මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, September 14, 2024

ඉතා මිටි මම

 


මගේ උස පහයි එකකි
ඔබ ඊට අඟල් දෙකක් වැඩිය
එහෙම බැලුවාම අපි ඉතා මිටිය
ගොඩක් පුංචිය.
ඇත්තම කිව්වොත් මේ ලෝකයම
අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය.

චක්කරේ පාඩං ගන්නකොට
හනස්සෙන් ගුටියක් දෙකක් කනකොට
පොඩි අප්පු ස⁣ර්ගේ ගණන් පංතියට
මාව ඇදගෙන යනකොට
ප්‍රැක්ට්‍රිස් කරලා රෑ වෙලා ගෙදර එනකොට
පුට් බයිසිකලේත් තල්ලු කරගෙන
ඔබ හන්දියේ ඉන්නවා දකිනකොට
ඔබට වැඩියෙන් උස යන්න
උවමනා උනා ඉතා මිටි මට

ඔබේ පසුපස දුව දුව
බට ලයින් අලවනකොට
මෝටරේ හදන්නට ඉස්කුරුප්පු නියං හොයන කොට
සමහරක් දවසක ඔබ එක්ක
බුලත් උර කර තියන් එනකොට
එකට එකතුව බතල කොටුවට
කල ගෙඩියෙන් වතුර අඳිනකොට
අත් අල්ලගෙන බස් එකක ෆුට් බෝඩ් එකේ යනකොට
මට හිතුනා මම
ඔබේ තරමටම උස බව

විභාග එකින් එක පාස් උනහම
විශ්ව විද්‍යාලෙක විද්‍යාර්ථයක් කිව්වහම
උපාධි සහතික පත්‍ර ගත්තම
රජයේ කන්තෝරුවක රස්සාවක් කළහම
ගෙදරට උවමනා අඩුවැඩිය ටිකක් මිළට ගත්තම
ඉතිං මට හිතුනා
ඔබට වැඩියෙන් මම ඉතා උස බව

බත් කටක් අනා ඔබේ මුවඟ තියනකොට
සුප් එකක් හදා බිඳෙන් බිඳ පොවනකොට
රාත්‍රිය පුරා නිදි නැතිව ඔබේ ළඟ ඉන්න කොට
හුස්මකට පසු තවත් හුස්මක් වැටෙනකම්
ඇහි පියන් ගැහෙනකොට
හිතෙනවා මට සංසාරයක් ලඟ
කොයි තරම් නම් මිටිද මම

එහෙම බැලුවම " අප්පච්චි"
සංසාරයක් ඔබ මට

ඉතා මිටි මම

  මගේ උස පහයි එකකි ඔබ ඊට අඟල් දෙකක් වැඩිය එහෙම බැලුවාම අපි ඉතා මිටිය ගොඩක් පුංචිය. ඇත්තම කිව්වොත් මේ ලෝකයම අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය....