මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, April 25, 2017

ඔපිසීයේ කතා 2 : අලුත් අවුරුදු උත්සවය

අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එක කතාවයි. ඒක උනත් කියවන්න බැරි උනානම් මෙතනින් ගිහින් ඒක කියවලා එන්නත් පුළුවන්. ඔපීසියේ කතා 1


මේ කියන්න නම් යන්නේ වගා ඔපිසීයේ අවුරුදු උත්සවේ ගැනයි ඔන්න. වෙනදා වගේම උත්සවේ පැවැත්තුනේ අපේ ගමේ. මේ කොළඹත් කට පුරා අපේ ගම කියලා කියන්න පුළුළුන් තැනක් තියෙන එක ගැන ගම්ක උපන් මට නම් ඉතිං හිත පුරා සතුටුයි.

අපිත් ඉතිං වැඩේ පටන් ගත්තේ මේ විදිහට :





ඔන්න ඔය උතුරපු විදිහටම වගා ඔපීසීයටත් කිරි අතුරන්න ඕනේ : කියලා ප්‍රාර්තනා කරන්න අතරේ බත බුලතින් රටම සාර වේවා කියලත් ඔපීසීයේ ඇයන්ගේ හිත් වල තිබුණා කියන්න නොදන්න කාරණාවක් නෙවෙයි ඔන්න. වගා ඔපිසීය මේ තියෙන තැනින් මාරු කොරන්න තිරණේ කරපු දවසේ ඉදන් කාට නැතත් ඉතිං සමහරක්ට කිරි උතුරනවා ඇතිය කියලාත් ඔපිසීයේ ඇයෝ දන්නවා නොවැ. ( ඒවා ඉලක්කම් සෙල්ලම් )

කිරි ඉතුරුවාට පස්සේ ඉතිං පොල් තෙල් පහන දැල්වුවා: සාම්ප්‍රදායානුකූලව 



මේ හැමදේම උනේ ඉතිං ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන්නේ :



මුලින්ම ගම වටේ දුවලා තමයි අවුරුදු උත්සවේ පටන් ගත්තේ :
මෙන්න මේ විදිහට තමයි ඔපීසීයේ නෝනලා ගම වටේ දිව්වේ :










දුවනවාට වඩා ඉතිං හිනා වෙන එක තමයි මේ අය කළේ : කොහොම උනත් වෙනදා මේකප් එහෙම දාගෙන එන නෝනලා ටික ගිණි අව්වේ දිව්වේ රූප සෝබාව ගැනත් අමතක කරලයි.කෝහෝම උනත් ඉතිං අපේ වන්දන මහත්තයා නම් කියන්නේ නෝනලා දිව්වේ හරියට බොයිලර් කුකුල්ලු දුවනවා වගේ කියලායි.

තුන් පා දීවිම විනෝදයක් ගෙනත් දුන්නට අපේ නෝනලා තුන් පා දිව්වේ දණිස්වලින් නේ. 





පාළු ගෙවග් වල වලන් බිදින්න විතරක් නෙවෙයි ඉතිං කනා මුට්ටි බිදින්නත් නෝන මහත්තුරුන්ට පුළුවන්: මුට්ටිය බිදුනොත් ඔක්කෝම ඉවරයි කිව්වේ දී කිරි මුට්ටියනේ. එහෙම කිව්වාට කනා මේ මුට්ටිය බින්දොත් තමයි දිනුම්.







කොහොම උනනත් යාත්‍රාත් ඉතිං කනා වෙලා මුට්ටිය බිදින්න ගියා. අන්තිමට බිදපු මුට්ටියක් නෑ. ඒ විතරක් නොමෙයි ඉතිං යාත්‍රා බෝතලේට වතුර පුරවන්නත් හිටියා. ආ ඇයි කශ අඳින්න. අංචි ඇද්දේ නැති උනාට යාත්‍රාට කඹ අදින්න පුළුවන් කියලා දැන ගත්තෝත් හොඳයි ඔහේලාත්. මොකද ඉතිං කඹ ඇඳලා යාත්‍රාලා දෙවෙනියෝ උනානේ.



වතුර යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උනාට එකට එකතු වෙලා වතුර ටික පුරවන එක නම් ඉතිං ටිකක් අමාරු වැඩක් උනා ඔන්න.








වගා ඔපීසීයේම ජවය, බලය, ශක්තිය පෙන්නන තරඟේ උනේ කඹ ඇඳමේ තරඟේ. තරඟේ කොයි තරම් උද්වේගකර උනාද කිව්වොත් සමහඑ මහත්තුරු තරගෙ වින්ශ්චය කරේ බිම නිදාගෙනයි කියලා දැකපු සමහර ඇයෝ කියනවා මම අහගෙනයි. වගා ඔපීසීයේ හයිය හත්තිය තියෙන කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්න එකම මදැයි අප්පා. රටටම බත් දෙන තැන වෙච්චි. (හැක හැක හැක)






පොළව ඇද හින්දා යාත්‍රා නම් නටන්න ගියේ නෑ ඔන්න. පොළව ඇද උනත් ඉතිං නටන්න පුළුවන් නෝනලායි මහත්තුරුයි බැලුම් ඩාන්ස් කළා ඔන්නඔහොම.








අම්මලා වගේම හැඩකාර කටකාර වෙච්ච මේ පොඩ්ඩෝ දෙන්නා තමා ඉතිං සිඟිති අවුරුදු කුමාරයයි කුමාරියි.මේ පොඩ්ඩටනම් වයස අවුරුදු දොළහක්ලු. ලොකු උනාම වෙන්න කැමති තාත්තා කෙනෙක්ලු. පොඩ්ඩම තමයි එහෙම කිව්වේ.











තරඟ විතරක් නෙමෙයි ඉතිං නැටුම් ගැයුම් වැයුම් එහෙමත් තිබුණා. එවටත් ඉතිං වගා ඔපීසීයේ නෝනලා මත්තයලා හරිම දක්සයි නොවැ. 







මේ තමයි ඉතිං ඔපීසීයේ ලොක්කෝ : ලොක්කියෝ : ටික දෙනෙක් ,හොඳ සහයෝගයක් ලැබිලා තිබුණා අවුරුදු උත්සවේට. එහෙම ලොක්කෝ : ලෝක්කියෝ ලැබෙන්නත් ඉතිං වාසනාවන්ත වෙන්න ඕනෑය.

මේ තමයි යාත්‍රාෙග් තෙවෙනි ඇහැට අහු වුණ තවත් විශේෂ වෙච්ච අවස්ථා ටිකක්. තරඟ වලට එහෙම ඉදලා යාත්‍රාට මහන්සි තිබුණ නිසාත්, තරග කරන්න තිබුණ කලබලේ නිසාත් හරියකට පෝටෝ ටික ගන්න ලැබුන්නෑ. එත් ඉතිං කොහොමත් වාගා ඔපීෂීයේ අපිත් රාජකාරි වලින් මිදිලා එදා විනෝදෙන් ගත කළා. 



























මේ මදැ නේ: කියවලා බලලා මහන්සිනම් බොන්න සීතල වතුර වීදුරුවක්:

Tuesday, April 18, 2017

මතකද?




ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
හැන්දෑවරුවක පාට මතකද, 


එහෙම නැතිනම්
සුළඟේ මුහුවුන ඒ සුවඳ මතකද,
 

ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
අමතකම නොවන බව
කියු බවවත් මතකද,



එහෙම නැත්නම් ඔබට,
ඔබ, ඔබම නොවු බව මතකද.....

Wednesday, April 5, 2017

ඔපීසීයේ කතා 1



ඉතිං! ඉතිං! ඉතිං! කොතනින් පටන් ගන්නවාදැයි කියලා තමයි මං මේ කල්පනා කොරේ.

මේ කියන්න යන්නේ ඉතිං අපේ ඔපීසීය ගැන.  ඔපීසීයේ කයි කතා -  ජර -මර වැඩ එමටයි.

ආ ඔව් - ඔව් කැපිලි - කෙටිලි එහෙමත් තියෙනවා එමට - මොකද මෙව්වා ඉතිං රජයේ ඔපීසී වෙච්චී, 

හ්ම් - හ්ම් කියන්න ඕනෑ තමයි ඔය තැපිලි - කෙටිලි - ගැහිලි - මුට්ටි ඇල්ලීලි එහෙම ගැන. ඔය ටික පස්සට දලා මම මුලින්ම අපේ කී බිසව ගැන කියන්නම්කෝ. එයා ගැන නොකියා ඉතිං ඔපීසීය ගැන කියන්න බැරිය.

කිව්වත් වගේ අපේ ඔපීසීය රජයේ ඔපීයක්. ඔය වගා කටයුතු වලට තමයි අපේ ඔපීසීයේ ඈයෝ මුල් තැනක් දෙන්නේ. (වගා කටයුතු වලට අමතරව ඉතිං තව තව මුල් තැන දෙන එව්වා බොහෝමයි තමයි. එව්වායින් කමක් නැත. ඕවායින් සමහර දේවල් කතා කරලත් බැරිය. නොකරත් බැරිය. )

දෑන් ඉතිං ඔය ඕනෑම රජයේ ඔපීසීයක වගේම අපිටත් ඉන්නවා ඕන්න සී.සී කෙනෙක්. නොදන්න අය හිතන්ට කාරි නෑ. සී. සී. කිව්වේ මාණ්ඩලික සහකාර කියලා මිසක් see see එහෙම නෙවෙයි ඕං. කොහොමින් කොහොමින් හරි දැන් අපේ ඔපීසීයෙත් ඉන්නවා සී.සී. නෝන මහත්තයෙක්. මේ නෝන මහත්තයා ඉතිං නමින් වගේම ගති ගුණ වලිනුත් සුචරිතවත්. ආයෙ බොරුවක් එහෙම නෙවෙයි. මේ නෝන මහත්තයා තමයි ඉතිං ඔය අපේ ඔපිසීයේ යතුරු එහෙම බාරව ඉන්නනේ. ඒකත් සුලු පටු කාරියක් නෙවෙයි ඕං. ඔය යතුරු දලා තියෙන කබඩ් වල තියෙන රජයේ බඩු භාණ්ඩ. ඒවා ඉතිං අව භාවිතා කරපුවාම එහෙම සෑහෙන සෑහෙන සිද්ධි වෙනවා කියලා දන්නවානේ. අපේ නෝන මහත්තයත් ඉතිං මේ යතුරු ටික හරි පරිස්සමට බලා කියා ගන්නවා.  එවුනාට ඉතිං වැඩේ කියන්නේ මෙතුමියගේ හැඹිලිය නම් ඉතිං මාසෙකට දෙතුන් වතාවක්ම දන් දෙනවා පුණ්‍ය කටයුත්තක් හැටියට. ඒකත් ඔය පිට් පොකට් ගහන කෙනෙක්ට ද කොහෙද තමයි දෙන්නේ. ඒ අතින්නම් ඒ නෝන මහත්තයා දනට පිනට හරිම බරයි. අපි උනත් ඉතිං බඩගිනි එහෙම කියලා කිව්වොත් ඔය මාරි බිස්කට් එකක් එහෙම ගෙනත් දෙනවා කන්ට. 

ඔන්න ඔය විස්තර කළේ අපේ කී බිසව ගැන තමයි. නම දැම්මේ නම් ඔපීසීයේම මහත්තයෙක් තමයි. ඔය මහත්තයා ගැන කිව්වොත් පාටින් නම් දොදොල් සමයි. ඇල්වතුරත් නිවලා බොන්නේ. මේ මහත්තයා බොනවා කියන්නේ ඇල් වතුර විතරමයි. ඇල් වතුර ටිකක් වැඩි උනාම ඉතිං නිවාඩුවක් එහෙම දලා ගෙදර නවතින එක වෙනම වැඩක්. තව ඕං ඉතිං ඔය වල් පල් හැල්ලක් කියවන්න ගියාමනම් ඉතිං මේ මහත්තයා  කියවනවා කියවනවා ඉවරයක් නෑ. ඔන්න ඔය මහත්තයාම තමයි වේලාවකට කියන්නේ ගැණු කලිසං ඇන්දට කමක් නෑ. පිරිමි චීත්ත ඇන්දාම තමයි අවුල් කියලා. (සීරියස්ලී  මේ මහත්තයා  එහෙම කියනවා.) කොහොම හරි ඉතිං ඔය ඔපීසීයේ නෝනාට දාපු නම කොයි තරම් පුරසිද්ධද කියනවා නම් අපේ නෝනා උනත් දැන් කී බිසව කිව්වාම විතරයි හැරිලාවත් බලන්නේ.

