මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, March 25, 2022

C ට ආදරෙන්,

 ආදරණිය C,


දන්නවද? C. මම කියන්නෑ මම ලිව්ව හැම කවියක්ම ඔයා වෙනුවෙන් ලිව්වා කියලා. හැබැයි ඒ ලියන හැම වේලාවකදීම ඔයා මගේ මතකයේ හිටියා. මිනිස්සු දාහක් අතරේ හිටියත් මට ඔයාව මතක් වෙන වාර මගේ ජිවි⁣තේ තිබුණා. තව දුරටත් තියෙනවා. හේතුවක් නැතිව කල්පනා කරපු කරන වේලාවල්, හේතුවක් නැතිව කඳුළු ආපු, කඳුළු එන වේලාවල් තව දුරටත් තියෙනවා. මේ දේවල් ඔයාට කියන එකේ තේරුමක් නෑ කියන්න දන්නවා C. ඔයා මගේ ජීවිතේ අමාරු කළා කියලා තවදුරටත් මම ඔයාට කියන්නෑ.  ඔයා මගේ ජීවිතේ කුඩා පරිච්ඡේදයක් දන්නවා. ඔයා ඒ පරිච්ඡේදයේ  ලොකු ම ජේදයක්.  ඒත් එතන ඉදන් හැම පරිච්ඡේදයක්ම මට විඩාවක් උනා. මට මම ගැනම පිළිකුලක් ඇති වෙච්ච වාර අනන්තවත් තිබුණා. මම දන්නවා ජිවිතේ හැමදාම එකම සරල රේඛාවක තියෙන්නෑ කියන්න. මට හිතෙනවා මම ඔයාගේ ජිවිතේ එක වැරදිකාරයෙක් කියලා. ඒ පසුතැවීම නිසා වෙන්න ඇති මම පහුගිය ටිකේම ඔයාට ලියන්න ඇත්තේ. ඒ ලීවිම් වලින් මට ඔයාගේ සැප දුක අහන්න ඕන උනේ නෑ C. මම දන්නවා ඔබ කොතරම් සුව පහසුවෙන් ඉන්නවද කියන්න.

මම හිතන්නේ C, මගේ හදවතේ කොටසක ඇති උන කඩා වැටීමක් මම සකස් කර ගන්න ඔයාව තෝර ගන්න ඇති. හැමදාමත් මට ඉන්න විශ්වාසවන්තම කෙනා විදිහට ඔයාව මතක් වෙනවා. කොච්චර අමාරු කාලයක උනත් මට ඔයාව ඒ විදිහටම මතක් වෙයි. හැමදාම මතක තියා ගන්න, කාලයකට පස්සේ උනත් මම ඔයාට ලියනවා නම් ඒ ඉතාම දරුණු විදිහට මාව කඩන් වැටිච්ච වෙලාවකදී කියන්න. එයින් අදහස් වෙන්නෑ අනිත් හැම වේලාවකම මම ඉතාමත් ප්‍රීතීයෙන් ඉන්නවා කියන්න. මිනිස්සුන්ට එහෙම ඉන්න බැහැනේ C. ඒත් ඒ හැම වෙලාවකදීම මම ඉතාම සැහැල්ලුවෙන් හිනා වෙනවා වෙන්නම ඕන. මම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට ඔයාව අමතක වෙනවා නෙවෙයි. ඒ හැම වේලාවකම මට හිතෙනවා මාත් එක්කම ඔයාත් හිනා වෙනවා ඇති කියලා C.

ආත්මගත පුරුදු ගැන, සංසාරගත බැඳීම් ගැන මම විශ්වාස කළා. බොෟද්ධයො හැටියට අපි ආත්මය විශ්වාස කරනවානේ. මම ගොඩ නඟා ගත්ත හැම සම්බන්ධයකටම මොකක් හරි හේතුවක් ඇති කියන්න මම විශ්වාස කළා. ඒත් මම එහෙම විශ්වාස කරපු හැම සම්බන්ධයකම තිබ්බේ ආත්මාර්ථය විතරයි. තවදුරටත් එහෙම සංසාරගත බැඳීම් ගැන මම විශ්වාස කරන තැනක නැහැ. අපි ආයෙමත් කවමදාවත් මේ සංසාරේ පෙම්වතුන් විදිහට මුණ නොගැසිය යුතුයි C.

" සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු,
සංසාරෙන් අපි සමු ගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු"

ආදරේ පිරුණු රාත්‍රීන් වල ඔබත් මමත් අතර කෙටි පණිවිඩ මඟින් හුවමාරු උන ගීතයේ මේ කොටස මතකද C. මා වෙනුවෙන් ඔබේ හදවත එවන් ප්‍රාර්ථනා තවදුරටත් දරා හිදින්නේ නැති බව මා දන්නවා. C, ඔබ වෙනුවෙන් එවන් වු ප්‍රාර්ථනයක් මගේ හදවතේ ද නොමැති බව ඔබ දැන ගත යුතුයි. C, සංසාරගත ප්‍රේමයක් නොමැති බවත් එයින් අත්මිදිය යුතු බවත් මා හොඳින් ම දන්නවා C.

ඒත් දන්නවද C, ඔයා මට ආදරේ  කරන්න පුළුවන් සුන්දරම විදිහට ආදරේ කරා. ඒ ආදරේ කරපු  විදිහට මමත්  ආදරේ කරා. ඒ හැමදේම මතකයක් වීම ගැන මම අද සතුටුයි. ඒ මතක වලට වගේම ඔයාටත් ආදරෙයි.

මේ දේවල් මම ලියන්න ඕන දේවල් නෙවෙයි කියන්න දන්නවා C. ඒත් ඔයා දන්නවද මට දැන් වචන නෑ C. මට  පාළුයි කියලා කියන්න වචන දන්නෑ. මම ඔයාට රිද්දන්න හිතාගෙන ලියන්නෑ. ඔයාට රිදෙන්නෑ කියන්න දන්නවා. මේ වචන මට  මගේ ඇතුළාන්තය හදා ගන්න උදව් වෙනවා C.

ආදරණිය C, ඉතිං මේ ලොකේ පුංචිම පුංචි මනුස්සයෙක්ගේ හිත හදා ගන්න උදව් උනා කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන් වෙයි,

හැමදාටම ආදරෙයි.
මම A. 



3 comments:

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...