මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, March 3, 2017

පෙබරවාරි විසි අට අඟහරුවාදා



ම පෝලිමේ හිටයේ දහ වෙනියට එහෙමත් නැත්නම් නම වෙනියට. මටත් පස්සෙන් පොළිම දිගු වෙනවා එන්න එන්නම. මේ පොළිමට එකතු වෙන හැම ගැණියෙක්ගෙමයි මිනිහෙක්ගෙමයි මුණු මට පෙන්න ගත්තේ එකම විදිහට. එත් මම දැනන් හිටියා ඒ අතර රවුම් මුණු, හතරැස් මුණු, දිගටි මුණු, පෙට්ටි මුණු, ඉලිප්සාකාර මුණු සමහර විට ඒ විදිහේ මුණු නැතුව ඇති මම කිව්වේ ඉලිප්සාකාර මුණු. එත් නෑ මයි කියන්න බෑ. මම හිතනවා එහෙම මුණුත් ඇති කියලා. එත් මට මේ හැම මුණක්ම පෙන්න ගත්තේ  ෂඩස්‍රාකාර විදිහට. එකම දිගටි මුණක්වත්, රවුම් මුණක්වත්, හතරැස් මුණක්වත්, පෙට්ටි මුණක්වත්අර කිව්ව විදිහේ ඉලිප්සාකාර මුණක්වත් මට පෙන්න මේ පෝළිමට එකතු උන්නෑ. එකතු උන ඒ හැම මුණක්ම ෂඩ්‍රාස්‍රාකාරයි.




මේ දැන් පෝළිමට එකතු උනේ හැඩකාර යුවතියක්. ඇය ඉන්නේ පහළ තට්ටුවේ ගිණුම් අංශයේ. ලෙජර මත නටන කුරුමිණි අඩු ඉලක්කම්  ඇයව වෙහෙසට පත් කරපු බව මුණෙන් පෙන්න තිබුණා. සමහර විට බිංදු පහකට වඩා වැඩි සංඛ්‍යා ගණන් කරලා ඇය වෙහෙසට පත් වෙලා ඇති. කොයි තරම් බිංදු ගණනින් වැඩි සංඛ්‍යා ගණන් කළත් කවදාවත් බිංදු හතරකට එහා පැත්තේ අගයකින් අපේ ගිණුම් පිරෙන්නැති බව අපි දන්නවා. එහෙම තමයි රාජ්‍ය සේවකයින් උනාම. කොහොම උනත් ඒ එකතු වෙන  ෂඩ්‍රාස්‍රාකාර මුණුවල මොනවද ලියවිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න අමාරුයි. 




ඔවුන් සියල්ලන්ම හිටියේ හිර වෙලා. ඔවුන්ට එයින් මිදෙන්න මාර්ගයක් පෙන්න තිබුණේ නෑ. එහෙම පෙන්න තිබුණත් ඒක බොහෝම දුරකින් තමයි පෙනුනේ. හරියට මිරිඟුවක් වගේ. ලං වෙන්න වෙන්න ඈතටම යන. එත් ඔවුන් කවදාවත්ම ඒ පසු පස්සේ යන එක අතඇරියේ නෑ. ඒක මිරිඟුවක් කියලා දැන දැනමත්. ඔවුන් හිතන්න ඇති, එහෙම නැත්නම් හිතේ කොහො හරි තැන්පත් වෙලා තියෙන්න ඇති කවදාම හරි ඔය කියන මිරිඟුව සැබෑවක් වෙයි කියලා. මමත් ඔය කියන කොටසට අයිති කෙනෙක්. සමහර විට මගේ මුණත් අනිත් අයට ෂඩ්‍රාස්‍රාකාර විදිහට පෙන්න ඇති. එහෙම නොවී තියෙන්න බැහැ අනිත් මිනිස්සු වගේම මමත් : බලාපොරොත්තු, ඉලක්ක, අරමුණු, හීන, අපේක්ෂා, විශ්වාස,  : වලින් පිරිලා ගිය මනුස්සයෙක් උනාම.