කොහෙම හරි අපේ කී බිසවට - ඔය කිව්ව මහත්තයාටයි - මේ යාත්‍රා වෙච්ච මටයි පුදුම සහගත සුනඛ පෝතකයින් තුන් හතර දෙනෙක්ම ඉන්නවානේ. ඔන්න ඕක තමයි අපිට තියෙන එකම සමානකම. ඔන්න ඔය හින්දම අපි තුන් දෙනා එකට එකතු වී කතා කළහොත් ඒ කතා කරන්නේ බලු කතාය. ඒ ඔය ඔපීසීයේ අනිත් නෝනා මහතැන්ලා හිතන කියන විදිහය. කොටින්ම ඒ ඉතිං උන්ට ඉරිසියාවට බව අපි දනිමු. අපි සුනඛයන් ගැන මිසක කොයි විටකවත් බලු කතා නම් කතා කරන්නේම නැත.

තව ටිකෙන් අමතක වෙනවා අපේ ඔපීසීයේම ඉන්නවා තව සකල කලාවන්ටම දක්ෂ තව මහත්තයෙක්. කොටින්ම කිව්වොත් කලා රිටක්. මනුස්සයා ටිකක් විතර හීන්දැරි හාදයා. දැන්නම් කෙසුත් එක දෙක පැහිලා. ඒ වුනාට ඉතිං කලාව කිව්වොත් බෙල්ල කඩාගෙන. ඒ විතරයි නෙමෙයි ඒ මහත්තයා මයික් කන්නත් හරි දස්සයි. ඉතිං ඔන්න මේ මයික් ඛන්නා මහත්තයා මේ ළඟදී දවසක කෙටි කවියක් කිව්වා. එක ඉතිං කෙටි කවියක් කිව්වාට නිකම්ම නිකම් කෙටි කවියක් එහෙම නෙවෙයි. මහ ගැඹුරැති - බරුති කවියක්නේ. මෙන්න මෙහෙමයි ඒ කවිය,

මරියානා
ජේ - සී -බී
බුල්ඩෝසර්

කී බිසවයි, වන්දන මහත්තයයි, මයික් ඛන්නා මහත්තයයි ඇරුණාම තවත් මහත්වරු තුන් හතර දෙනෙකුයි නෝනලා හත් අට දෙනෙකුයි ගැන කියන්නට තියෙනවාය. කොටින්ම කිව්වොත් මේ නෝනලා තමයි මුළු වගා ඔපීසීයේම ඉන්න ලස්සනම නෝනලා. ඒහෙම කිව්වාට ඒ එයැයිලා හිතාගෙන ඉන්න විදිහය. (හොඳවෙලාවට එයැයිලා මේක දකින්නේ නැත.)


ඔය ලස්සන නෝනලා ගැන පස්සේ වේලාවක කියන්නම්කෝ. යාත්‍රාට බයම එයැයිලා ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන මදි වෙයිද කියලාය.  


 

Thursday, March 30, 2017

මාර් තු හය වෙනි සඳුදා

අද යාත්‍රාට අලුත් දවසක් නෙමෙයි. වෙනදා වගේම ඉර පායපු දවසක්. වෙනදා රාජකාරි ඒ විදිහටම යාත්‍රා ඉස්සරහා ගොඩ ගැහිලා තිබුණ දවසක්. ඒ වගේම යාත්‍රා ඉන්නේ වෙනදා වගේම සතුටෙන් කියලා මවා ගන්න උත්සහ කරපු දවසක්. අද කියන්නේ ඇත්තටම යාත්‍රා නම  මහම මහ එපා කරපු දවසක්.

යාත්‍රා උදේම බස් එකට ගොඩ උනේ වෙනදා කඳ බැදගෙන එන හිනාව එක්ක නෙමෙයි. කොහොමත් යාත්‍රා හිනා නොවෙන වෙලාවට, ඔව් සමහර විට ඒ වෙලාවට ඔරව ගත්ත, තරහින් පිරිච්ච රතු වෙච්ච මහ එපා කරපු මුණත් තහඩුවක් තිබුණ කෙනෙක් වෙලා තිබුණා.

යාත්‍රා හිනාවක් මවා ගන්න ඕන උනේ බස් එකට ගොඩ වෙන සමහර හිතවතුන් කට පුරාම හිනා වෙලා සුබ උදැසනක් ප්‍රාර්ථනා කරන හින්දා.

ඔතනින් ගොඩක් අය මුණට හිනා වෙලා  පස්සට ඔරවන අය කියලා යාත්‍රා හොඳටම දන්නවා. ඒ හින්දමයි වෙනදා පුරුද්දට වගේම, ඔළුව ජනේලේට හේත්තු කර ගෙන නිදි කිරා වැටුණේ. මුණට හිනා වෙලා පස්සට ඔරවන්න යාත්‍රා පුරුදු නෑ. ඒ හින්දාමයි යාත්‍රා  ඔය විදිහට අහක බලා ගන්නේ.

එත් යාත්‍රා වැඩි වෙලා ඔළුව ජනේලේට හේත්තු කර ගෙන අහක බලාගෙන ඉන්න බැරි උනා. ඒ සුදු පාට නිළ තතතතඇඳුම් ඇද ගත්ත නංගි කෙනෙකුයි මල්ලී කෙනෙකුයි යාත්‍රා ඉස්සරහා හිට ගත්ත හින්දා. ආදර කතාවක් ලියලා නැති යාත්‍රා  හොඳටම පුළුවන් වැඩේ අනුන්ගේ ආදර කතා කියවන එක. ඒක එක්තරා විදිහක රහක් තිබුණ දෙයක්. එහෙම කියවන කතාවල අවසානයක් යාත්‍රා කිසිම දවසක දැන නොගන්නවා උනත්, මුල මැද අග ගලපන්නත්, සමහර අනුමාන කිරිම් වලටත්, නිගමන වලටත් යාත්‍රා පහසුවෙන් එළඹෙන්න පුළුවන් නිසා ආදර කතා විතරක් නෙවෙයි ඇහෙන ගැටෙන දකින ඕනෑම ඕපා දුපයක් කියවන එක යාත්‍රා පුරුද්දක් වෙලා තිබුණා. දැන් නම් ඒක පුරුද්දකටත් වඩා ඇබ්බැහියක් කිව්වොත් හරි.

