මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, November 30, 2019

ගගන පියඹන සිහිනය - (Uyare )




හීන කියන්නේ වැරුද්දක් නෙවෙයි.  සමහර හීන ඒ විදිහටම සෑබැ  වෙන්න පුළුවන්. සමහර විට ඒ විදිහටම නොවුනත් අපි නොහිතන විදිහට ඒ හීන සෑබැ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හීන හිනයක් විදිහටම විසිරිලා යන්නත් පුවවන්. අපි දකින හීන සෑබැ වෙන්න හරි බිඳ වැටෙන්න හරි හේතුව මොකක්ද? ඒ හේතුව අපිමද? වැරදි තීරණද? තමන් වටේ ඉන්න අයද? අවිශ්වාසය, භය, ආදරය,  ඒ හීන බිඳ වැටෙන්න හේතුද? එහෙමත් නැත්නම් විශ්වාසය, ආදරය, උත්සහය ඒ හීන සෑබැ කරගන්න හේතුද? ආදරය කියන්නේ හීන අතරමඟ නතර කරන්න හේතුවක්ද? වෙනස් වෙනස් හීන ඇතුලේ එකිනෙකාට ආදරේ කරන්න බැරිද? අනෙකාගේ හීනය වෙනුවෙන් කැපවෙන්න බැරිද? ගැණුන්ට හීන දකින්න බැයිද? කෙල්ලෙක් දකින, දකින්න ආස කරන හැම හීනයකටම පෙම්වතාගේ අවසරය ඕනද? පිරිමිට තමන්ගේ හීන සෑබැ කර ගත යුතු නිසා ගැණු තමන්ගේ තමන්ගේ හීන පැත්තකින් තියන්න ඕනද? කෙල්ලෙක්ට දරා ගන්නම බැරි තැනදී සම්බන්ධයක් අත අරින්න බැයිද? එහෙම තැනකදී කෙල්ලක්ට දඩුවම් දෙන්න කොල්ලෙක්ට තියෙන අයිතිය මොකක්ද? ආදරේ ඇතුළේ ඉරිසියාව කියන වචනේට ඉඩක් තියෙනවද? ඒ ඉඩට කොයි තරම් දුරට ජිවිතයක් වෙනස් කරන්න පුළුවන්ද?

පල්ලවී රවින්ද්‍රන්

පල්ලවීගේ ජිවිතේ වෙනස් වෙන්නේ  පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමත් සමඟ පෙළපාලියකට සහභාගි වෙන්න වෙනත් ප්‍රදේශයකට ගුවනින් යන්න ලැබුණු අවස්ථාවක් නිසා. එහි ගුවන් නියමුවරිය පල්ලවීගේ හිතට අලුත් හීනයක් අරන් එනවා. අවුරුදු දා හතරක පුංචි පල්ලවී කවදා හරි දවසක ගුවන් නියමුවෙක් වෙන්න හීන දකින්න පටන් ගන්නේ අන්න ඒ විදිහට. ඒ හීනේ හැබැ කරගන්න ඒ අරමුණට ලං වෙන්න උදව් කරන්න එක වයසක මනුස්ස‍යෙක් පල්ලවිගේ පිටි පස්සෙන් ඉන්නවා. වෙන කවුරුවත් නෙවෙයි ඒ පල්ලවිගේ තාත්තා. තවත් අවුරුදු ගානකට පස්සේ ගුවන් නියමුවෙක් වීම සඳහා සම්පුර්ණ කරන්න අයදුම්පත්‍රයක් පල්ලවී අතට ලැබෙනවා. ඔව් ඒ තමයි තාත්තා, පුංචි පල්ලවි තරුණියක් වෙද්දි, ගෝවින්ද්ට ආදරේ කරන්න ගනිද්දී, රියාද් වල රස්සාවකට යන්න ගෝවින්ද් හීන දකිද්දී, පල්ලවී නැටුම් කණ්ඩායමක නටද්දී, ගෝවින්ද් පල්ලවී එක්ක රණ්ඩු කරගනිද්දි, ආදරේ කරද්දි, අවුරුදු දා හතරක පුංචි කෙල්ලෙකුගේ හීනේ අමතක නොකරපු තාත්තා, තරුණියක් වෙච්ච පුංචි කෙල්ලට ගුවන් නියමුවෙක් වෙන්න අයඳුම්පත්‍රයක් ගෙනල්ලා දෙනවා.  ඔව් එහෙමයි තාත්තලා. දුවලා වෙනුවෙන් තාත්තලාට හරි හයිය හිත් තියෙනවා.