මගේ මුණ උඩ කොටසට වෙන්න පිරිලා තිබුණේ බලාපොරොත්තු, ඒ බලාපොරොත්තු හැම දෙයක්ම වෙලාවකට ඔළුවට බරක් වෙන්න ඇත්තේ ඒ නිසාම වෙන්න ඕන. එහෙම බරක් උනේ සමහර බලාපොරොත්තු තිබුණා ඉටු කරගන්නේ කොහොමද කියන මාර්ගයක්වත් පෙන්න තිබුණේ නැති. තවත් සමහර බලාපොරොත්තු තිබුණා ඒවා ඉටු වේලා උනත් හිතට කිසිම සැනසිල්ලක් , සතුටක් එකතු නොකරපු.




හීන නම් ඇඳිලා තිබිච්ච දෙයක්, දකුණු කණ දක්වාම වගේ ඒ හීන ඇඳලා තිබ්බා.  සමහර දවස් වල රෑට කණ අස්සේ මුණු මුණූ ගැවේ ඔන්න ඔය හීන වෙන්න ම ඕනේ. ඒ විතරක් නෙවෙයි ඇහැ පියවුණ ගමන් ඒ හීන ඇස් වලටත් එබිලා හිනා වෙලා ගියපු වේලාවල් තිබුණා. ඔය විදිහටම වම් පැත්තට වෙන්න, ඒ කිව්වේ වම් කණ ගාවට එනකම්ම අපේක්ෂා වලින් පිරිලා තිබුණේ. අපේක්ෂා කියන්නේ හීන වලට නොදෙවෙනි දෙයක් තමයි.




නලලත් කනත්  අතර ඒ විදිහට හීන වලිනුයි අපේක්ෂා වලිනුයි පිරිලා තිබුණා. එහෙම තිබුණයි කියලා නෑ, ඒ හීන අපේක්ෂා බිඳුන ගැහැණූත් මිනිස්සුත් මේ පෝලිමට එකතු වෙනවා මම දැක්කා. මම එහෙමයි කියලා  අඳුන ගන්න විශේෂ කාරණයක් උනේ ඒ ගැහැණුන්ගෙත් මිනිස්සුන්ගෙත් ඇස් ගිලිලා මැරිලා තිබුණ විදිහෙන්. ඔවුන්ට තිබුණේ මලානික සිනහවන්. මේ දැන් අගට වෙන්නට පෝළිමට එකතු උන ඒ  මැදි වියේ මිනිසාට තිබුණේත් ඒ විදිහේ හිනාවක්. මුණ පුරා වැවුණු රැවුලත් එක්ක බිඳුනු හීනයි, අපේක්ෂාවනුයි තාමත්  ඔහු දරාගෙන ඉන්නවා. ඔහු දන්නවාත් ඇති මේ දෙවල් ඔහුට කිසිම විදිහක ප්‍රයෝජනයක් නොවන බව, එත් ඔහු ඒ සියල්ල ඉවත නොදා උහුලගෙන ඉන්නවා. සමහර විටෙක ඔහුගේ මරණය දක්වාම ඔහු ඒ විදිහට ඒ බර දරාගෙන ඉදිවී.





එහෙම ඇදිච්ච හීන ඉවර උන තැනින්ම පටන් ගත්තේ ඉලක්ක, ඒ විදිහටම වම් පැත්තට වෙන්න තිබුණේ අරමුණු. ඉලක්කයි අරමුණූයි එකතු වෙන්න වෙන්න ඒ වගේම ඒ දේවල් ඉටු වෙන්න වෙන්න කම්මුල් වලට ලේ පිරෙන්න ගන්නවා. අන්න ඒ හින්දා වෙන්න ඕන එහෙම සමහර අරමුණු සමහර ඉලක්ක ඉටු කරගත්ත මිනිස්සුන්ගේත් ගැහැණුන්ගේත් කම්මුල් දිලිසෙන්න ගන්නවා ඇත්තේ. දැම් මේ පෝළිමට එකතු නොවී පෝළිම පහු කරගෙන ගිය අධ්‍යක්ෂතුමියත් එහෙම අරමුණු ඉලක්ක ඉටු කර ගත්ත කෙනෙක් වෙන්න ඕන. එත් එතුමියට තිබුණු මළ හිරු බහින වේලාටව අහසේ තැවැරෙන ලා අළු පාටට හුරු ඇස් දෙක මීදුම් පටලයකින් වැහිලා තිබුණා. ඒ ඇස් වලයි පෝළිම අගට එකතු උන මැදි වියේ මිනිසාගේ හිනාවයි අතරේ බොහෝම ළග නෑදැකමක් තියෙන්න ඕන කියලාමයි මට හිතුණේ.




