මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, July 19, 2018

දුවෙක්ට පුළුවන්

දුවෙක්ට පුළුවන් අප්පච්චියෙක්ට පුතෙක් වෙන්නත්, අම්මෙක්ට දුවෙක් වෙන්නත්,

පුතෙක් නැති අඩුව තදින් දැනිච්ච පවුලක්. පුතාලා ඉන්න පවුල් වලින් සමච්චල් වින්ද පවුලක්. "කොල්ලෙක් නැතුව බෑ" කියද්දී සුසුම් හෙළපු අම්මා කෙනෙක්. ⁣"පුතෙක් හිටියා නම් කවදා හරි ලේලියක් ගෙනාවාම ඔයා නිදහස්" කියද්දී "අනේ"  කියවුන අම්මා කෙනෙක්.  "කොල්ලෙක් හිටියා නම්" කියද්දී ඇස් බිමට බර කරගත්ත අප්පච්චි කෙනෙක්. "වයසට ගියාම කොල්ලා ගාව වැටිලා ඉන්න පුළුවන්" කියද්දී පපුවට අත තියා ගත්ත අප්පච්චි කෙනෙක්. ඔව් ඒ පුවලේ දුවරුම තුන් දෙනෙක්.

බයිසිකල් පදින්න නැති වෙද්දී මල්ලි කෙනෙක් හිටියා නම් හිතපු කෙල්ලෙක්. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරද්දි අයියා කෙනෙක් හිටියා  නම් හිතපු කෙල්ලෙක්. අම්මේ අපි මල්ලියෙක්ව හදා ගන්න ගමු කියපු කෙල්ලෙක්. ඒ පවුලේ දෙවෙනි කෙල්ල.

ලොකු අම්මා "අපේ පුතා නම් ....." කියද්දි තරහෙන් පුපුරච්ච කෙල්ලක්. ලොකු අම්මා ඒ පුතාව මලක් වගේ බලා ගද්දි මල්ලක් අරන් අම්මාට ලුණු තුන පහ  ගෙනත් දෙන්න කඩේ ගිය කෙල්ලක්. මේක ඇරලා දෙන්නකෝ  කියාගෙන සැමන් ටින් එක, ජෑම් බෝතලේ අරගෙන අම්මා හොයාගෙන එන කෙල්ලක්. වී එක බාගන්න එන්න, වී එක කොටාගෙන එන්න, මේ ටැප් එක හදන්න, අර බල්බ් එක දාන්න, ඔය මල් පොච්චිය ගෙනත් මෙතනින් තියන්න අම්මාගෙන් අණ ලැබුණ කෙල්ලක්.

"අපේ පුතාලා දෙන්නා ....." කියලා බාප්පා කියද්දී "ඉන්නලාකෝ දවසක" කියලා හිතින් හිතා ගත්ත කෙල්ලක්, අප්පච්චි එක්ක කරට අත දාගෙන බස් එකේ ෆුට් බෝඩ් එකේ ගිය කෙල්ලක්, ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න උදව්වට අයියා කෙනෙක් වෙනුවට අප්පච්චිම හොඳයි කියලා හොයා ගත්ත කෙල්ලක්, අප්පච්චි  ඉස්සර ඉරිදා දවසක තනියම පොඩියට අශෝක විදුරුවක් ගද්දී කපපු පිපිඤ්ඤා ගෙඩියක්, බොම්බයි ලූණු ගෙඩියක් ගම්මිරිස් ලුණු දලා ටිපෝව උඩින් ගිහින් තියෙන කෙල්ලක්.

"කොල්ලෙක් වගේ හදලා හරියනවද? ගෙදර දොරේ වැඩක් දන්නැතුව" නැදෑයෝ එහෙම කිව්වාම ඇදන් ඉන්න කොට කලිසම ගැලවෙන්න අම්මා රවලා බලපු කෙල්ලක්. අදත් කොට කලිසමක් ඇඳ ගෙන නැදැයෝ අවාම ඉඟුරු දාපු තේ හදන කෙල්ලක්. "කාලා යමුයි" කියලා බතක් මාලුවක් හදන කෙල්ලක්.

"ඔය මල්ලි පස්සට යන්න" කොන්දොස්තර කිව්වාම " පුතේ එන්න" කියලා බස් එකටම ඇහෙන්න කෑ ගහලා ලඟට අරන් "කනේ කරාබුත් නෑනේ ඌ රැවටුණා හොඳටම" කියලා අප්පච්චිගේ හිනාවට ලක් වෙච්ච කෙල්ලක්. "ඔයා මේකට සීනි දලා, බොන්න බෑ" කිව්වාම "බොන්න බැයිනම් තියන්න" කියලා සැර කරන කෙල්ලක්.  අම්මා අසනීප උනාම "කන්න දෙයක් නෑ නේ බිත්තරක් ඔම්ලට් දලා දෙන්නම්" කියන කෙල්ලක්.

"මහන්සියි නේ අම්මා ඉන්න මම උයන්නම්" කියන කෙල්ලෙක්. "අප්පච්චි ඔය ගල් ගොඩ මම අඳින්නම්" කියන කෙල්ලක්.

