මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, August 21, 2018

අප්පච්චිට

ඔබ දෙස බලමි - නැංවෙන කඳුලක් පිසිමි
ළයටම තුරුළු වෙමි -  හිමිහිට හිස අත ගාමි
උරහිස වෙළෙමි -  දෑතින් ඔබ වැළඳ ගමි
හිනැහෙමි - මතකයට ඔබ ඇවිදින'යුරු දකිමි


පණ නැති වමත ගමි -  එහි රේඛා බලමි
දෛවයේ නපුරු තැන් දකිනෙමි - පසුබසිමි
වැළපෙමි - හඬමි දෙවියන්ටත් දොස් තියමි
සරදම් ජිවිතය විදවමි - ඉවස ගමි

විටකදි වැටෙමි - යළි නැඟිටිමි - හති අරිමි
හෙවණැළි හොයමි - ඔබ පසුපසදැයි සිතමි
නැති වග දනිමි - මතකය ගෙන දිග හරිමි
එහි ඔබ දකිමි - මම සුළැඟිල්ලක වෙළෙමි

උරහිස ගොරහැඬිය කිමදැයි නොවිමසමි
දන්නෙමි - දනිමි - මම එහි රැඳි බරක් වෙමි
ඔබ හිත කියව ගමි - එහි ගැඹුරත නිදමි
සෙනෙහස බෙදා නොදෙනෙමි - ඔබ බදා ගමි

තරු ඇති හැම තැනම සඳ ඇති බව දකිමි
මා යන යන තැනක ඔබ නොඑනා බව දනිමි
ඔබ ඉන්නා තැනට එබැවින් පියාඹමි
එනවිට  හිතේ තෙත මේ කුළකට බෙදමි

ආදරේ උතුරනා කටහඬ අසා ඉමි
කඳුලට ⁣⁣වෛර කරනෙමි - මම සිනාසෙමි
වැරදුන වචන ඇති - ඔබ පා ළඟ හිස තියමි
ගිනි ගෙන දැවෙමි - එනමුඳු ඔබ හද නිවමි

7 comments:

  1. ලස්සනයි, අප්පච්චි අසනීපයෙන් නම් ඉක්මන් සුවය පතමි

    ReplyDelete
  2. තරු ඇති හැම තැනම සඳ ඇති බව දකිමි
    මා යන යන තැනක ඔබ නොඑනා බව දනිමි
    ඔබ ඉන්නා තැනට එබැවින් පියාඹමි
    එනවිට හිතේ තෙත මේ කුළකට බෙදමි"


    ලස්සනයි ......

    ReplyDelete
  3. දුකයි...කියන්නෙ මොනාද කියලත් හිතා ගන්න බෑ

    ReplyDelete
  4. හිත දවන නිවන කවියක්

    ReplyDelete
  5. රසවත් සහ බොහෝ සංවේදී නිර්මාණයක්...පහුගිය ටිකේම කමෙන්ටු නොදැම්මට යාත්‍රාගේ බ්ලොග් එක නම් දිගටම කියෙව්වා...

    ReplyDelete
  6. අපූරුයි! ආදරේ උතුරන කටහඬ අසා ඉන්න මට නම් වාසනාව දැන් නෑ...
    පියාණන් ට දීර්ඝායු!!

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...