මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, April 10, 2018

ඔබට




මහා වැස්සක් වෙසින්
පතිත වෙන කඳුලකට
නුඹ නමක් දෙන්නේපා


ඒ ඔබයි,
ඔබගේ ප්‍රේමයයි



Monday, April 2, 2018

යාත්‍රාවට පනහයි




ජිවිතේ යාත්‍රාවට පනහයි. 

පනහයි නෙමෙයි දැන් නම් පනහා පැනලා.  ඒ කියන්නේ අර්ධ ශතකයක්. හප්පේ , යාත්‍රාට නම් මේක පුදුමයක්. මොකද කිව්වොත් අවුරුදු දෙකක් විතර තිස්සේ හිමි හිමින් දාපු පොස්ට් ගණන පනහ පැන්නා කියන ඒක වෙන්නම බැරි දෙයක්. මොකද යාත්‍රා කවදාවත් මේ විදිහට බ්ලොග් එකක් තියා ගත්තේ නැති හින්දා. බ්ලොග් එකක් නෙවෙයි වෙන මොන දේ උනත් පිළිවෙළකට ටිකක් දුරට කරන පුරුද්දක් යාත්‍රාට නෑ.

ඒ කියන්නේ මේ යාත්‍රාට ජිවිතේ යාත්‍රාවට කළින් බ්ලොග් කිහිපයක්ම තිබුණා කියන එක. පොස්ට් දෙක තුනක් වැටුණට පස්සේ ඒ බ්ලොග් එහෙම පිටින්ම යාත්‍රා අතින් ඩිලිට් වෙලා ගියා. 2011 විතර තමා යාත්‍රා පළවෙනි බ්ලොග් එක හැදුවේ. ඒකත් හරිම අමාරුවෙන් මාර විදිහේ කට්ටක් කලා තමයි හදා ගත්තේ. කැම්පස් එකේ GIS ප්‍රැක්ටිකල් වෙලාව තමයි යාත්‍රා මේ වැඩේට ප්‍රයෝජනයට ගත්තේ. විජය පරිගනක අතිරේකයට මේ බ්ලොග් ගැන පොඩි පොතක් හම්බුණා. යාත්‍රා ඒ දවස් වල කම්පියුටර් පිස්සුව තිබුණා තදටම. ඒ පිස්සුවේ තරම ඉතිං කම්පියුටරයක් ගලවලා තනියම හදා ගන්න පුළුවන් මට්ටමට දියුණු කර ගන්න නම් පුවවන් උනා. ඒ විතරක් නෙවෙයි මොන මොන අලුත් සොෆ්ට් වෙයාර් එකක් උනත් කූරූ ගලා බලලා ඉගෙන ගැනිමේ හැකියාවකුත් යාත්‍රාට තියෙනවා. ( අපේ අම්මා නම් ඉස්සර ඔය යකඩ කැලි වයර් කැලි කාමරේ එහෙ මෙහෙ අටවලා තියෙනවා දැක්කාම කියන්නේ කොල්ලෙක්ගේ කාමරයක්වත් ඔහොම නැතුව ඇති කියලා J J ,  ඉස්සර එහෙම කියපු අම්මා දැන් යාත්‍රාගේ කාමරේ දකිද්දි පුදුම හතෙන් අට වෙනි පුදුමේ ඇස් ඉස්සරහා තියෙනවා වගේ පුදුම වෙනවා. එහෙමයි කිව්වාට ඒ ඉතිං එයාට යාත්‍රාගේ ඇඳුම් තියෙන අල්මාරිය අරින්න හිතෙනකම් විතරයි ඒ පුදුමේ ඔන්න.) J කොහොම හරි ඉතිං ඒ සෙමෙස්ටර් එක එන්ඩ් වෙද්දී බ්ලොග් එකත් එන්ඩ් කරලා ඩිලිට්ම කරලා දැම්මා. ඒ බ්ලොග් ඒක හුදකලා හෝරාව කියලා තමයි නම් කරලා තිබ්බේ. යාත්‍රා 2014 විතර තව බ්ලොග් එකක් පටන් ගත්තා. එකේ නම උනේ හුදකලාවේ සිට ලියමි.  අන්තිමටම යාත්‍රා හිතනවා යාත්‍රා හුඟාක්ම හුඟාක්ම හුඟක් කැමති මේ හුදකලා කියන වචනේ නැතුව බ්ලොග් එකක් හදන්න. (මොකද ඔය හුදකලා වචනෙන් හදපු බ්ලොග් හුදකලාම වෙලා ගියානේ.) ඒ වචනේ නැතුව හදපු එක  තමයි මේක. ජිවිතේ යාත්‍රාව, යාත්‍රා මේක හැදුවේ ඔය එක එක කතා ලියන්න. දිග කතා, කෙටි කතා, රස කතා, ළමා කතා, නව කතා, ආදී ආදී වු නොයෙක් කට කතා එහෙම. කොහොම හරි ඉතිං ඔය අතරට කවිත් ලිව්වා. දැන් කොහොම හරි ලියපු ඒවා පනහයි. නෑ, නෑ පනහට වැඩියි. ඒක යාත්‍රාට සතුටක්. යාත්‍රා කියන කම්මැලියා මේක මේ විදිහට ලියපු ඒක ගැන යාත්‍රාටම තියෙන්නේ මාර සතුටක්.