මේ සමහර දේවල් අහුවුනේ යාත්‍රාගේ  දකුණු ඇහැට. ඇස් දෙකෙන්ම එක එල්ලේ බලන එක නෙහොබිනා ක්‍රියාවක් කියලා යාත්‍රා දන්නවා. ඊටත් වඩා යාත්‍රා නිදහස කියන දේට එහෙම නැත්නම් ස්වාධිනයි කියන දේට හරි එහෙමත් නැත්නම් ඔය ළඟින් ම යන මොකක් හරි වචනෙකට ටිකක් විතර ගරු කරන හින්දා ද කොහෙද ඔවුන් දිහා එක එල්ලේ නොබලන්න තිරණේ කරලා තිබුණේ. දකුණු ඇහැට අහුවෙන සමහර දේවල් යාත්‍රාගේ මුණට මන්දහාස තවරන්න සමත් වෙච්ච දේවල් වුණා. සත්තකින්ම කිව්වොත් ඒක ඒ විදිහට උනා.

සමහර විට මේ පාසල් පෙම්වතුන් දෙදෙනාම විදිමින් ඉන්නේ කිරිකොඬු ආදරේ සුවඳ වෙන්න ඕන කියලා යාත්‍රාට හිතුනා. සුදු දිග කලිසමත් අලුත මහපු සුදු කමිසයකුත් ඇගලාගෙන හිටපු පිරිමි ළමයාගේ වම් අතට අහු වේලා තිබුණේ ගැණු ළමයාගේ දකුණතට මිට මෙලවුණු ඇගේ ලේන්සුවේ කොනක්. මේ කොල්ලයි කෙල්ලයි වචනයක්වත් හුවමාරු කර නොගෙන ලේන්සුවත් එක්ක කරන පෙම් පල හිලව්ව මොකක්ද කියලා යාත්‍රාගේ හොර බැලුම් විමසිලිමත් වුණා. කොල්ලා අල්ල ගත්ත ලේන්සු කොනින් අදිමින් කෙල්ලගේ අතින් ලේන්සුව ගලවා ගන්නට වැයම් කරනවා. කෙල්ල අත මිටි කරගෙන ලේන්සුව අතේම රදව ගන්න වැයම් කරනවා. විනාඩි හතලිහක් පනහක් උන මේ පෙම්වතුන්ගේ ගමාන්තය දක්වාම ඔවුන් ගුඩ් මෝර්නින් කියන වචන හුවමාරු කර ගැනීමට ඇරෙන්න වෙන වචනයක් හුවමාරු කර නොගත් බව යාත්‍රා ඇහිලා තිබුණා.

මුල්ම ගමනාන්තය හමුවුනේ පිරිමි ළමයාට. ඔහු බස් රථයෙන් බැහැලා ගියේ කෙල්ලගේ අතේ තිබුණ ලෙන්සුවත් අරගෙනමයි. කොහොම උනත් යාත්‍රාට තේරුම් ගන්න බැරි දෙයක් උනේ, කෙල්ල දාඩිය කුණු පිහදාපු ඒ ලේන්සුව මේ කොල්ලට මොකටද කියලා. අඩුම තරමේ කෙල්ලගේ සුළැගිල්ලෙන් හරි අල්ලන්න තිබුණානේ කියලායි යාත්‍රාට හිතුනේ. අද කාලේ කෙල්ලො කොල්ලෝ එහෙමනේ. එක යාත්‍රා දන්න දෙයක්. 

සමහර විට හවස ගමනේදී ආයෙමත් ලේන්සු හුවමාරුව සිදුවෙවී. සමහර විට ඒ ලෙන්සුවේම දැවටිලා හසුනක්, චොකලට්ටුවක්, ටොෆියක්, හුවමාරු වේවී කියලා යාත්‍රා හිතනවා. ඒ නැතත් සමහර විට වචන දාහකින් කියා ගන්න බැරි තරම් දේවල් ඔවුන් ලෙන්සුව හරහා පවසන්න ඇති.
මේ ඔවුන්ගේ කිරිකෝඩු ආදර කතාව උනත් සමහර විට ඒ අවසාන ආදර කතාව වෙන එකක් නැහැ කියලා යාත්‍රාට  හිතෙනවා. එත් මේ ඔවුන්ගේ අවසාන ආදර කතාව වේවා කියලා යාත්‍රා හිතුවා. කොහොම උනත් තවත් බොහෝ අය ඔවුන් දෙදෙනාට හමු වේවී. සමහර අය අතර මඟ නවතිවී. එත් මෙවැනි සුන්දර වු මතක ඔවුන්ගේ මතක වල ගැඹුරේම තැන්පත් වේවී.

කොහොම උනත් යාත්‍රාගේ මුස්පෙන්තු මුණට හිනාවක් එකතු කරන්න මේ පුංචි හාදයන්ට පුළුවන් උන නිසා යාත්‍රා මේ ආදරවන්තයන් දෙන්නට හිතින් සුබ පැතුවා. එත් යාත්‍රාට ආයෙමත් මළ පැන්නේ බස් රථයේ කණ පැලෙන්න තරම් සද්දේට දලා තිබුණ සිංදුව ඇහෙන්න ගත්තාම.

"
ඉක්මන් තිරණයක් ගත්තේ
තේරුම් යයි කළකට පස්සේ
ඉස්සර පණිවිඩ දුරකථනේ
තාම බලනවා හැම තිස්සේ"

යාත්‍රා මේ ඇහෙන බස් සිංදුවලට අකමැති නිසාමත්, නාහෙන් ඇඬිල්ල අහන් ඉන්න බැරි හින්දාමත්, ඇස් කන් වහගෙන නින්දට වැටුණා.

Thursday, March 23, 2017

මමයි, ඔහුයි - ඇයයි



දැන් උනත් ඇයට පුළුවන් ඔහුට ඇඟිල්ල දිගු කරන්න, ඇගේ දබර ඇඟිල්ල උරුක් කරලා ඔහුගේ මුණ ඉස්සරහම ඔව් මුණ ඉස්සරහම වචන වලින් දමලා ගහන්න. මම ඇය දිහා බලාගෙන හිටියේ, ඔව් කොයිම මොහොතක දී හරි මේ ගැණි ඒ ටික කරයි. මම නොදන්න ගැණියෙනක්යැ එයා. එත් ඇය බලාගෙන හිටියේ ඔහු දිහා, සමහර විට ඇහිපිල්ලමක්වත් ගහන්න අමතක වෙන්න ඇති, මට ඇහි පිල්ලම් කියක් ගැහුණද මම දන්නෑ එත් ඉන්තේරුවටම ඇයට නම් ඇහි පිල්ලමක්වත් ගැහෙන්න නැතුව ඇති,