"දුවේ" වෙනුවට වැඩිපුරම "පුතේ" කියන වචනේ අහපු කෙල්ලක්. ඒ පවුලේ දෙවනි කෙල්ල.

අම්මාට අසනීපයි කිව්වාම දුවගෙන එන කෙල්ලො තුන්දෙනෙක්. අප්පච්චිට හොස්පිට්ල් නවත්තපුවාම පිරිමි වාට්ටුවේ නවතින්න අවසර ගන්න කෙල්ලෝ තුන් දෙනෙක්. "ඔයා උදේට, මම දවල්ට, චුටි අක්කා රෑට" කියලා වෙන් කරගෙන හොස්පිට්ල් යන කෙල්ලො තුන්දෙනෙක්.
"ලොකු නංගි කඩේ යන්න, චුටි නංගි මට උදව් කරන්න" කෑම ටික රහට හදන කෙල්ලොතුන් දෙනෙක්. අන්නාසි කපපුවාම ගොඩවල් ගහන කෙල්ලෝ තුන්දෙනෙක්. හවසට තේ බොන්න මොනවා හරි කෑමක් හදන කෙල්ලො තුන් දෙනෙක්. කොල්ලෙක් වගේ කලිසම් කමිස අඳින කෙල්ලෙක්. එකම විදිහට මහගත්ත ගවුම් අඳින කෙල්ලො තුන්දෙනෙක්.

සමහර සීමා බිඳ දාපු කෙල්ලක්. සමහර සීමාන්ත වල හිරවෙලා අම්මට අප්පච්චිට සැනසීම දීපු කෙල්ලො තුන්දෙනෙක්. කෙල්ලන්ට බැහැයි කියපු සමහර දේවල් කරපු කරලා පෙන්නපු කෙල්ලක්. ඕනම තැනකදි අසාධාරණේට කෑ ගහන කෙල්ලෝ තුන් දෙනෙක්.

"ඒ කොල්ලන්ට වඩා මගේ කෙල්ලට පුළුවන්" සුදු හාමිනේ කියන අප්පච්චි කෙනෙක්. "කෙල්ලෝ තුන්දෙනාටම මගේ අත්ගුණේ තියෙනවා" කියන අම්මා කෙනෙක්. අද කෙල්ලො නිසාම ආඩම්බර වෙන අප්පච්චි කෙනෙක්." ඒ වගේ කොල්ලො නම් එපා" කියන අම්මා කෙනෙක්. "මම්මට කෑම එක ගිහින් දෙන්න අයියලා හිටියට මොකුත් ගෙනත් දෙන එකක්යැ" කියලා "අනේ ඒ අතින් මගේ කෙල්ලො" කියන අම්මා කෙනෙක්. හිතට බයක් දැනිච්ච වෙලාවට හිතට හයියක් ඕන වෙලාවට වෙනසක් නැතුව කෙල්ලො තුන්දෙනාට කොල්ලන්ට වගේ කතා කරන අප්පච්චියෙක්.

ඉතිං කෙල්ලෙක්ට පුළුවන්,

අම්මෙක්ට පුතෙක් වෙන්න.
අප්පච්චියෙක්ට දුවෙක් වෙන්න.
ඒ වගේම කෙල්ලෙක්ට පුළුවන්,
අම්මෙක්ට දුවෙක් වෙන්න.
අප්පච්චියෙක්ට පුතෙක් වෙන්න.

ඉතිං එහෙම කෙල්ලෝ තුන්දෙනෙක්ගේ  මද්දු කෙල්ල වෙච්ච මට අයිතියක් තියෙනවා "පවුලකට කොල්ලෙක් නැතුවට කමක් නෑ. දුක් වෙන්න එපා. කෙල්ලෙක් ඉන්නවද? ඕ කෙල්ලො දෙන්නෙක්ද? අනේ තුන් දෙනෙක්ම හරියටම අපේ වගේ, කෙල්ලොම හතරක්ද? අම්මෝ එහෙනම් උන් ටික ලෝකේම පෙරළයි" කියන්න.

කොල්ලො ඉන්න කවුරු හරි කෙල්ලෝ ඉන්න පවුලකට හිනා වෙනවා නම් හිත රිදෙන්න කතා කරනවා නම් "මොනවා උනත් ,තිබ්බත් කොල්ලෙක් නෑනේ"  කියනවා නම්, "කෙල්ලො විතරක් බෑ කොල්ලෙකුත් ඕන" කියනවා නම්,
මේ ටිකත් මතක තියා ගන්න මං එහෙම අයට කියනවා "කෙල්ලෝ ලේසී නෑ. උන් බොම්බ වගේ ජාතියක්. උන්ව පුපුරෝව ගන්න එපා කියලා." එහෙම උන දවසක අපිට කෙල්ලෙක් නෑනේ , කෙල්ලෙක් හිටියා නම් අනේ කියලා දුක් වෙන්නත් එපා.