ඉතිං යාත්‍රා මේ බ්ලොග් එක පටන් අරන් ටික දවසකින් විසිරි සිහින දැන ගන්නවා යාත්‍රාගේ බ්ලොග් එක ගැන. ඒ දවස් වල ඉතිං විසිරි යාත්‍රාව තල්ලු කළා ජිවිතේ යාත්‍රාවේ ඉස්සරහට යන්න. ඒ ලැබිච්ච උපදෙස්, දැනුම, බෙදා හදා ගත්ත දේවල් නිසා තමයි ජිවිතේ යාත්‍රාව මෙච්චර දුරකට පදවන්න යාත්‍රාට පුළුවන් උනේ. හැබැයි යාත්‍රා විසිරි සිහිනට ස්තුතී කියන්නෑ. මේ ලියපු ටිකෙන්ම විසිරි දැනගන්න ඕනා ඒක ස්තුති කියන වචනේට වඩා වැඩි දෙයක් කියන එක. 

තවත් දෙයක්   පහු ගිය ටිකේ ඉයන් මහත්තයාත් බොහොම අපුරු තල්ලුවක් දුන්නා යාත්‍රාවට. ඒ තල්ලුවත් සැහෙන්න ලොකු දෙයක් උනා යාත්‍රාවට අලුත් අලුත් ඉවුරු ගොඩක් හොයා ගන්න. තව ඉතිං බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලේ ඉදන්ම දන්න කියන කෙනෙක් තමයි සොඳුරු සඳවති. ඒ විතරක් නෙවී ඉතිං දුමී සහ රස්තියාදුකාරයත් මුල් කාලේ ඉදන්ම හිටියා මතකයි. එරන්දියි පොකුරු වැහි ඒ දවස් වල හිටියා යාත්‍රාව පිටි පස්සේ. හම්මේ ඉතිං තව කියන්න ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝටමයි මම කියන්නේ නොකී අයටයි කියපු අයටයි හැමෝටම ස්තුතී කියලා තමයි ඉතිං. 

යාත්‍රා මහ ලොකුවට දෙයක් ලියන්නැති උනාට ඔය ලියලා යන මොකක් උනත් ඉතිං කියවලා බලනවට. ඒ විතරක් යැ කමෙන්ට් එකක් එහෙමත් දනවානේ. ඒ මදැ අප්පා යාත්‍රාවට ඉස්සරහට යන්න. ඉතිං මේ යාත්‍රාව පදවන යාත්‍රාගේ කම්මැලි හිත නොවෙන්න මේ ජිවිතේ යාත්‍රාව ගොඩක් දුර ගිහින් තියෙන්නත් තිබ්බා. කොහොම හරි කියවන අයගේ වාසනාවටද කොහෙද යාත්‍රා යාත්‍රාව හබල් ගාන්නේ හිමින්.