විශ්වාසය කියන කාරණය තිබුණේ මුහුණේ පහළමට වෙන්න. හරියටම කිව්වොත් නිකට කිට්ටුවටම වෙන්න. හුඟාක් මිනිස්සු හිටියේ විශ්වාස කඩවීම් වලට ලක් වෙලා. ඔවුන්ට තවත් විශ්වාස කරන්නට දෙයක් නැති බව ඒ මුණු වලින් පෙන්න තිබුණා. මම දන්නවා මගේ නිකටත් ඊටත් උඩින් තියෙන කටත්, නාසයේ උඩටත් වෙන්න පැහැදිලිව බලන කෙනෙක්ට ඔය කියන කාරණය බොහෝම අපුරුවට අදුන ගන්න පුළුවන් කියන බව. කොහොම උනත් මට විතරක්ම නෙමෙයි මේ පෝළීමට එකතු වෙච්ච ගැහැණුන්ටත් , මිනිසුන්ටත් විතරක් නෙවෙයි පෝළිමට එකතු නොවී ගියපු ගැහැණුන්ටත් මිනිසුන්ටත් ඒ එකම ලක්ෂණය එකම විදිහට පිහිටලා තිබුණා. ඔවුන් හිටියේ විශ්වාස කඩවීම් වලින් වගේම තවදුරටත් විශ්වාස කළ හැකි දෙයක් ගැන නිශ්චයක් නැතුව.




මේ විදිහට මුණකම ඔය කිව්ව කාරණා එක එක විදිහට අඩු වැඩිව තිබුණා. ඒ විදිහට මට මේ හැම මුණක්ම ෂඩ්‍රාස්‍රාකාරව පෙන්න පටන් ගත්තා. සමහර විට ඊටත් වඩා වෙනස් විදිහට තවත් කෙනෙක්ට පෙන්න පුළුවන් කියලායි මට නම් හිතෙන්නේ. පෝළිම දිගු වීම නතර උනේ වේලාව හරියටම හතරයි කාල උන නිසා. ඇඟිල් සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල  සටහන් කරලා රාජකාරි ස්ථානයෙන් පිටත්වෙන වේලාවයි ඒ. ඉක්මණින්ම මගේ වාරය ලඟා උනා. කඩිමුඩියේ ඇඟිල්ල සටහන් කරපු මම නවාතැනට යන්න පිටත් වුණා.




තවත් ඒ විදිහේ ෂඩ්‍රාස්‍රාකාර මුණූ මට මුණ ගැහෙන්නට වුණා. ඒ හැම මුණක්ම නොනැවති මාව පහු කරගෙන ඔවුන්ගේ ඉදිරිය බලා ගමන් ගන්න ඇති. එත් ඔවුන්ටත් තියෙන්න ඇත්තේ බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස ය කියන දේවල් වලින් හැදිච්ච මුණූ කියන එක මම දන්නවා.




මිනිස්සු ඇස්, ඉස්, මස්, ඇට, ලේ, නහර, වලින් හැදෙනවා වගේම බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස කියන දේවල් වලින් ගොඩ නැගෙනවා.




මමත් එහෙම බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස එක්ක ජිවිතේ යාත්‍රාව ගැට ගහනවා. 





6 comments:

  1. මේ අපූරු ලිපියත් බලන ගමන් මාත් ගමනට එකතුවුණා. පහළින් තියෙන මූණු ටික දැක්කම සාමාන්‍ය පෙළ චිත්‍ර පන්තිය මතක් වුණා.
    ආ.... බලන් යනකොට යාත්‍රාව "දුමී" ගේ පළාතෙම හින්දා සතුටුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමී ගමනට එකතු උනාට

      ගහට ගහක් මුණ ගැහෙනවාලුනේ

      Delete
  2. නියම ලියවිල්ලක්

    ReplyDelete
  3. තමන් ගැනම හිතන්නට පාර කිව්ව ලිපියක්

    ReplyDelete
  4. ස්තුතී අක්කා
    වෙලාවකට නම් හිතන එකත් එපා වෙනවා

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...