පල්ලවී සහ ඇගේ පියා


හැමදෙයක්ම සුන්දරව සිද්ධ වෙන්න තියෙන ඉඩ අහුරලා දාන්නේ ‍පල්ලවීගෙයි - ගෝවින්ද්ගෙයි ආදර කතාව. ගෝවින්ද් පල්ලවී තුළින්  අපේක්ෂා කරන්නේ, එහෙම නැත්නම් ආදරය නමින් බලාපොරොත්තු වන්නේ   තමන්ගේ  ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම ඔහු හා පැවසිමයි. ඇය නර්ථනය සඳහා අඳින ඇඳුම මොකක්ද? කොණ්ඩය කපන්නේද කොහොමද? ඒ සඳහා ඔහුගෙන් අවසර ගත්තද? පල්ලවී  නින්දට යන විට ඔහුට එය පැවසිම, ඔහුගේ ඇමතුම් මඟ නොහැර ලබා ගැනීම සහ ඔහුගේ පණිවිඩවලට මඟ නොහැර පිළිතුරු දීම කළ යුතු වෙනවා. ඒ සඳහා දවසම පුරාම බලාගෙන සිටිය යුතු ද වනවා. පල්ලවීගේ  මිතුරිය සාරියා මේ ආදරය  දකින්නේ  විකාරයක් විදිහට.  සාරියාට ආරක්ෂාව, හෝ ආදරය පිළිබඳ කිසිම හැඟීමක් නොමැති බව පල්ලවී එවිට පවසනවා. එහෙත් ගෝවින්ද් තමන්ව ඔහු සන්තකයේ තබාගෙන සිටින බව පල්ලවි දන්නවා. එහෙත්  ඇය ඔහුගේ පාලනය හා එසේ  හැසිරීම "ආදරය" ලෙස සාධාරණීකරණය කර ගන්නවා.

පල්ලවී සහ ගෝවින්ද්
රියාද් රස්සාවකට යන්න හීන දකින ගෝවින්ද් ඒ අවස්ථාව ලැබෙනකම් සුළු රැකියාවක නිරත වෙනවා. පල්ලවි ගුවන් නියමු පුහුණුව සඳහා වෙනත් ප්‍රදේශයකට යාම ගෝවින්ද්ට දරා ගන්න බැරි වෙනවා. ඊටත් අමතරව ගෝවින්ද්ගේ හිතේ  සැකය, බය, වෛරය, ඉරිසියාව ටිකෙන් ටික ගොඩනැගෙමින් තියෙන්නේ. දිනක් ඇය පුහුණුව අතරතුරදී  දුරකථනයට පිළිතුරු දීමට හැකි වන්නැනේ නැහැ. ඔහු නැවත නැවත ඇයට කතා කරනවා. දුරකථනය සමඟ සිටිම නිසා  පල්ලවි පංතිය තුළ ගුරුවරයාගෙන් බැනුම් ඇසිමට හා පංතියෙන් නෙරපිමකට ලක් වෙනවා.  මේ සම්බන්ධයෙන් පල්ලවී කලකිරිමට පත් වී  ඔහුව හා කථා නොකරන විට ගෝවින්ද් සිදු කරන්නේ ඔහුගේ මැණික් කටුව ළගින් අත කපාගෙන ඇයට එහි ඡායාරූපයක් යැවිමයි. පල්ලවී ඉන් කම්පනයට පත් වී හැකි ඉක්මනින් ඔහු සොයා යනවා. ඔහුගේ මෙම විනාශකාරී හැසිරීම ආදරය නමින් තම ජිවිතයට ඇති  අනතුරු ඇඟවීමේ ලකුණක් ලෙස දකිනවා වෙනුවට පල්ලවී ගෝවින්ද් තමන්ට හදවත  ගැඹුරින් ආදරය කරන බවට නැවත විශ්වාස කරන්නට වෙයි.