දැන් ඉතිං මේ ලියද්දිත් ඉතිං යාත්‍රාට හිතෙන්නේ කවදා සියක් ලියන්නද කියලා. හම්මේ තව අවුරුදු තුන හතරක්වක් යයි. කොහොම උනත් ඉතිං යාත්‍රා ඉල්ලන්නේ එතකං ඔය කට්ටිය මේ විදිහටම යාත්‍රාව අල්ලන් ඉන්න. පුළුවන් විදිහක තල්ලුවක් දෙන්න කියලා තමයි. ආ දැන් අමතක නොකර යාත්‍රාට සුබ පතන්න ඕනේ. ඒකටනේ මේක ලියන්නේත්.එහෙනම් යාත්‍රාට යි  අනික් හැමෝටමයි ත් ජය වේවා.

Friday, March 30, 2018

සොඳුර, සුහද


සොඳුර ඔබ - මම සේම
උනුන් උන් - උන් අතර
හිඩැසක් තබා ඇත
කඳු මුදුන හා ගගන

සුහද මම - ඔබ සේම  
උනුන් උන් - උන් අතැර  
හුදකලා නොවනු ඇත  
වෙරළ හා මහ සයුර

සොඳුර ඔබ - මම සේම  
උනුන් උන් - උන් අතර  
නොපෙනුනත් දුරක් ඇත  
සඳක් හා තරුවකට

සුහද මම - ඔබ සේම  
උනුන් උන් - උන් අතැර
 මහ දුරක් නොයනු ඇත
හබල හා ඒ ඔරුව

සොඳුර ඔබ - මම සේම  
උනුන් උන් -උන් අතැර
 සමුගැන්ම උරුමයයි  
ගහට හා තුරුපතට

සුහද මම -ඔබ සේම
උනුන් උන් - උන් අතර
ඉඩක් කොයිලෙස වේද
රුවක් හා හෙවණැල්ල

Monday, March 26, 2018

ඔබට







වසන්තයේ දිග පළල
විමසයි නම් කවරෙකු හෝ
කියමි. මම ඒ අයට,
නුඹේ සිනහව ඒ තරම් බව...



Sunday, March 25, 2018

ආදරය කියන්නේ?






ආදරය කියන්නේ
මෙවැනි වු දෙයකට...

දනන් දහසක් අතර
ඔබේ රුවම පෙනීමය.
වදන් සහසක් අතර
ඔබේ හඬම ඇසීමය.

ප්‍රේමයැයි කියන්නේ
මෙවැනි වු දෙයකට...

සවන් මත කොඳුරනා
හඬ ඇසෙන දුරක වීමය.
ලවන් මත උණුහුමට
හුස්ම තවරන ළඟක වීමය.

එත් ; නුඹහට,
ආදරය කියන්නේ...
හිමි විම නොව අහිමි විමය.
ප්‍රේමයැයි කියන්නේ
නොවැළපි අතැර නොනැවති යාමය.



Monday, February 19, 2018

එක්තරා බැල්ලකගේ කතාව


ගොළු පුතයි ලොකු දුවයි
පොඩි පුතයි අඳ මවයි
උඹයි විටෙක එන යන ඔහුයි
ගණන් බැළුවොත් ඉතිං ඔක්කෝම
එකතුවට එන්නේ හයයි

ගොළු පුතුට නැසේන
අඳ මවට නොපෙනෙන
උඹේ සුසූම් හා කඳුළු සේරම
අහන් ඉන්නේ මමයි
එකතුවට මාවත් ගතොත්
ඉතිං ඔක්කෝම හතයි