කෙල්ලෙක් කියන්නේ කෙල්ලෙක් ඉන්න පවුලක් කියන්නේ මේ ලොකේ තියෙන ශක්තිමත්ම සමාජ ස්ථරයක් කියලයි මම අද හිතන්නේ. එහෙම පවුල් දුර්වල නෑ. කරුණාකරලා කෙල්ලො විතරක් ඉන්න දෙමව්පියන්ව රිද්දන්න එපා. එහෙම වෙද්දි මොන තරම් උනත් ඒ දෙමෙව්පියෝ අසරණ වෙනවා.  ඒත් දෙමව්පියෝ ඒ කෙල්ලන්ට පණ වගේ ආදරේයි කියන්න අමතක කරන්නත් එපා. කෙල්ලන්ව විශ්වාස කරන්න. ඒ විශ්වාසේට පණ වගේ ආදරේ කරන්න. ❤

Thursday, June 21, 2018

MAA

මට බල කරන්න බෑ විනාඩි විසි අටකුත් තත්පර කිහිපයක ඩේටා බිලක් දරාගෙන මේක බලන්න කියලා. ඒත් එහෙම නොකියා ඉන්නත් හිතක් නෑ. එහෙම වැය කිරිමේ හැකියාවක් තියෙනවා නම් බලන්න. ඒක අපරාදයක් කියලා දැනෙන එකක් නෑ.

"මා"
"MAA"
මේ තමයි චිත්‍රපටියේ නම.කෙටි චිත්‍රපටියක්.
මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Sarjun KM. මේ ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපටිය යි. පළමු චිත්‍රපටයට වඩා මෙහි සංවේදී රූප රාමුත්  එක්ක තමයි සාර්ජුන් ගනුදෙනු කරන්නේ. 
 


MAA කතාව කෙටියෙන් මෙහෙමයි.

ඇය අම්මු. දහ වන වසරේ ඉගෙන ගන්න අම්මු හොකි ක්‍රීඩිකාවක්.  (අම්මුට පණ දෙන්නේ මලයාලම් සිනමාව සායි පල්ලවි තරමටම වසඟයට ගතහැකියැයි මා  විශ්වාස කරන  තවත් තරුවක් වෙන Anikha Surendaran.) 
 
කතාවේ අාරම්භය සිද්ධ වෙන්නේ හොකි පුහුණු වීම් අතරතුර ඇය ක්ලාන්ත වී ඇද වැටීමෙන්.පස්සේ අම්මු එයාගේ යාළුවගෙන් අහනවා.

"ඔයාට periodes  වෙන්න පරක්කු වෙලා තියෙනවද " කියලා.
මේ කතා කරන්න යන්නේ නව යොවුන් ගැබ් ගැනීමක් ගැන කියන සංවේදනාව එතනින් මගේ හිතට ඇතුල් වෙනවා.

අම්මු ගෙදර ඇවිත් වමනය කරනවා.  එයාගේ අම්මා ඉස්සරහා දී අම්මු කියනවා.
" අම්මේ මම හිතන්නේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා  කියලා"
 


අම්මු එයාගේ අම්මා ඉස්සරහා වැරුද්ද පිළි ගන්නවා. ඇය පාපොච්චරාණය කරනවා. හඬා වැටෙනවා.  (අම්මුගේ අම්මාගේ චරිතයට පණ දෙන ඇය Kani kusruti ) අම්මා කෙනෙක්ට ඉවසගන්න බැරි දරා ගන්න බැරි වචන ටිකක් ඇහුවට පස්සේ ඇය අම්මුව මරලා දාන්න හිතනවා. ඒ හිතිමම ඇයට තිගැස්මක් එකතු කරනවා. ඔව් අම්මලා එහෙමයි. අම්මුගේ එකම එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි "අම්මා ඔයා වෙනුවෙන්" කියන එක. අම්මු එහෙම ඉල්ලනවා එයාගේ කාමරේදි අම්මාට තුරුල් උනාට පස්සේ.
 


අම්මා කෙනෙක්ට දරුවෙක් මරන්න පුළුවන්ද? ජිවිතයක් විනාශ කරන්න පුළුවන්ද? බැහැ කියන්න එපා. මම හිතනවා පුළුවන් කියලා. ඔව් පුළුවන්. අම්මා කෙනෙක් කියන්නේ හදවතක් විතරක් තියෙන ගැණියක් නෙවෙයි.  අම්මා කෙනෙක් කියන්නේ කලලයකට කුසේ ඉඩ හදන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ කන්න උයලා දෙන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ දරුණු කුණාටු වලට මුහුණ දෙන මහ පර්වතයක්. සුළි සුළං තමන්ගේම බඳ වටා ඔතාගන්න මහ කන්දක්. 


අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ව බිහි කරන කෙනාටවත් දරුවෙක්ව හදන කෙනාටවත් නෙවෙයි කියන්න මම විශ්වාස කරනවා. මම එහෙම විශ්වාස කරන අම්මාගේ හෙවණැල්ල අම්මුගේ අම්මා ළඟ තියෙනවා. ඔය තමයි මම මේ කෙටි ෆිල්ම් එකට කැමති වෙන්න පළවෙනි හේතුව. මේ තියෙන්නේ ෆිල්ම් එක බලන්න ලින්ක් එක. මට හිතෙන්නේ අද අම්මා කෙනෙක් බලන්න ඕන චිත්‍රපටියක් කියලා. විනාඩි විසි අටයි තත්පර ගානක ඩේටා බිල අපරාදයක් නෙවෙයි කියන්න විතරක් මට පුළුවන්.

https://youtu.be/-lKk_5qYdkk
Preview YouTube video MAA - Short Film | Ondraga Originals | Sarjun KM | Sundaramurthy KS

මට තව දෙවැනි හේතුවක් තියෙනවා.ඔය කිව්ව පළවෙනි හේතුව හින්දම මම කතාවක් ලියනවා. මට තියෙන එකම කණගාටුව ඒ කතාව ලියන්න කලින් මම මේ ෆිල්ම් එක නොබලපු එක විතරයි.කතාව ලියන්න කලින් මේ සොර්ට් ෆිල්ම් එක බැලුවා නම් මගේ කතාව තවත් වෙනස් වෙන්න තිබ්බා. ඊටත් වඩා කතාවක් සංවේදිව ගොඩ නඟන්නේ කොහොමද කියන එකයි පැටලෙන්නැතුව කතාවක් ලියන්නේ කොහොමද කියන එකයි අඳුනගන්න පුළුවන් උනා MAA බැලුවට පස්සේ. මේ තියෙන්නේ මගේ කතාව.

https://m.facebook.com/story.php?story_fbid=1746767928722226&id=100001671085525

Thursday, June 7, 2018

ජීවිතය මේ වගේයි



"මට ඕන උනේ මට ම වෛර කර ගන්න. තැනින් තැන ඉතිරි වෙලා තිබ්බ ලේ පාට කළු පැල්ලම් මකලා දාන්න. ඒ කාලේ මහ අමාරු කාලයක්. මට සිද්ධ උනා උත්තර හොයන්න, තවදුරටත් මම ජීවත් වෙනවද නැද්ද කියලා සැරින් සැරේට හිතට වඳ දිදී මාව ම වෙහෙසට පත් කරවපු මගේ හිතුවිලි වලට. ඒ කාලේ මහ අමාරු කාලයක් උනේ එකකට උත්තර හොයද්දී, උත්තර හම්බෙද්දී තවත් හුඟාක් ප්‍රශ්නාර්ථ ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්ත එක. මම තවදුරටත් ජිවත් වෙනවා නම් උඹව ජිවත් කරවනවද නැද්ද කියලා හිතෙන්න ගත්තාම තමයි මට ඕන උනේ උඹවත් මරාගෙනම මාත් මැරෙන්න. එතකොට උඹට මාස දෙකක් ඇති මයේ හිතේ.

ආන් අර පේන කඳු ගැට්ට තියෙනවා නේද? මට ඔහොම හිතුන හැමදවසකම පහළ වත්තේ පොඩි උන්වත් එක්කහු කරගෙන ඔන්න ඔය කඳුගැට්ට නැග්ගා. එක උඩ ඉඳන් පහළට රිටුවා. ආයෙම උඩට බඩ ගෑවා. අැඟේ මුළු හයියෙන්ම පොඩි උන්වත් පහු කරගෙන කන්ද මුදුනටම දුවනවා. සතුටටත් එක්ක මං උන්ටත් වඩා හයියෙන් උඩ පනිනවා.

එන්න එන්න උඹේ බර වැඩි වෙනවා දැනෙද්දී ඒ තරමටම උඹව හිතටත් බරක් උනා. ආන් ඒ හින්දමයි මම තනියම උනත් ඔන්න ඔය කන්ද නැග්ගේ. ඒ වෙන කොට කන්ද කියන්නේ මට නුහුරු තැනක් නොවයි. හොඳටම පුරුදු තැනක්. මං කන්ද පාමුලට වඩා කන්ද මුදුනට කැමති. මොකද මේං මේ පිට සිරිච්ච කටු පඳුරු තිබ්බේ ඕං ඔය කියන කන්ද පාමුල. තිබිච්ච එකම සුදු ගවුමේ එදා එඬරු කහට ගැවුනැයි කියලා ඉස්කෝල් ගිහින් ඉවර වෙච්චි අක්කාගේ පරණ ගවුමක් වාටි ලෙහලා මහලා දෙනකම් දවස් තුන හතරක්ම ඉස්කොලේ නොයා හිටියෙත්, ගවුම පරණයි කියලා නැවති නැවති ඉස්කොලේ යන්න පටන් ගත්තේත් ඕං ඔය කියපු එ් දවසින් පස්සේන් පහු.

එදත් එහෙම දවසක් මම කන්ද මුදුනටම බඩ ගාපු. ටික ටික මෝදු වෙවී ලොකු වෙන බඩ ගෙඩිය හංගන්න අම්මාගේ චීත්තයක් දෙතුන් විඩක් කරකවලා තද වෙන්න උඹව ගැට ගහලා තිවුණේ.කන්ද මුදුනට එදා ගිනි සැරේට වැටිච්ච අව් රැල්ල. මට මතක තිවුණේ මේං මේ ඇස් පියැවෙනවා විතරයි. ඕං එදා ඇස් ඇරලා බලද්දි මං හිටියේ මේං මේ පැල් කොටේ ඕං ඔය මැස්සේ දිගා කරවලා.