 මේ සිද්ධියෙන් පස්සේ පල්ලවී නියමු පුහුණුවට සහභාගි වෙලා ඉන්න  තමන්ගේ යාළුවන් එක්ක විනෝද වෙන්න යන්නේ ගෝවින්ද් හොරෙන්. ඒ වෙනුවෙන් ගෝවින්දට බොරු කිපයක් කියන්න පල්ලවීට සිද්ධ වෙනවා. මේ අතර ගෝවින්ද් පල්ලවීව හමුවෙන්න නේවාසිකාගාරයට එන්නේ තමන් දැකපු හීනය ඉෂ්ඨ කර ගැනිමේ  මාර්ගයක් උදා වෙමින් තියෙනවා කියලා පල්ලවීට දැනුම් දෙන්න. සිද්ධ වෙන්නේ පල්ලවී බොරු කීව වග ගෝවින්ද් ඉස්සරහාම ඔප්පු වෙන එක. පල්ලවීගේ ආදරය වෙනුවෙන් ගෝවින්ද් ඉල්ලන වටිනාකම වෙන්නේ ගුවන් නියමුවෙක් වෙන හීනය අතහැර දැමීම. පල්ලවී ඒ වෙනුවට අත හරින්නේ ගෝවින්ද්ව. තමන්ගේ පරාජය, කළ කිරීම, දරා ගැනීමට නොහැකිව පිඩනයෙන් සිටින ගෝවින්ද්  පල්ලවීගේ මුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා.



මේ සිදුවීම් පෙළ මේ විදිහට තියෙන්නේ, තිරගත වීම ආරම්භ කර ‍ දින දහයක් වගේ කාලෙකදී ඉන්දියන් රුපියල් කෝටි දහයකට ආසන්න මුදල් ප්‍රමාණයක් උපයමින් ආදයම් වාර්තා බිහි කරන මලයාලම් චිත්‍රපටියක. නමින් “Uyare”. ප්‍රධාන චරිතය වෙන පල්ලවී රවින්ද්‍රන්” ට පණ පෙවන්නේ පාර්වති ත්‍රිවොතු” යි. දමිළ, මලයාලම් සහ කණ්ණඩ සිනමාව තුළ පාර්වති සිය නිළි භුමිකාව මෙහෙයවමින් ඉන්නවා. Bangalore Days, Charlie සහ Virus වගේ චිත්‍රපටි බලපු කෙනෙකුට පාර්වති කියන්නේ අමුතු චරිතයක් නෙවෙයි. අනිත් උප ප්‍රධාන චරිතය ගෝවින්ද් බාලක්‍රිශ්නන් ලෙස අසිෆ් අලී දායකත්වය සපයනවා. අනෙක් උප ප්‍රධාන චරිතය වෙන විශාල් රාජසේකරන් විදිහට ටෝවිනෝ තෝමස් රංගන දායකත්වය සපයනවා. Charlie, Virus, Guppy, Maree 2 චිත්‍රපටි හරහා ටෝවිනෝ තෝමස් ව අපිට හමුවෙනවා. මේ තුන්දෙනාම එකට ඉන්න තවත් චිත්‍රපටියක් තමයි Virus කියන්නේ.