ඔහු උන්නේ, ඔහුගේම පන්තියේ මිනිස්සු එක්ක, මම එහෙම කිව්වොත් වැරදී ඒ මිනිස්සු ඇගේ පන්තියටත් අයිති උන මිනිස්සු, මම කියන්නේ ඔය දෙන්නාගේම පන්තියට අයත් නොවුන කෙනෙක්, කොහොම උනත් ඔය දෙන්නම මට සැලකුවේ එකම විදිහට, වචනෙකින්වත් වැරුද්දක් උනේ නෑ කියන්න මම දන්නවා. එත් මම ඔවුන් දෙන්නා එය ආරම්භ කරපු මොහොතේ ඉඳලාම ගත්තේ ඇගේ පැත්ත. කොහොම උනත් ගැණු හිතක් අඩනවා බලන්න පුළුවන් කමක් පිරිමි හිතකට තියෙන්න විදිහක් නෑ. ඒ හේතුව විතරයි මට ඇගේ පැත්ත ගන්න තිබුණ එකම හේතුව. නැත්නම් ඔහුටයි මටයි තිබුණේ අවුරුදු ගානක බැඳිමක්. ඒ බැදිම හේදි හේදී ගියේ දැන් මාස ගාණක ඉඳලා. ඒකට ඇය වැරදි නැ කියන්න මම දන්නවා. මේ හැම දේකම ඇහින්දුටු, කනින් අහපු, එත් කියා ගන්න බැරි එකම සාක්ෂිකාරයා මම. මම ඇරෙන්න යමක් කමක් දැක්කනම් දැක්කේ, ඇහුණා නම් ඇහුණේ, කුස්සියේ - වත්තේ කියලා වෙනසක් නැතුව වැටඩ ඉන්න අමරේට විතරයි. අමරේට පුළුවන් උනාට මේ කතාවට තටු හයි කරලා පියාඹවන්න මම දන්නවා අමරේ මේ සම්පුර්ණ කතාව ඇහෙන්නවත්, දකින්නවත් විදිහක් නෑ කියලා.


ඒ දෙන්නා යන ඕනෑම තැනක අමරේ නොගියාට මම ගියා. එදාත් එහෙම දවසක්. ඒ වුනාට අමරේට එදා නිවාඩු. එහෙමයි කියලා අමරේ ගෙදරින් අඩියක්වත් හෙලවුනේ නෑ. එදා අමරේට කුස්සියේ ඉවුම් පිහුම් වැඩ වලින් නිවාඩු ලැබුණා. ඒ දෙන්නා මේ දවස සැලසුම් කළේ සතියක ඉදන් නේ. එදා ගෙදර මුර කරන බවට  අමරේ නිල නොවන එකඟතාවයක  හිටියේ. කොහොම උනත් එදා අපි හරිම සතුටින් හිටියේ. මම පුරුදු ආසනේ. ඔවුනුත් එහෙමයි. ඔහු රියදුරු අසුනේ, ඇය ඔහු ලගින්ම වම් පසින්, මම හිටියේ දෙන්නටම පිටි පස්සේන් උනාට දෙන්නාම මාව දෙන්නාගේ කතා වලට හවුල් කර ගත්තා. එත් මම නිශ්ශබ්දවම උන්නා. වචනෙකින් නොවුනත් දෙන්නාටම එකම විදිහේ ප්‍රතිචාර දක්වන්නයි මට ඕනා. ඒ දෙන්නාවම තරහා කර නොගන්න මට කරන්න පුළුවන් හොඳම දේ උනේ කවුරු කියන කියන දේට උනත්, පොච්චක් බෙල්ල හරවලා බලන එක විතරයි. ඔන්න ඔය වගේ ප්‍රතිචාරයක් දක්වන වේලාවකදී තමයි අමරේ නොදන්න මේ දේ සිද්ධ වුනේ. ඒ ඇමතුම ආවේ ඔහුගේ දුරකථනයට. ඔහු උත්තර නොදි හිටියේ වාහනේ එළවන්නේ ඔහු හින්දා, මම එහෙමයි හිතුවේ. එත් ඒ දුරකථනය දැනන් උන්නෑ නේ මේ වෙලාවේ ඔහු ඉන්නේ වාහනය එලවමින් කියලා. ඒ හින්දා වෙන්න ඇති, දිගින් දිගටම කෑ ගහන්න පටන් ගත්තේ. ඇය ආසම සිංදුව වෙච්ච තුන් සිත දැහැන් ගත වෙනා මතකය සසල කරවනා සිංදුව තුන් හතර විඩක්ම ඇහුණාට පස්සේ ඔහුගේ සාක්කුවේ තිබුණ දුරකථනය ඇට අතට ගත්තා. දුරකතනය දිහා බලපු ඇය ඔහු දිහා බලපු බැල්ම මට දැනුත් අමතක නෑ. ඒ එක්කම ඇය දුරකථනය කනේ තියා ගත්තා.


කවුරු?
වෙනදා නම් ඇය කතාවක් පටන් ගන්නේ හලෝ කියලා. මමත් ඇය ඔහු දිහා බලපු බැල්මට සමාන වෙන බැල්මකින් ඇය දිහා බැලුවා. ඔහුත් එහෙමයි. ඒ වෙන කොට වාහනේ වේගය බාල වේලා තිබුනේ. ඒක මට දැනුනේ බාගෙට ඇරපු ජනෙල් වීදුරුවෙන් ඇතුළට එබෙන හුළඟේ වේගෙන්. හුළඟේ වේගය ඉව කරලා මට කියන්න පුළුවන් ඔහු වාහනය පදින වේගය. එත් ඉතින් ඒකත් අනිත් දේවල් වගේ අනුමාන කරලා මම නිකම්ම  හිටියා.


රුමේෂ් කියන්නේ  ඔයාගේ කවුද?
එහා පැත්තේන් රුමේෂ් ඉන්නවාද අහන්න ඇති, මම ඒ විදිහට අනුමාන කලා. ඔහු ඇය දිහා බලන්නේ මොකක් හරි අනුමාන කිරීමකට එන්න කියලා මට තේරුණා. ඔහුට වඩා මම දක්ෂයි, තාමත් ඔහුට බැරි උනා ඒ අනුමාන කිරීමට ලං වෙන්නවත්.


ඔයා එයාගේ ගර්ල් ෆ්‍රේන්ඩ් වෙන්නේ කොහොමද? මම එයාගේ වයිෆ්?