" ඔය ඇත්ති දිහා මං දවොස් කියක් නම් බලා හිටියද? ඔය කරන වැඩේ තේරුමක් තියෙයියැ. ඔය ඇත්ති අකමැත්තක් නැත්නම් මේං මෙහෙට්ට වෙලා ඔය බර හැල්ලු වෙනකම් ඉන්ට, මට ඇහැක් ඔය ඇත්තිව ඇස් දෙක වගේ බලා ගන්ට " 

ඒං ඒ වෙවුලපු කටහඬ ආපු පැත්තට අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දී තමයි මම දැක්කේ උඹේ උප්පැන්නේට නම දීපු උඹ ඔය සීයැයි කියන ඔය මනුස්සයා මේ මැස්ස ඉහැත්තැවට වෙන්න ඇණ තියාගෙන ලිපට පිඹ පිඹ කේතලයක් රත් කරනවා. මං උන්දැව මුලින්ම දැක්කේ පොල් කොළ දුම මැද්දෙන්. ඒ දුමට වෙන්න ඕනෑ උන්දෑගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා මට අදටත් මතකයි.

"මේං මේ කැළේ මැද්දැවේ ඉන්න බෑයි" කියලා උඹ කිව්වට එදායින් පස්සෙන් පහු මම මගේහ් අතීතයටයි, මටයි වෛර කර ගන්න එක නවත්තලා ජීවත් වෙන්න පටන් ගත්තා. උඹේ දෛවය බාර වෙච්ච මොන දෙයිහාන්දුරුවෝ හරි මට මේ මනුස්සයාව එදා මුණ ගැස්සුවා. මට මෙන්න මේ ජීවිතේ කියලා දුන්නේ ඕං ඔය උඹ සීයයි කියන මිනිහා. උඹ ඒක හොඳට මතක තියා ගනින්. 

" ආන් අර තොටිල්ල ටිකක් පද්දලා වරෙන්, පොඩි ඒකී ඇහැරලාද කොහහෙද? මං මෙතනින් නැගිටලා ගියොත් හෙම ඕකී තනේ ඉල්ලලා බෙරිහන් දෙන්න ගනී. මේං මේ රොටිය කබලේම කරවෙයි" " 

Sunday, June 3, 2018

ඔබට



ඔබව සිහිවන විට
අහස දෙස බලමි. එක්වර
ඒ තමයි මම දැන් දන්න
කඳුළු නවතන එකම එක විදිහ


Wednesday, May 30, 2018

දෙවියනි,





දෙවියනි,

ප්‍රාර්ථනාවන්ට සවන් දෙන

දේවදුතයකු එවන්න,

දන්නවද? මට අවැසි

මේ කවිය ඈ දෙතොල් මත තබන්න



දෙවියනි, එපමණක් නොව,

මායා දැත් ඇති සුරදුතයකුද එවන්න,

ඇත්තමයි මට අවැසි

සිහිනයක් ඈ දෙඇස අලවන්න



දෙවියනි,

ඔබ යදින මොහොතකදී පවසන්න

ආදරය ඇත්තේ ඈ තුළද, ඒ හදවතද,

දෙවියනි,

මට දිශාව පෙන්වන්න

වහ වහා ඒ ආත්මයේ සැතපෙන්න



දෙවියනි,

ඔබට කිනම් පඩුරක් අවැසිදැයි පවසන්න

හදවතේ ලිපිනය සමඟ

මේ කවිය ඈ වෙතට ගෙන යන්න



මොහොතක් සන්සුන්ව හිදින්න


දෙවියනි,

මේ යාඥාවට පසුත් එලෙස නොපවසන්න.

හදවත සුවඳ විලවුන් ඈ මුවඟ නොගැවී

දසත දස අත  විසිර යන හැටි

අඩවන්ව නොඉඳ දෙනෙත් හැර බලන්න

Sunday, May 27, 2018

කාලි

"කාලි"


උඹේ ඔය මුදු මන්දහාස බැල්ම, 

පෙනී නොපෙනෙන අයුරු දිගැටි ඇහි පිය පියවිල්ල, 

කතාවක අතරතුර කෙහෙරැලිත් අවුස්සා ලතාවට හිස සෙලවිල්ල,

ජප කරන මන්තරයක් වගේ උඹේ ඔය කියවිල්ල, තෙත බරිත දවස්වල ආදරේයැයි මිමීණිල්ල, "මහන්සියී" උර හිසක හිස තියන හීන් වු කෙඳිරිල්ල, 

කාලි, මේ තමයි සමහර හේතුකාරක,
"ඇයි මෙච්චරම" උඹ අහන කොට දෙන්න තිබුණ උත්තර. 