පල්ලවි හා විශාල් රාජසේකරන්

මේ කතාවට විශාල් රාජසේකරන් ගේ තියෙන සම්බන්ධය කුමක්ද? ඇසිඩ් ප්‍රහාරයෙන් මුහුණේ පැත්තක් පිච්චිලා ගිය එක ඇහැක් පැහැදිලිව නොපෙනෙන පල්ලවීට මොකද වෙන්නේ? පල්ලවී අසරණම උණ මොහොතේ හැර නොයන මිත්‍රත්වය පල්ලවී දරා ගන්නේ කොහොමද? ගෝවින්ද් ට මොනවයින් මොනවා වෙයිද? පල්ලවී ගුවන් නියමුවෙක් වෙවීද? අර බාගෙට පිළිස්සුණු මුහුණ එක්ක? පැහැදිලිව නොපෙනෙන ඇහැත් එක්ක? තාත්තෙකුගේ ආදරේ කොයි තරම්ද? ඒ ආදරේ බෝහොම පොඩි දෙයක්ද? තාත්තාගේ ආදරේ මහ මෙර සමයි කියන්නේ ඇත්තද? පල්ලවිගේ හීනෙට මොකද වෙන්නේ? එක් පුද්ගලයෙකුට තවත් කෙනෙකුගේ කැමැත්තට එතරම් ගෞරවයක් නොමැති විට එය ආදරය වන්නේ කෙසේද? ඔබේ මුළු ජිවිතයම එවැනි ආදරයට නතු විය යුතුද? ආදරය කියන්නේ ජිවිතයේ එක් කොටසක් පමණයි කියන විශ්වාසය මට තියෙනවා. ඉතිං ඔබේ මුළු ජිවිතයම ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විසින් පාලනය කළ යුතුද? එසේ පාලනය විය යුතුද? එයින් පිට සීමාවකට ඇතුළු වීමට උත්සහ කිරීම තුළ පළිගැනිමට ඉඩක් තියෙනවද? තමන්ගේ අසාර්ථකත්වය වෙනත් කෙනෙකු මත පැටවිය හැකිද? ගෝවින්ද්ගේ ඇසිඩ් ප්‍රහාරයට පල්ලවී ලක් වන්නේ ඒ නිසාද? ගෝවින්ද් පාර්වතිට ආදරය කරාද? එහෙමත් නැත්නම් ආදරේ කරන බව ඇගෙව්වාද? ගෝවින්ද්ව එතැනට තල්ලු කරන්නේ කුමක්ද? ඔහුගේ දෘෂ්ටිය, මානසික අවපීඩනය, පරාජයන්, අසාර්ථක වීම්, තනිව දරා ගත් ශෝකය ද ? තමන්ම ඇසිඩ් ගැසු තරුණියව විවහා කර ගැනිමට කැමැත්ත ප්‍රකාශ කරන්නේ ඇයි? ආත්මාර්ථකාමි ගැලවීම සඳහාද?   බුද්ධිමත් හා බලාපොරොත්තු සහගත, උත්සහාවන්න තරුණියකගේ ඉරණම කුමක්ද?

ආදරයේ බිහිසුණ බව ඔබේ දැස් වළින් දැකිමට නම් ඔබ Uyare වරක් නැරඹිය යුතුය. මිනිසුන්ගේ චිත්ත ස්වභාවයන් පිළිබඳව මෙන්ම ප්‍රේමය පිළිබඳව මෙම නොවරදින සුළු අර්ථ නිරුපණයක් Uyare තුළ ගැබ්බ පවති. ආදරය හෝ ප්‍රේමය නමින් නමින් පරමාදර්ශිව එහි  ගොදුරක් බවට පත් වන්නේ කෙසේද? එය වටහා ගැනීමට Uyare තුළ පල්ලවි රවින්ද්‍රන්ව කියවන්න.  


සතුටු හිතෙන අවසාන ඇත්තේ සුරංගනා කතාවලය. සුරංගනාවන්ගේ මුහුණු වල කැළැල් නැත. විරවරියන් තැනෙන්නේ බොහෝ කැළැල් මතය. ගැහැණූන් විරවරියන්වන්නේ තම ජිවිතයේ එවැනි කැළැල් වලට නොබියව මුහුණ දීම නිසාය. මේ විසල් අහසේ පියාසර කළ හැකි වන්නේ බිය තුරන් කළ විටය.



Parvathy Thiruvothu as Pallavi Raveendran

Asif Ali as Govind Balakrishnan


Tovino Thomas as Vishal Rajashekaran



Anarkali Marikar as Sariya D Costa, Pallavi's Friend



මලයාලම් සිනමාව සිත් ගන්නා තැනක් වෙන්නේ අඩු මුදලක් වැය කරන සිත් ඇඳ ගන්න සිදුවීම් එක්ක ගලාගෙන යන කතා රසය නිසයි. වැඩි සෝබන නැති චරිත සාමන්‍ය ජිවිත ඇසුරින් සකස් කිරීම නිසාම මේ සිනමාව අපිට සමිප වෙනවා වෙන්න ඇති.

පාර්වති ටෙස්සා ලෙස රඟපැ  චාර්ලි චිත්‍රපටියෙන් 

ටොවිනෝ රඟපෑ ගප්පි චිත්‍රපටියෙන් 




3 comments:

  1. ලස්සන මූවී එකක්. ඔයා ලියලා තියෙන විදියට බලන්නම හිතුනා...

    ReplyDelete
    Replies
    1. ඉස්තුති ගොඩක් මේ ෆිල්ම් එක බලන්න ඒක නියමයි

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...