මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Saturday, October 31, 2020

C ට ආදරෙන්

 ආදරණීය C,

ඔබ දන්නවද C, මම ඔබට ලියමින් ඉන්නේ මහ පාන්දරක බව. තාලයට පැද්දෙන දුම්රිය ගමන දැන් මට හුරුයි. ඒ ගමන අතර තුර පොත් කියවීම, ලීවීම පමණක් නොවෙයි, කුඩා එකකු සේ දුම්රිය දොරෙහි එල්ලී යාමද දැන් වඩාත් හුරුයි. හුරු පුරුදු ගමනක අතරතුර ඔබව සිහි වුයේ මන්දැයි ඔබට කුහුලක් දනවනවාට සැක නැහැ. ඒත් C කොතැනක කොහොම කොයි විදිහකට ඔබ මතකයට ඒදැයි නිශ්චිතවම කිමට නොහැකි උවත් ඔබ සෑම දිනකම හදවත මත බර අඩි තබමින් මතක අතරේ අද ද ඇවිද යන බව කිව යුතුයි. ඒ සෑම මොහොතකම ඔබට නවතින්න යැයි මගේ සිත බල කරන තරමටම වන වේදනාවේ කඳුළු දෑස් මත ගුළි ගැහෙනවා C.

එවන් වු වේදනාවන් යටපත් කළ හැක්කේ, මසකට වරක් හෝ දෙවරක් මස පසාරු කර ගනිමින් නහර මතට විදෙන ඉඳිකටු තුඩැති කුඩා එන්නත් කටුවට පමණක් වීම, ඔබ දන්නවද එය මරණීය වේදනාවක් වන බව. ඔබේ මතක එයින් යටපත් වන බව. ඔබ ලඟක ඇත්නම් යැයි සිතෙන මොහොතක උවද, දරා ගත නොහැකි වේදනාවේදී ඔබේ දෑතින්ම අල්ලා සිටිය යුතු උවද, ඔබ මා වෙනුවෙන් කඳුළක් හෙළතැයි බියෙන්, ඔබ ගිය පසු සියල්ල හොඳින් සිදු උවා යැයි බාර ගැනීමට මා හුරු වු වේදනාවෙන්, ඔබවත් මතකත් මොහොතකට අමතක කර දමන බව ඔබට කිව යුතුයි C.

නිශ්චිතවම සුව උවා යැයි කිව නොහැති නමුත් , සුව වීමේ අවසන් අදියරට මා පැමිණ ඇති බවට වු නිවේදනය සමඟ වන තහවුරු කිරීම තවත් පැය කිහිපයක් ගතව මවෙත ලැබෙනු ඇති C. එය දරා ගත යුත්තේ සිනහවකින් නම්, මම එය එසේ දරාගමි. එහෙත් මට ඔබෙන් යදින්නට ඇත්තේ ඒ මොහොතේදී, මගේ මතකයට නොඑන ලෙසයි. ඔබ තව දුරටත් මගේ ලඟ නොමැති බව සිතට නොපැවසිය යුතු බව ඔබ දැනගත යුතුයි C. ඒ මොහොතේ ජීවිතය පිළිබඳ වන සියලු ආශාවන් හා එක්ව, සියළු ප්‍රාර්ථනා හා එක්ව, සියළුම සිහිනයන් හා එක්ව, සියළුම බලාපොරොත්තු හා එක්ව මේ හදවතද තව වරක් හිනැහුනාවේ C. ඒ සියළුම ආශාවන්, සියළුම ප්‍රාර්ථනා වන්, සියළුම සිහිනයන්, සියළුම බලාපොරොත්තුන් ඔබත් සමඟ එකට එක්ව දුටු බව ඒ මෙහොතේදී සිතට නොනැගුනාවේ. නොදැනුනාවේ.

හදවතට සිනාසීමට ඔබ මගේ හදවතට බොහෝ දුරකින් අදට පමණක්, මොහොතකට පමණක් හෝ නැවති හිදින්න C. ඔබ නොමැති තැන, ඔබ ට සැදුණ ඉඩ, හිඩැසක් ලෙසින් ම තබා ගනිමින්, නැවත ජීවිතය දෙස බැලීමට මටත් අවසර දෙන්න C.

ඒ අවසරය මතින් දිනෙක ඔබත්, ඔබේ දරුවන් හා මුණුබුරන් සමඟින් සෑදෑහිරු රැසින් නැහෙවෙන මුහුදු වෙරළක මිතුරන් වෙසින් ඇවිද යාමට හැකි බව සිතමින්, ඔබ හා සිදු කරන මතක ගනුදෙනුවට යළිත් ඔබට මසිතේ ඉඩ වෙන් කිරීමට ඔබේ කාලයෙන් මොහොතක කාලයක් මට ලබා දෙන්න C.

ඔබ ට මිසක අද ද ඔබ ව අතැර යාමට මට කිසියම් වු හේතුවක් හමු නොවීම, සරදමක් විය හැකිද C. එය එසේ විය යුතුද C.

A
2020.09.26

 


 



2 comments:

  1. C ඇත්ත කෙනෙක් නෙමේ නේ නේ. නැත්නම් මම කොමෙන් දාල වැඩක් නැහැ එයාම හිතිල ඇවිත් දැම්මොත් මිසක්. යන ජිවිතේට යන්න රින්න වෙනවා. එපමණයි.

    ReplyDelete
  2. C කියන්නේ ඇත්ත කෙනෙක්ද නැද්ද කිව්වොත් ⁣මට ම ලියන්න බැරි වෙයි.
    ස්තුතී. මමත් ඉස් මුදුනින්ම පිළිගන්න දෙයක් යන ජිවිතේට යන්න අරින්න. ඇත්ත. ❤️

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...