පොතක පිටු අතර ඇස් ගිලෙද්දී, " පොත නෙවෙයි මගේ දිහා බලපන්" උඹේ ඔය රැවිල්ල, 

රණ්ඩුවක අතර තුර " මගේ විතරයි" යැයි කියන මතක තබන්නට කරන හැපිල්ල,

ලොවම එපා වුණ වේදනා පිරි දවස් වල හිසතගා උඹ කරපු ඒ නැලවිල්ල,

කාලි, දන්නවද? උඹ තමයි මට තිබුණ එකම එක සැනසිල්ල,

කාලි, මේ තමයි සමහර අමතකම නොවන මතක, "අමතක වෙයිද" උඹ අහන කොට හිතේ කොටා ගත් පිහිතල පාර,



විරාම ලකුණු රැසකට පස්සේ උඹ තැබු නොමැකෙන ලකුණක් වුණා කාලි, අපතර මෙන්න මේ නැවතිල්ල, 

අදෝ‍නාවක් නෙවෙයි ජිවිතය, හිනැහුන දවස් තිබුණා කාලි උඹ එක්ක, ඒ හැම තත්පරයකටම වන්දි ගෙවන්නට අහන් ඉදපන් මේ වැලපිල්ල, 

උණුසුම්ම හාදුවක් සිහිව තිගැස්සෙන කොට අදත්, මම හිතන්නේම කවදාක සිදුවේයිද මේ හෘද ස්පන්දන නැවතිල්ල,

මටත් උඹටත් අමතක වු තවත් තැන් ඇති කාලි, මේ තමයි මම උඹට ලියන අන්තිමම පැමිණිල්ල, 

කාලි, මේ තමයි දිනපොතක ලියැවෙන සමහර කටුසටහන්. " මම ගැන ලියන්න"උඹ කියනකොට ලියන්න නොහිතුන හුඟාක් කඩතොලු වෙච්ච වචන.

Wednesday, April 18, 2018

දෙවෙනි බුදුන්

තව දුරටත් දෙයක් කියන එක හරි එහෙමත් නැත්නම් දෙයක් අහන එක හරි මේ වේලාවේ මේ තැනට සුදුසු නැ කියලා කියන්න විමලා දන්නවා. එත් එහෙමයි කියලා අම්මා කෙනෙක් විදිහට කට පියාගෙන ඉන්න පුළුවන්ද කියලා ඊළග විනාඩි බාගේදී විමලා හිතන්න ගත්තා. තමන්⁣අවුරුදු විසි හතක් තිස්සේ පුරුදු කරගෙන තිබුණ ඉවසීම කියන ⁣ගුණාංගේ ටිකෙන් ටික තමන්ගෙන් ඈතට යන හැටි විමලාට දැනෙන්න ගත්තේ රුධිර නාල උණුහුම් වෙන්න ගත්ත විදිහෙන්.

මීට අවුරුදු ගාණකට කලින් විමලාගේ සිංහල ගුරුවරයා වෙච්ච සරත් ගුණපාල නොහිටින්න විමලා අදටත් ස්වභාවයෙන්ම ඉවසිමක් නැති ගැහැණියක්. කටට එන දේ කියන්නයි, හිතට එන දේ කරන්නයි පුරුදු වෙච්ච හිතුවක්කාර ගති ගුණ සරත් ගුණපාල සිංහල ගුරුවරයා අපුරුවට යටහත් කරපු හැටි විමලාට ඒ අස්සේ කල්පනා වෙන්න ගත්තා. එත් එක්කම විමලාගේ හිතට ආවේ තරහක්. "මේ සිද්ධ වෙච්ච හැමදේටම වග කියන්න ඕන සරත්.එයාගේ බුරුල වැඩි."

විමලා මධුගේ කාමරේට එබුණේ ඒ තරහා එක්කමයි. තාමත් ඉස්කොලේ අැඳුම් පිටින්ම ඇද උඩ ගුලි වෙලා නිදාගෙන ඉන්න මධු දැක්කාම විමලාගේ හිතේ පිරුණේ අනුකම්පාවක්. ඉස් ඉස්සල්ලාම මධුව තමන්ගේ අතට ගනිද්දිත් මීට වඩා වෙනසක් නැ නේද කියලා විමලාට හිතෙන්න ගත්තා. අම්මා කෙනෙක්ගේ හිත එහෙමයි කියන්න විමලා දන්නවා. පොඩ්ඩ ඇත්නම් කඳුළු වලට කතා කරනවා. ඒ එක්කම මධු ලඟින්ම ඇද උඩින් වාඩි වෙලා මධුගේ ඔළුව අත ගාන ගමන් " හිතන්න එපා ලොකු, අපි ඔයාට ඉන්නවානේ, දැන් ඇඳුම් ගලවලා මුණ කට හොඳන් කාලා ඉන්න. තාත්තා ආවහම අපි කතා කරලා මේකට විසඳුමක් හොයා ගමු. හොඳ පුතානේ කෝ නැඟිටින්න." කියන්න ඕන උනත් විමලා මහා වැයමක් කරලා ඒ හිතුවිල්ල හිත යටම හංග ගත්තා. ඉස්සරහට තියපු කකුල පස්සට ගද්දි විමලාගේ නහර දිගේ ඇදුනු රත් වෙච්ච ලේ පපුවට රිංගගෙනත් ඉවරයි. දොර ⁣රෙද්ද ඇදලා වහද්දිමයි " හත්මුතු පරම්පරාවක එකෙක් කරපු දෙයක්ද මේ, අපේ මුණේ දැළි ගැවා. මීට හොඳයි තාත්තටයි මටයි වහ කුප්පියක් ගෙනත් දිපං. මේවා බල බල ජිවත් වෙනවාට වඩා මැරෙන එක සැපයි" නොහිතපු විදිහට මේ වචන විමලාගේ කටින් පිට උනේ. ඒ එක්කම කාමරේන් ආපු ඉකියත්, වැයමකින් නවත්ත ගත්ත ඊලඟ ඉකියත් විමලාගේ කකුල් බාගෙට අඩ පන කරලයි තිබුණේ. තව දුරටත් අඩියක් ඉස්සරහට තියන්න බැරි උන විමලා දොර ලඟම තිබුණ ඇඳි පුටුවේ වාඩි උනා.