ඔහු හිතාමතාම තිරිංග පැඟුවාද නැත්නම් ඉබේටම තිරිංග පැඟුණාද කියලා මට අනුමාන කරන්න බැරි උනා,


ඒක එයාගෙන් මම අහගන්නම්, ඊට කළින් තමුන් මට උත්තර දෙනවා.”


එත් ඒකට උත්තර අහ අහා නොඉඳම ඇය දුරකථනය ඔහුට දමලා ගැහුවා. දුරකථනයෙන් නිදහස් වෙච්ච ඇගේ අත් දෙක තිබුණේ ඔහුගේ බෙල්ලේ.


කවුද ඒ. කවුද ඒ ගැණී. කියනවා මට, තමුසේගෙයි ඒ ගැණිගෙයි අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද?


අමරේ නොදත්ත ඒ කතාව පටන් ගත්ත තැන තමයි එතන.  නිල නොවන විදිහට මුර වැඩේ බාර ගත්ත අමරේ ගමන අතර මඟම නවත්තපු අපි අපහු එනකොට හිටියේ නිදා ගෙන, එකත් ගේට්ටුව ඇරලා දලා. ඔහු කිසිම සද්දයක් නැතුව වාහනය ගේට්ටුවෙන් ඇතුළට ගත්තා. ඒත් ඇය අමරේගේත් ඇඟට ගොඩ වුනා. තවත් ඉතිං ගේට්ටු වහගෙන මොන සම්පත රැක්කාත් වැඩක්ද කියලා මට හිතුනා. ඒ ටික අමරේට කියන්න විදිහක් නැතුවයි මම හිටියේ. එත් අමරේ එක්ක මේ දේවල් කිය කියා ඉන්නවාට වඩා මට ඇය ගැන බලන්න උවමනා වුණා. කොහෙමත් ගැණු හිතක් අඩන ඒක පිරිමි හිතකට බලන් ඉන්න බෑ. මම ඒක තේරුම් අරන් තිබුණේ. එත් ඔහු ඒ වෙලාවේ ඒ දේ තේරුම් අරන් තිබුණේ නැතුව වෙන්න ඇති මම කාමරේ දොර ගාවටම යනකොටම කොට්ටෙකුයි රෙද්දකුයි අරන් කාමරෙන් පිට වුණේ. දැන් ඔහු ගැන බලන්න වේලාවක් නෙමෙයි, පිරිමියෙක්ට කොතන උනාම මොකද, මොකක් උනාම මොකද, ඒ ඕනෑ දෙයක් දරා ගන්න බැරි කමක් තියෙනවයැ.


ඒදායින් පස්සේ ඇයට විතරක් මේ කාමරේ වෙන් වුණා. මේ කාමරේට ආව ගිය එකම පිරිමියා වුණේ මම. ඔහු උන්නේ අනිත් කාමරේ. සමහර දවසට මම ළඟින් ම ගියත් ඔහු මාව දැක්කේ නෑ. මමත් නොදැක්ක ගානටම උන්නා.  වැඩි ඇයි හොඳයියක් නැතුව, ඔහුගේයි මගේයි බැඳිම මේ විදිහට දුරස් වෙද්දී මගෙයි ඇගෙයි බැඳිම වැඩි වෙලා තිබුණේ. ඇත්තටම ඇයට හැම වේලාවේම මාව ඕන උනා. කොටින්ම කිව්වොත් ඇය ඔහු ගැන කිවේ මා එක්ක, ඇඩුවේ මාව බදාගෙන, ඔය දවස් ටිකේ ඇය යාන්තම් හරි හිනා උනා නම් හිනා උනේත් මා එක්ක. දවස් දෙක තුනක්ම නොකා නොබී හිටපු ඇය වතුර උගුරක් බීව්වේ මම හින්දා. මමත් නොකා නොබී ඉඳලා ලෙඩ වෙයි කියලායි ඇය කිව්වේ. කොහොම උනත් මමත් දවස් දෙක තුනක්ම හිටියේ කෑමක් නැතුව, අඩුම තරමේ හාල් හුංඩුවක් ලිපේ තියන්න ඇයට වගේ වගක් තිබුන්නෑ. ඒ මදිවට අමරේ හිටියේත් වත්තේ වැඩ විතරක්ම තිබුණ ගානට.


කොහොම උනත්, එදා මට නැගිට ගන්න බැරුව ගියා. ඇවිද ගන්න බැරුව ගියා. මේ කොයිම වේලාවක හරි මගේ අවසානය සිද්ධ වෙයි කියලායි හිතුවේ. මම තද කරලා මගේ ඇස් පියා ගත්තා. මම ඇස් අරිද්දි ඔහුයි - ඇයයි දෙන්නාම හිටියේ මම ළඟ. උණුසුම් තුවායකින් ඇය මගේ ඇඟ තවමින් උන්නේ.


ටිකක් පහලට වෙන්න මේ මෙතන    
ඒ ඔහු, ඇය ඔහු පෙන්වපු තැන උණුසුම් කළා. මට ඇය දිහා බලන්න ඕන උනා. එදා ඇය ඔහු දිහා බලපු විදිහටම. ඒ’a  ඒ බැල්ම මුණට එනවාත් එක්කම වෙන්න ඇති මගේ ඇස් දෙක පියවුණා.


මට සමා වෙන්න   කියන ඔහුගේ මුවින් පිට වුණ වචන විතරක් මගේ කන් ඇතුලෙන් රිංගගෙන හදවතේ ළඟම තැනක තැන්පත් වුණා.  අමරේ නොදන්න ඒ  සිද්ධිය උනේ අමරේ වත්ත පහළ පොල් අතු කපන වේලාවේදී.