ලොකු දුවයි පොඩි පුතයි
එන මඟ බලන්නේ මමයි
දුටු ගමන් ඔවුන් රුව නෙත
කන් පොටක් සොලවා
උඹට කිව්වේත් මමයි
ඔහු ඇදෙන් බැස්සේත් එතකොටයි

ආපු කෙනෙකුගේ හිතක් සතුටුව
මොණරු අත ගුළි වුන වෙලාවක
පහේ යහමින් දමා සතොසින්
බතක් ඉව්වේ උඹයි
ලෝභ නැතුවම මටත් සෙනෙහෙන්
කොටස බෙදුවේත් උඹයි

මාවතේ මම දඩාවතේ
ගියේ ඉද හිට තමයි
අනිත් හැම විට උඹේ ළඟින් හිද
තනිය මැකුවේ මමයි
බඩට එන උන් නැති කරන්නට
දැනන් හිටියේ උඹයි
ඒ වගක් ඉතිං මම නොදැන උන්නා නොවෙයි

මේ මුරේ මේ පළවෙනි සැරේ
පැටවු ඔක්කෝම හයයි
මාත් එක්කම ගණන් බැළුවොත්
මගේ පවුලත් හතයි
උඹට එය මහ මෙර හා සම බරක්
සද්ද නැතුවම හිටිය මුත් මම
නොතේරේනවා නොවෙයි

එකම දවසක උපන් පැටවුන්
ගුළිව එකටම මියැදෙන්න හේතුව
හැංගුවට උඹ මට එ්ක රහසක් නොවෙයි
දුකක් හිතුනේ උඹත් අම්මේක් නිසයි
එත් මම ඉවසුවේ මහ දුක
පාරේ හමු වී ඉව කරන උන්
කන්න කටකදු ළඟට ගෙනවිත්
නොදෙන හින්දාම තමයි

Thursday, February 1, 2018

සහීනාට ලියමි






පුර හඳම අඩ හදක් වෙනකොට
කොහොමද වෙනස් වෙන්නේ සහීනා

කොල්ලො ගැන දවසම අපි කියවද්දී
උඹ නිහඬවම උන්නේ කොහොමද සහීනා

කුරානය වඳින්නට අපිව මඟ හැර ඇවිත්
රෝඩීයෝවේ පිරිත් අහන් උන්නේ කොහොමද සහීනා

වටලප්පම් පළඟනාවක් අතැර මේසය මතට
වඳ බෙහෙත් නැතැයි හිනැහුනේ කොහොමද සහීනා

පහේ නොදමා අපි හදපු පොලොස් ඇඹුලට
පදමට ලුණු ඇඹුල් එක් කෙරුවේ කොහොමද සහීනා

තනි තනිව ගත් විට අප මිතුරු වෙනකොට
වෙන් වෙලා සතුරු වෙස් ගත්තේ කොහොමද සහීනා

හොඳම යාලුවා සිංහල වෙච්ච ඒකට
ආඩම්බරයි කිව්වේ උඹමද සහීනා

දවසක රෑක ඩෙනිමක් ඇදගෙන විප්ලව කරමි කිව්ව
උඹටත් අපිව හතුරැ ලෙස  පෙනුනාද සහීනා

යහළුකම් ගැන හොයා නොබැලුවාට කමක් නෑ බං
කොයි පැත්තෙන්ද  කොටසක් ඕන කියපන්  සහීනා...

" මෙහෙට ශිග්නල් නෑනේ,
මම අම්පාරේ පුංචි ඉශ්කොලේ සිංහල / ඉංශ්‍රීශි උගන්නනවා"

මගේ දිගම දිග ලියුමට,
හිනා මුණු තුනක් එක්කම
සති හයක් පමා වී ආව
කෙටිම කෙටි පණිවිඩය.

යාළුකම් ගැන නොහිතා
වෙඩි තියලා මරපන් සහීනා
මේ විදිහට නොමරා...

 




FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...