විමලාට අැහැ ඇරුණේ කුස්සියේන් ඇහිච්ච සද්දේට. " දෙයියනේ" විමලාට එහෙම කියවුනේ, කළුවර වැටෙනකම්ම දන්නෙම නැතුව නින්ද ගිය හින්දද, එහෙමත් නැත්නම් කුස්සියෙන් ඇහුන සද්දේ, පොසිලෙන් පිඟානක් බිදෙන සද්දේයි කියලා අඳුනගත්ත හින්දද කියලා කියන්න විමලාටත් නිච්චි නැතුවට ඇහැ ඇරිච්ච දෙවෙනි තත්පරේට විමලා කුස්සියට ගියා. කුස්සිය මැද්දේම විසිරිලා තිබ්බ දම්පාට මල් වැටිච්ච සුදු පොසිලෙන් පිඟානේ කැඩිච්ච කැලි අහුලන මධුගේ රුපේ විනාඩි ගානකට විමලාව ගල් පිළිමයක් කළා. තාමත් මුණේ තැවරුන මද හිනාවකින් ගැස් ලිප උඩ ඉදෙන පරිප්පු හොද්ද හැඳි ගාන සරත් ගුණපාලට දොර ලඟ හිටගෙන, ඇස් දෙක නලල උඩ තියාගෙන ලොකු දුව දිහා බලාගෙන ඉන්න විමලාගේ කෙන්තිය අඳුන ගන්න තත්පරයක් ගියේ නෑ. තමන් ආදරේ කරන දේවල් කැඩිලා බිඳිලා යනවාට මේ ලොකේ කොයි ගැණියෙක්වත් කැමති නැති විත්තිය සරත් දන්නවා. විමලා කියන්නේ මුළු ආත්මෙන්ම තමන්ගේ කියන දේවල් වලට ආදරේ කරන ගැණියක් කියන්නත් සරත් දන්නවා. " ලොකු දැන් ගිහින් පොතක් පතක් බලා ගන්න, මම කන්න කතා කරන්නම් නංගිලා දෙන්නත් එක්ක එන්න" 

"මේච්චර හරියක් වෙලා තියෙද්දීත්, කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඉන්න හැටි. " විමලාට එහෙම කොයි විදිහට හිතුනත් " දෙයියනේ මේ මගේ දරුවා, ඇයි දෙයියනේ මෙහෙම දෙයක් සිද්ධ උනේ. මේ අහිංසකි කොහොම ඉවසන්ද" කියලා යටි හිතෙන් ඊට තත්පර බාගෙට කලින් හිතේ තිබ්බ අර හැඟිම යටපත් කරලා විමලාගේ හිත පුරාම තමන් ගැනයි, තමන්ගේ දරුවෝ ගැනයි, සරත් ගුණපාල ගැනයි, මේ ඔක්කෝම එකතු වෙච්ච තමන්ගේ පවුල ගැනයි මහා ආත්ම අනුකම්පාවක් හිතේ පිරෙව්වා. 

