තහඩුවක් තිබුණ කෙනෙක් වෙලා තිබුණා.

යාත්‍රා හිනාවක් මවා ගන්න ඕන උනේ බස් එකට ගොඩ වෙන සමහර හිතවතුන් කට පුරාම හිනා වෙලා සුබ උදැසනක් ප්‍රාර්ථනා කරන හින්දා.

ඔතනින් ගොඩක් අය මුණට හිනා වෙලා  පස්සට ඔරවන අය කියලා යාත්‍රා හොඳටම දන්නවා. ඒ හින්දමයි වෙනදා පුරුද්දට වගේම, ඔළුව ජනේලේට හේත්තු කර ගෙන නිදි කිරා වැටුණේ. මුණට හිනා වෙලා පස්සට ඔරවන්න යාත්‍රා පුරුදු නෑ. ඒ හින්දාමයි යාත්‍රා  ඔය විදිහට අහක බලා ගන්නේ.

එත් යාත්‍රා වැඩි වෙලා ඔළුව ජනේලේට හේත්තු කර ගෙන අහක බලාගෙන ඉන්න බැරි උනා. ඒ සුදු පාට නිළ තතතතඇඳුම් ඇද ගත්ත නංගි කෙනෙකුයි මල්ලී කෙනෙකුයි යාත්‍රා ඉස්සරහා හිට ගත්ත හින්දා. ආදර කතාවක් ලියලා නැති යාත්‍රා  හොඳටම පුළුවන් වැඩේ අනුන්ගේ ආදර කතා කියවන එක. ඒක එක්තරා විදිහක රහක් තිබුණ දෙයක්. එහෙම කියවන කතාවල අවසානයක් යාත්‍රා කිසිම දවසක දැන නොගන්නවා උනත්, මුල මැද අග ගලපන්නත්, සමහර අනුමාන කිරිම් වලටත්, නිගමන වලටත් යාත්‍රා පහසුවෙන් එළඹෙන්න පුළුවන් නිසා ආදර කතා විතරක් නෙවෙයි ඇහෙන ගැටෙන දකින ඕනෑම ඕපා දුපයක් කියවන එක යාත්‍රා පුරුද්දක් වෙලා තිබුණා. දැන් නම් ඒක පුරුද්දකටත් වඩා ඇබ්බැහියක් කිව්වොත් හරි.

මේ සමහර දේවල් අහුවුනේ යාත්‍රාගේ  දකුණු ඇහැට. ඇස් දෙකෙන්ම එක එල්ලේ බලන එක නෙහොබිනා ක්‍රියාවක් කියලා යාත්‍රා දන්නවා. ඊටත් වඩා යාත්‍රා නිදහස කියන දේට එහෙම නැත්නම් ස්වාධිනයි කියන දේට හරි එහෙමත් නැත්නම් ඔය ළඟින් ම යන මොකක් හරි වචනෙකට ටිකක් විතර ගරු කරන හින්දා ද කොහෙද ඔවුන් දිහා එක එල්ලේ නොබලන්න තිරණේ කරලා තිබුණේ. දකුණු ඇහැට අහුවෙන සමහර දේවල් යාත්‍රාගේ මුණට මන්දහාස තවරන්න සමත් වෙච්ච දේවල් වුණා. සත්තකින්ම කිව්වොත් ඒක ඒ විදිහට උනා.

සමහර විට මේ පාසල් පෙම්වතුන් දෙදෙනාම විදිමින් ඉන්නේ කිරිකොඬු ආදරේ සුවඳ වෙන්න ඕන කියලා යාත්‍රාට හිතුනා. සුදු දිග කලිසමත් අලුත මහපු සුදු කමිසයකුත් ඇගලාගෙන හිටපු පිරිමි ළමයාගේ වම් අතට අහු වේලා තිබුණේ ගැණු ළමයාගේ දකුණතට මිට මෙලවුණු ඇගේ ලේන්සුවේ කොනක්. මේ කොල්ලයි කෙල්ලයි වචනයක්වත් හුවමාරු කර නොගෙන ලේන්සුවත් එක්ක කරන පෙම් පල හිලව්ව මොකක්ද කියලා යාත්‍රාගේ හොර බැලුම් විමසිලිමත් වුණා. කොල්ලා අල්ල ගත්ත ලේන්සු කොනින් අදිමින් කෙල්ලගේ අතින් ලේන්සුව ගලවා ගන්නට වැයම් කරනවා. කෙල්ල අත මිටි කරගෙන ලේන්සුව අතේම රදව ගන්න වැයම් කරනවා. විනාඩි හතලිහක් පනහක් උන මේ පෙම්වතුන්ගේ ගමාන්තය දක්වාම ඔවුන් ගුඩ් මෝර්නින් කියන වචන හුවමාරු කර ගැනීමට ඇරෙන්න වෙන වචනයක් හුවමාරු කර නොගත් බව යාත්‍රා ඇහිලා තිබුණා.