ඊටත් සතියකට පස්සේ තිබුණ ඔහුගේ උපන් දිනේට සර්පයිස් පාර්ටි එකක් තියන්න ඇයට ඕන උනා. මම හිටියේ ඇයට විරුද්ධ වෙන්න පුළුවන් මානසික තත්ත්වයක නෙවෙයි. පිරිමි කියන්නේ විශ්වාසය තියා ගන්න පුළුවන් ජාතියක් නෙවෙයි කියන එක ඇයට කියා ගන්න ඕන උනත්, ආයෙමත් ඇය උන්නේ සැහැල්ලුවෙන් හිනාවක් එක්ක. ඒ ඇරත් ඇගෙයි මගෙයි වැඩිච්ච මේ බැඳීමට ඒක කිසිම විදිහකින් බලපාන දෙයක් වුනේ නෑ. ඇය මාව කොයි වේලෙත් ලඟ තියා ගත්තා. ඒ විතරකුත් නෙවෙයි මමත් කොයිම වේලාවෙත් ඇගේ ලඟම හිටියා. මම උන්නේ අමරේ දිහා උනත් ඇහැ ගහගෙන.  පහුගිය දවස් වල සිද්ධ වුන සමහර සිද්ධි නිසා අමරේ හිටියේ ඒ තරම් හිත හොඳින් නෙවෙයි. ඒ ඇරත් අමරේ එදා හිත යටින් හිනා උනා. ඒක මට අනුමාන කරන්න තරම් මගේ ඉව දියුණු වේලා තිබුණා. අමරේගේ හිතේ කොයි වේලෙත් තිබ්බේ ඇයයි - ඔහුයි ගැන දළුළන ඊර්ෂ්‍යාවක් වෙන්න ඕන යි කියලා මම අනුමානේට ගත්තේ, මොකක්දෝ හේතුවකට අමරේ,  මුංට කඹුරනවා කඹුරනවා කිසි කළෙහි ගුණයක් නෑ,අසමජ්ජාති හැත්ත . මුංට හරි යයිද වයසක් බලලාද කතා කරන්නේ, හොඳයි ඔය කොකාගේ වාරේ තිත්තයාටත් එන්නෑතැ දවසක ඌගේ වාරේ යි  තමන්ටම මුමුණ මුමුණා කුස්සිය අස්පස් කරපු දවසේ. ඒ ළඟම මම හිටියා උනත් අමරේ මාව සතේකට මායිම් නොකළේ මම ඔය ඇහෙන දකින කිසි දෙයක් මම තැන තැන නොකියන හින්දායි. ඒ උනත් අමරේ ගැන මම විපරමින් උන්නේ ඒ කිව්ව තිත්තයාගේ වාරේ අමරේට කවදා ලැබෙයිද කියලා. ඒ අතින් මම ඇයටත් -  ඔහුටත් විශ්වාසවන්ත උනා අමරේටත් වඩා.
 

අද, හරියට ඔහුගේ උපන් දිනේ දවස. ඇය හිටියේ රතුපාට ගවුමකින් සැරසිලා වෙන්න ඕන. ඒක ඇය කළින්ම තෝරලා තිබුණේ. ඒ ඇරත් ඒ පාටට ඔහු කැමති කියන්න ඇය දන්නවා. නොහොද නොක්කාඩු පැත්තක තියලා දෙන්නාම එකට හිටියා. මට තිබුණේ සතුටක්. ඇයත් එක්ක තිබුණ බැඳිම කොයි තරම් උනත් ඔහු එක්ක ගැවසෙන්න මම කැමැත්තේන් හිටියේ. එත් අමරේ මහ පුදුම සතෙක්, කොටින්ම සාදයේ බීම අරගෙන, කෑම අරගෙන අමරේ එහෙට මෙහෙට ගියේ සතුටින් නෙවෙයි. මොනවා උනත් මම අමරේ දිහාම ඇහැ ගහගෙන උන්නේ. ඒ නිසාම අමරේ යන තැන මමත් ගියා. සාදයේ පාට පාට විදුලි බුබුළු වලින් එළිය උනත් අමරේගේ මුණේ තිබුණේ කළු ගැහිලා. පහු ගිය ටිකේ තිබුණ සන්තෝසේ විදුලි බුබුළු අතර දිය වෙලා ගිහින් තිබුණා. මම ඔය විදුලි බුබුළු වල පාට මේකයි කියලා අඳුන ගන්න බැරි උනාට අමරේගේ මුණට වැටෙන හැම එළියක්ම කළු පාට වෙන හැටි හොඳටම අඳුන ගන්න පුළුවන්.


විනාඩියකටවත් අමරේගේන් ඇස් අයින් නොකලත් මම ඇස් පිල්ලම් ගහන වේගෙට අමරේ අන්තරස්දාන වේලා තිබුණා. ඒ ටිකට මිනිහා ගේට්ටුව ගාව. මමත් එක සැරේටම ගේට්ටුව ගාවට දිව්වා. අමරේ මොකකට නමුත් අර අදිනවා. විශ්වාසේට ගන්න  තරම් දෙයක් මම අමරේගෙන් දැකලා නෑ මෙතුවකට.

එයා ඉන්නවාද?


අමරේ තවත් ගැණියක් එක්ක කතාව. පාටියට ආව කෙනෙක් වෙන්න බෑ. අනික අද ඇවිත් ඉන්න ඔක්කෝම ඒ දෙන්නාගේ යාළුවෝ. අමරේ නොදන්නවා උනත් ඒ අයව මම දන්නවා. ඒ අයත් මාව දන්නවා. තාම පාටියට ආවේ නැති එන්න ඉන්න අයවත් මම දන්නවා. ඒ අයත් මාව දන්නවා. ආරාධනා කරන අයගේ ලයිස්තුව හදද්දි මමත් ළග හිටියා. අමරේට ඔය නම් ඇහුනත් මතක හිටින එකක් නෑ. එත් මට නම් ඇහුණ ගමන් දන්නවා මේ අහවලා , මේ අහවලා කියලා කියන්න. එත් මේ ඔය කියන කවුරුවත් නෙමෙයි.


අද මහත්තයාගේ උපන්දිනේ, ඒකට මේ පාටියක්


මම විරෝධතාවය දැක්වුවා. මුලින්ම අමරේට. අමරේගේ යුතුකම මේ ගැණිව පිටත් කරන එක. අරහේ අමරේට නොසැහෙන්න වැඩ තිබුණා. මේතනට එන්න ඇයට කිසිම උවමනාවක් නෑ. ඇරැත් ඇයට ආරාධනාවක් යැවුණේ නෑ. ඇගේ රුපය මට පුරුදු නෑ. ඒ නිසා නමක් මතක් කර ගන්න විදිහකුත් නෑ.


මට එයාව හම්බවෙන්න ඕන


මම විරෝධතාවය දැක්වුවා. මේ පාර මේ ගැණිට. කොහෙන් කඩා පාත් වුණාද? මට ඉවෙන් වගේ දැනුණා ඉස්සරහට සිද්ධ වෙන්න යන්නේ හොඳ දෙයක් නෙවෙයි. මට අමරේට කියන්න ඕන උනේ ඒක.