සුදුයි නිල් ඉරියි වැටුණ ටයි පටිය බෙල්ලේ ගැට ගහන ලොකුගේ රුපේ දිහා විමලා කණ්ණාඩියෙන් බලාගෙන උන්නේ ඇඳේ වාඩි ගෙන. ඉදිරියට නෙරාගෙන ආපු බඩ උඩට වැටුණු ටයි පටියත් එක්කම මධු තමන්ගේ බඩ දෙතුන් පාරක් අත ගාන දිහා විමලා බලාගෙන උන්නා. මධු යාන්තමට කණ්නාඩියට හිනා උනා. "රටේ ලෝකේ මිනිස්සුන්ට ඕන හැටියට නෙවෙයි අපි ඉන්නෝනා අපිට ඕන හැටියට" සරත්ගේ හිතුවක්කාර තිරණේ මෙච්චර දුරක් ඇවිත් නේද කියලා විමලා මධු දිහා බලාගෙන කල්පනා කළා. " මට අනිත් පොඩි උන් දෙන්නවත් මට ඕන හැටියට හදා ගන්න බැරි වෙනවා. අප්පලා දුලා ඕන නාඩගමක් නටා ගන්න එකයි ඇත්තේ, උඹලාට ආයෙ මේ අම්මා නෑ" තමන්ගේ හැම වචනයක්ම උඩු හුළගේ ගහගෙන ගියපු හැටි වගේම එදා ඉදන් ලොකේන්ම හැංගිලා තමන් ගෙවන ජිවිතේ ගැන විමලාට දැනුනේ දුකක්.එත් එක්කම මේ අඳුරු ජිවිතේට පාර කියපු ඒ කාලකන්නි දවස ආයෙමත් විමලාට මතක් වෙන්න ගත්තා. ඒ දෙවල් ඒ විදිහට මතක් වෙද්දි විමලාගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තේ ඒ කඳුලු වලක්කගන්න හිතන්නත් කලින් මධු ඇවිත් විමලා ලඟ දණ ගහ ගත්තා. බඩත් එක්ක ලොකු තමන් ඉස්සරහා දණ ගහගෙන ඉන්නවා ඒ කඳුළු අතරින් විමලා දැක්කා. නැගිටින්න කියන්න විමලා එකතු කරපු වචන වලිනුත් ඇහුණේ ඉකි ගැහෙන සද්දේ විතරයි. " මට සමාවෙන්න අම්මා." මොනවා උනත් මේ තමන්ගේ දරුවා කියන හැඟිම විමලාගේ හිත ආයෙමත් යටි හිතෙන් නැගිටගෙන උඩු හිත පුරාම දුවන්න ගත්තා. දකුණු අතින් මධු ගේ ඔළුව හිමින් පිරිමදින ගමන් වම් අතින් ඇස් වල මොදු වෙවී තිබුණ කඳුළු විමලා පිහදාගත්තා. එහෙම කඳුළු පිහදාගනිද්දිම යි මධුගේ කුසින් ඉදිරිටය ආපු දම් පාට පුංචිඅත් දෙකක් විමලාගෙ බෙල්ල තද කරලා මිරිකුවේ. පුංචි උනත් ඒ අත් වලන් බෙල්ල හිර වෙද්දි විමලාට කෑ ගැස්සවුණා. මුළු ඇග පුරාම දාඩිය ගලන්න ගත්තා. විමලා ඇහැරුණේ මර ලතෝනි දී ගෙන. විමලාගේ පපුවේ ගැස්ම වැඩි වෙලා තිබුණේ. " අපේ මහත්තයා මගේ පපුව රිදෙනවා" 

සති දෙකකට පස්සේ විමලා ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර එද්දීත් එදා දැකපු හීනේ හිතේ කොනක එහෙම පිටින්ම තැම්පත් වෙලයි තිබුණේ. දැන් සතියක දෙකක වෙලාවේ ඉදන් සරත් ගුණපාලගෙන් වසන් කරගෙන තමන් රකින රහස විමලාට දැන් දැන් හිතට බරක් වෙන්න පටන් අරන්. තමන්ගේ කාමරේ ඇඳ උඩ ඉදන් විමලා කල්පනා කලේ සරත්ට හැමදේම කියන්න. විමලා වචන ඇහිදින්න ගත්තා. එත් එක්කම විමලාට නින්ද ගියා. නින්දෙන් ඇහැරෙද්දි සරත් ගුණපාල තමන් ලග. වතුර එකකුත් එක්ක තමන්ගේ බේත් ටික අරන් ආව මධුගේ රූපේ විමලාගේ ඇස්වලට අමුතු පාටක් එකතු කරා.ඒ ඇස් රතු පාටට හුරු දුඹුරු පාටකින් කඳුළු එක්ක ගනුදෙනුවකට ලැස්ති වුනා. 
" මේකි අපේ මුණේ දැලි ගැවා" බේත් බොන්න අතට දිපු වතුර එකෙන්ම මධුට ගහන ගමන් විමලා කෑ ගැහුවේ කේන්තියෙන්. ඒ කේන්තියට ඇස් වල එකතු වෙලා තිබ්බ කඳුළු සේරම කම්මුල් දිගේ වැටෙන්න ගත්තා.

"විමලා, විමලා බොරුවට කලබල වෙනවා. දරුවාට සිද්ධ වෙච්ච සිද්ධ උන හැමදේම එදා විමලා නිදි අතරේ දී දරුවා මාත් එක්ක හැමදේම කිව්වා. අපි හැමදෙයක්ම කතා කරලා තීර....."

" දෙයියනේ අපේ මහත්තයා, අපි දැන් මොකද කරන්නේ. අපි රටේ ලොකේ මිනිස්සුන්ට මුණ දෙන්නේ කොහොමද? අනික හිතක් පපුවක් නැතුව ඒකි අපේ මහත්තයාට එච්චර ගින්දරක් දෙන්නේ කොහොමද? මට එ්කිටත් වහ ටිකක් දිලා මටත් වහ ටිකක් කන්න හිතයි" කඩාගෙන වැටෙන කඳුළු වලට කම්මුල් මතම ⁣ඔහේ වේලිලා යන්න ඉඩ අැරලා විමලා ඒ හැම වචනේකටම කේන්තිය එකතු කර ගත්තා.

" විමලා, ඒ දරුවාව අපි නැති කරා......"

"දෙයියනේ .... සරත්.... අනේ අපේ මහත්තයා... මගේ දරුවා ... මගේ දරුවා හොඳින් නේද? "

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...