ජුනි විසිහතර
අදත් ඉර පැයුවේ වෙනදා විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මම ඒක දැන ගත්තේ වෙනදා වගේම මම නිදන ඇදට ඉහළින් තියෙන ජනේලෙන් වැටෙන ඉර එළිය මගේ මාපට ඇඟිල්ලට වැටුණ විදිහෙන්. එහෙම ඉර එළිය වැටෙන්න හරියටම අට වෙන්න ඕන. දැන් තමයි ඒ මහත මිසි බෙහෙත් අරන් එන්නේ. මම කොට්ටෙන් ඔළුව ටිකක් උස්සලා බලන්නේ ඈත තියාම එයා එන විදිහ බලන්න. වම දකුණ වම දකුණ එයා එන්නේ පැද්දී පැද්දී. අදවත් මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා"
ජුලි හය
මහත මිසී දවස් දෙකකින් ඇවිත් නෑ. කෙට්ටු මිසී දුන්න බෙහෙත් වල පුදුම තිත්තක් තිබුණේ. තුන්වෙනි දවසේ මම කෙට්ටු මිසී දුන්න බෙහෙත් බිව්වේ නෑ. මම බෙහෙත් බොනකම් කෙට්ටු මිසී බලාගෙන උන්නෙත් නෑ. මිසී ගියාට පස්සේ මම බෙහෙත් පෙතී ඔක්කෝම සිරිපාලයාගේ කොට්ටේ යටට දැම්මා. කොයි වේලාවක හරි සිරිපාලයා බැනුම් අහාවී. ඕකට හොඳ වැඩේ.ඒ පිස්සා දවස් දෙකක්ම මහත මිසීට පාර හරස් කරලා බැන්නා. මහත මිසී ආවම මේ ඔක්කෝම කියලා හිනා වෙන්න ඕන.
ජුලි දහය
මම රෑ වෙනකම්ම තමයි බලාගෙන හිටියේ. අද රෑ වැඩ මහත මිසී කියලා කෙට්ටු මිසී උදේ බෙහෙත් දෙන්න ආපු වෙලාවේ කිව්වා. මහත මිසී දවස් ගානකින් දකිද්දි කළින්ට වඩා කෙට්ටු වෙලා තිබුණා. ඒකයි ලඟට එනකම්ම අඳුනගන්න බැරි උනේ. " වජිරට අපිව අමතකත් වෙලා" කියලා මහත මිසී කියපු විදිහට දුක හිතුනා. ඔළුව අත ගලා බෙහෙත් පෙති ටික අතේ තියද්දි ආයෙමත් ඒ දුක නැතුව ගියා. හෙටවත් මම මහත මිසීට කියන්න ඕන "දැන් මට පිස්සු නෑ. මම මිසීට ගොඩක් ආදරේයි කියලා"
ජුලි දහතුන
මහත මිසී ඒක අහලා හරි ලස්සනට හිනා වුනා. "වජිර පොඩි එකෙක් වගේ" කියලා වෙනදාට මහත මිසී තමයි කියන්නේ. "අද මහත මිසීත් පොඩි එකෙක් වගේනේ" මම මහත මිසීට කියනවා. " ඉතිං වජිර, වජිරත් පොඩියි, මමත් පොඩියි. ඒකනේ අපි ගැලපෙන්නේ." මහත මිසී එහෙම කියද්දි මට ලැජ්ජයි. " වජිර ඉක්මනට සනීප වෙන්න", මහත මිසී බෙහෙත් ටික අතින් තියලා හරි ආදරෙන් කියනවා. " මම මහත මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ. අපි බඳිමු කියලා"
ජුලි පහළොව
මම සිරිට කිව්වා මහත මිසී මට කැමති බව. "ඉරිසියාකාරයා" මහ හයියෙන් හිනා වෙන්න ගත්තා. ඒ පිස්සා ඉස්පිලිතාලේ හැමෝටම ඒක කිය කිය ඇවිද්දා. සමහරු ඇවිත් මාව බදා ගත්තා. සමහරු අතට අත දුන්නා. කිප දෙනෙක් සිංදු කිව්වා. කෙළවරේම ඇඳේ හිටපු කුන්දන් පිච්ච මල් වැලක් ගොතන්න පටන් ගත්තා. මහත මිසීට ඒක ලස්සනට තියෙයි කියලා කුන්දන්ම කියනවා. ප්‍රේම් මට ටයි එකක් ගැට ගැහුවා. ගුණේ මගේ කලිසමට උඩින් අලුත් සරමක් ඇන්දුවා. මම හිටියේ මහත මිසී එනකම් බලාගෙන. මහත මිසී ට මම අද කියනවා මම එයාව බඳින්න කැමතිය කියලා.
ජුලි විසි එක
මහත මිසී බැඳලා මාරුවකුත් හදාගෙන ගියා කියලා හවස කෙට්ටු මිසී කිව්වේ බොරුවක් වෙන්න ඕන. මම අඩන්න ගත්තාම හැමෝම මාත් එක්ක ඇඩුවා. සමහරු මගේ පිටට තට්ටු කලා. සමහරු මාව බදාගත්තා. සමහරු සිංදු කිව්වා. කුන්දන් පිච්ච මල් පෙති ගලවන්න පටන් ගත්තා. මම සිරිගේ අතට පිහියක් දිලා කිව්වා මාව මරන්න කියලා. සිරි ඈත තියන් දුවන් ආවේ වේගෙන් ඇවිත් මට පිහියෙන් ඇනලා මරන්න. සිරිගේ වේගෙට අනුව හැමෝම වට පේළියට ඉදන් තාලෙට අප්පුඩි ගැහුවා. ඒ මැද්දට වෙල මම හිටගෙන හිටියා. " ආ හරි සෝක් සෙල්ලමක්නේ පටන් අරන් තියෙන්නේ" එහෙම කියන ගමන් මගේ කවුද මගේ අතින් ඇද්දාා. මහත මිසී වෙනුවට ආපු අලුත් මිසී. "අලුත් මිසී" හෙට මම අලුත් මිසීට කියන්න ඕන " දැන් මට පිස්සු නෑ කියලා"
_________________________________________________________
මාරයා වැසී පිස්සෙක් තවත් පිස්සෙක්ට කරපු දේ මෙන්න.
විඩියෝ සහිතයි
1 hour ago
__________________________________________________________
මානසික රෝහලේ ගැටුමෙන් එක් අයෙකු මරුට
දිවා පුවත්
___________________________________________________________
මානසික රෝගියා මිය යැමට හේතුව පෙම් පලහිලව්වක්.
හෙළකෙත පුවත්පත