අමරේට ඕන උනා ඇයව ඇතුළට යවන්න. මට සිද්ධ වුනා අමරේව නවත්තන්න. මම දන්න හොඳම විදිහට ඒක මම අමරේට කිව්වා. මගේ සද්දේ වැඩි වෙන්න ඇති ඒ දෙන්නාම ගේට්ටුව ගාවට ආවේ එකම වේලාවේ. ඒ එනකම් මම දැක්කේ නෑ. මම තියා අමරේ දැක්කේත්නෑ. අමරේ උන්නේ මට තේරුම් කරන්න උත්සහ කරමින්. මම හිටියේ අමරේ නවත්තන්න හදමින්.


මොකද අමරේ, ඒ ඇය.


මට බැලුණේ ඔහු දිහා. සමහර පාට පාට එළි ඔහුගේ මුණට වැටුණත් ඒ මුණ ඒ පාට වලට ඔබින විදිහට වෙනස් වුණේ නෑ. ටිකෙන් ටික සුදු පාට උනා විතරයි.


මම නිශ්ශබ්ද වුනා. තවදුරටත් කෑ ගහලා වැඩක් නෑ. දැන් හංගන්න දේකුත් නෑ. මම බලාගෙන හිටියා. හොඳ විමසිල්ලෙන්. මොනවා උනත් මේ වෙලාවේ ඇයට මාව ඕන වෙනවා කියලා මම දැන ගත්තා. අමරේව පස්සට තල්ලු කරලා ඇය ගාවින්ම මම හිටගත්තේ ඒකයි. ඒ ගැණි අඩන්න ගත්තා. ඇය ඉස්සරහා.


ඇයි මේ ඇය ඒ ගැණිගේ අතකින් අල්ලගෙන.


මේ අරුන්දතී, මගේ නංගී. මේකි සති දෙහේකට කලින් රස්සාවෙන් අයින් උනා කියලා ගෙදර ආවා. මොකක් නමුත් ලෙඩක් වෙන්නැති කියලා මේකිට ගගහා ඇහුවා නෝනා. එත් මේකි නෙමෙයි වචනයක් කිව්වේ. මේකි කෑමක් බීමක් නැතුව ඉන්නවා දෙස්තර ගාවට එක්ක ගියේ. එතකොට තමයි දැන ගත්තේ නෝනා මේකිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ වෙන කාගෙන්වත් නෙමෙයි මේ මිනිහාගෙන්


-        - දැන් උනත් ඇයට පුළුවන් ඔහුට ඇඟිල්ල දිගු කරන්න, ඇගේ දබර ඇඟිල්ල උරුක් කරලා ඔහුගේ මුණ ඉස්සරහම ඔව් මුණ ඉස්සරහම වචන වලින් දමලා ගහන්න. මම ඇය දිහා බලාගෙන හිටියේ, ඔව් කොයිම මොහොතක දී හරි මේ ගැණි ඒ ටික කරයි. මම නොදන්න ගැණියෙනක්යැ එයා. එත් ඇය බලාගෙන හිටියේ ඔහු දිහා, සමහර විට ඇහිපිල්ලමක්වත් ගහන්න අමතක වෙන්න ඇති, මට ඇහි පිල්ලම් කියක් ගැහුණද මම දන්නෑ එත් ඉන්තේරුවටම ඇයට නම් ඇහි පිල්ලමක්වත් ගැහෙන්න නැතුව ඇති, -


ත්‍රී වීල් එකෙන් බැහැපු ඒ මිනිහා කියවගෙනම  ඔහු ළඟට ආව. අන්තිමට කොලර් එකෙන් ඇදලා අරගෙන පුළුවන් නම් නෑ කියපන් කියලා කෑ ගැහුවා. ඒ වෙනකොටත් පාටියට ආපු ඔක්කොම ගේට්ටුව ගාව, එහෙම නැත්නම් ගේට්ටුව පේන තැනක, නැත්නම් මේ කතාව ඇහෙන තැනක,


මම අමරේ දිහා බැලුවා. අමරේගේ මුණේ තිබුණ බයාදුකමට යටින් ඇඳිලා තිබුනේ හිනාවක්. මම ඔහු දිහා බැලුවා. ඔහු හිටියේ කිසිම දේක තේරුමක් නැතුව වගේ. කරන්න කියන්න දෙයක් ඔහුට හිතා ගන්න බැරුව හිටියේ. ඔහු හෙව්වේ ඇයව. එත් ඇය පෙන්න හිටියේ නෑහැ. තාමත් අර මිනිහා ඔහුගේ කමිස කොලරයෙන් අල්ලගෙන, අමරේගෙන් ඔහුට උදව්වක් නොලැබෙන තැන මම ඔහුට කිට්ටු වුණා. එත් ඇය, ගැන කල්පනාවට ආව හැටියෙම  මම නැවතුනා. නැවතුනා නෙවෙයි ඒත් එහෙම උනා. එත් එක්කම මගේ ළඟම බ්රේක් ගැහුවේ ඇගේ කාර් එක. පිටි පස්සේ දොර ඇරුණා. බාගෙට අරුණ ජනේලෙන් රියදුරු අසුනේ හිටපු ඇය කතා කළා.


ටොමී, කම්


මම ඔහු දිහා බැලුවා. අමරේ දිහා බැලුවා. පාටියට ආපු දෙන්නාගෙම යාළුවෝ දිහා බැලුවා. ඒ හැම මුණක්ම පාට පාට එළි මැද්දේන් මට කළු සුදුවට පෙනුණා.


ටොමී, කම්

ඇය ආයෙමත් සද්දෙන් කතා කළා. ආයෙමත් ඔහු දිහා බලද්දී ඒ මිනිහා ඔහුගෙන් අත් අයින් කරන්  තිබුණා.  මට අමරේ දිහා බලන්න උවමනා උනත් එහෙම නොකරම වාහනේ පිටි පස්සට පිම්මේ පැන්නා.


මම ආයෙ ඔහු දිහා බැලුවේ ඇය වාහනේ පණ ගන්වලා ඉදිරියට යද්දී. ඔහුට අපිව නවත්තන්න උවමනාව තියෙන්න ඇති. ටොමී, නවතින්න කියන්න ඔහුට උවමනාවක් නොවුන බව මම අනුමාන කළා. 

  එත් මදාර නවතින්න කියලා කියා ගන්න ඔහුට උවමනාව තිබුණා කියන්න මට ඉවෙන් වගේ දැනුණා.






FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...