මුල්ම ගමනාන්තය හමුවුනේ පිරිමි ළමයාට. ඔහු බස් රථයෙන් බැහැලා ගියේ කෙල්ලගේ අතේ තිබුණ ලෙන්සුවත් අරගෙනමයි. කොහොම උනත් යාත්‍රාට තේරුම් ගන්න බැරි දෙයක් උනේ, කෙල්ල දාඩිය කුණු පිහදාපු ඒ ලේන්සුව මේ කොල්ලට මොකටද කියලා. අඩුම තරමේ කෙල්ලගේ සුළැගිල්ලෙන් හරි අල්ලන්න තිබුණානේ කියලායි යාත්‍රාට හිතුනේ. අද කාලේ කෙල්ලො කොල්ලෝ එහෙමනේ. එක යාත්‍රා දන්න දෙයක්. 

සමහර විට හවස ගමනේදී ආයෙමත් ලේන්සු හුවමාරුව සිදුවෙවී. සමහර විට ඒ ලෙන්සුවේම දැවටිලා හසුනක්, චොකලට්ටුවක්, ටොෆියක්, හුවමාරු වේවී කියලා යාත්‍රා හිතනවා. ඒ නැතත් සමහර විට වචන දාහකින් කියා ගන්න බැරි තරම් දේවල් ඔවුන් ලෙන්සුව හරහා පවසන්න ඇති.
මේ ඔවුන්ගේ කිරිකෝඩු ආදර කතාව උනත් සමහර විට ඒ අවසාන ආදර කතාව වෙන එකක් නැහැ කියලා යාත්‍රාට  හිතෙනවා. එත් මේ ඔවුන්ගේ අවසාන ආදර කතාව වේවා කියලා යාත්‍රා හිතුවා. කොහොම උනත් තවත් බොහෝ අය ඔවුන් දෙදෙනාට හමු වේවී. සමහර අය අතර මඟ නවතිවී. එත් මෙවැනි සුන්දර වු මතක ඔවුන්ගේ මතක වල ගැඹුරේම තැන්පත් වේවී.

කොහොම උනත් යාත්‍රාගේ මුස්පෙන්තු මුණට හිනාවක් එකතු කරන්න මේ පුංචි හාදයන්ට පුළුවන් උන නිසා යාත්‍රා මේ ආදරවන්තයන් දෙන්නට හිතින් සුබ පැතුවා. එත් යාත්‍රාට ආයෙමත් මළ පැන්නේ බස් රථයේ කණ පැලෙන්න තරම් සද්දේට දලා තිබුණ සිංදුව ඇහෙන්න ගත්තාම.

"
ඉක්මන් තිරණයක් ගත්තේ
තේරුම් යයි කළකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකථනේ
තාම බලනවා හැම තිස්සේ"

යාත්‍රා මේ ඇහෙන බස් සිංදුවලට අකමැති නිසාමත්, නාහෙන් ඇඬිල්ල අහන් ඉන්න බැරි හින්දාමත්, ඇස් කන් වහගෙන නින්දට වැටුණා.

6 comments:

  1. ඔය ලේන්සු පලහිලව් තාම තියනවා කිව්වම යාත්‍රා මට පුදුමයි...ඕවා තිබ්බෙ අපේ කාලෙ....අපේ එක්කෙනා...ඒ කාලෙ කැම්පස් එකෙන් මාව බලන්න එන්නෙ සති දෙක තුනකට පාරක්..ඒ එන එන සැරේට උන්දැට මගෙ ලේන්සුව ඕන අරන් යන්න...ඒ කාලෙ අරන් ගිය ලේන්සු ගාන බැලුවොත් කඩයක් දාන්න පුලුවන් තරම්....
    ඕවයෙ දවටලා ආයෙ මොකුත් ආපිට එන්නෙ නෑ....ඒවා එයාල සතු මතක...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ කාලෙ කියන්නෙ වැඩි දුරක වෙන්න බෑ නේ

      Delete
    3. මට ඒක දැක්කාම සතුටුයි අක්කා. මම හිතුවේ අපි නොහිතුවාට සුන්දරව උනුත් ජිවිතේ වදිනවා.

      Delete
  2. ලේන්සු අරන් ගිහිල්ලා කන්නෙයි
    ඔන පාන් භාගයක්වත්නම් කමක් නෑ

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...