මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, August 22, 2021

අපි වගේ පිරිමි හරි පව් නේද?

ඔබේත් මගෙත් සමහර සංවාද
මතකයට එයි හවස්වරු වල
බෝතල් මුඩී ගැලවී වෙන් වෙන

වෙලක් අද්දර ඉඩමක
කාමර තුනක තනි මහල් නිවසක්
ඒ තමයි ඔබේ හීනය
මුළු නිවසම සුදු පැහැය පින්තාරු කළ

මමත් කැමතියි හීන් හුළඟට
⁣ඊටත් වඩා ගොයමේ සුවඳට
සුදු පාට පුංචි ගෙයි සාලේ මැද
ඔයාට පුළුවන් ඕනෙ නම්
නැටුමකට ඉඩ හදා ගන්න

(ඔයා⁣ගේ හීනේට මගේ හීනෙක කොටසකුත් එකතු කළහම
හීන + හීන පෑහූනා හරි අපුරුවට)

පළවෙනියට මට ඕන පුතෙක්
තාත්තා වගේ
උස,දුඹුරු,කෝච්චි වගේ සැරට

(හැබැයි, මම කැමති දුවෙක්ට)
ඊළඟට දුවෙක්,
මම වගේ
ලස්සන,අහිංසක

(නෑ,නෑ, ඉස්සරෝම දුවෙක්)

ඉතිං අපි නිවුන්නු හදමු,
පුතයි, දුවයි.
ඕෂදයි, ඕෂදියි

(නොගැලපුන අපේ හීන
ඔයා ගැලපුවා හරි ලස්සනට)

ඒක පාරින් වැඩේ ඉවරයි
ඔයාටත් ලේසියිනේ එතකොට
රළකින් තෙමුණ කකුල දිහා බලාගෙන
ඔයා කිව්වේ කම්මුලක් රතු කරගෙන

අන්න ඒ වගේ වෙලාවට
මම ඔබව බදාගෙන
හාදුවක් දුන්නම නළලට
ඔබ දන්නවා මගේ උත්තරය

මෙන්න මේ නගරයේ කොනක
පර්චස් පහළවේ ඉඩමක
කාමර හයක තුන් මහල් නිවසක
සියළු වත්කම් එයාගේ
මම ඉන්නේ සඳරැස් යාන්තමට වැටෙන
ඉහළම මාලයේ බැල්කනියේ තනියම
ඊටම පහළින් කාමරයක
දුව නිදයි ඇයට තුරුළුව

මම කැමති විදිහට පළවෙනියා දුවෙක්
(එයා කැමතිත් දුවෙක්ට)
එයා වගේම කටකාර,
ඊළඟට, පුතෙක්
මම වගේ
උස, දුඹුරු, කොච්චි වගේ සැර
මම කැමති ඒ හීනය
ඔයාටම සින්න වෙනවට
ඇය මතට පටවන්නේ මොකටද
අපි දෙන්නා දැකපු ඒ හීන
ආගන්තුකයි ඈ තවම මගේ හදවතට

පෙරළිලා ගිහින් බිම වැටුණේ
මේ දැන් කඩපු බෝතලේ මුඩිය
ඔයාට ඉන්නේ නිවුන්නුද?
ඕෂදයි, ඕෂදිය
ඔයා ඒ නම් තිබ්බද?
එහෙම හිතෙනකොටත් හිනා යනවා මට

(අපි වෙන් වෙලා අවුරුදු හයක් ඊයෙට)

ඔයත් ඔය කොහෙ හරි කැඳැල්ලක
තනිවෙලා මම වගේම සැදැල්ලක
හිතවෙලා අපි ගැනම තැවිල්ලක
කවියක ලියනවද දුක හිතුන ඇසිල්ලක
කවුද දන්නේ ඔයා දැන්වත් බැඳලද?
ටිකක් අමුතුයිනේ,
සමහර විට නොබැඳම ඇති
එහෙම හිතුවම හිතට නිවනයි

එතකොටම බයිට් එක ඉවරයි
මේ මත්වීම නිම වෙන්නේ එවිටයි.

(අපි වෙන් වෙලා අවුරුදු හයක් ඊයෙට)

පඩිපෙලේ අන්තිම පඩිය
බහින⁣කොට හිතෙනවා
අපි වගේ පිරිමි හරි පව් නේද?
(අපි වෙන් වෙලා අවුරුදු හයක් ඊයෙට)



2 comments:

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...