මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, July 22, 2018

විලියම් වත්තේ ළමයි


"ඇයි" 

මම එහෙම ඇහුවේ ඔළුවවත් උස්සන් නැතුව උකුල උඩ තිබ්බ පරිගණකයට මුණ ඔබා ගත්ත ගමන්. දැන් මේ මගේ ඉස්සරහා හිටං ඉන්නේ කවුද කියන්න මට ඔළුව උස්සලා ඒ මුණු දිහා බලන්න ඕන නෑ. දැන් ටිකකට කලින් ලෙමන් ජුස් එකෙන් උගුරක් බොද්දී මං දැක්කා පහළ වංගුවෙන් මේ හෙවණැළි හැරෙන හැටි.

" අපි වත්තේ ළමයි"

එහෙම කියන්න ඇත්තේ එතන හිටපු උසම ලමයා. ඔහොම පැහැදිලි කටහඬක් තිබුණේ එ්කට. 

"වත්තේ කිව්වේ" 

"අර විලියම් වත්තේ, අපි විලියම් වත්තේ ළමයි" 

ඒ වත්තේ ළමයින්ගේ ලොකු එකා වෙන්න ඕන, බිඳුණු බයාදු කටහඬක් තිබ්බේ එකාට. 

"එතකොට ඔය හවසට බටනළා පිඹිනවා කියන්නේ මෙයාද? " 

"අනේ ඔව් පොඩි මිස්, එත් පොඩි මිස් දන්නේ කොහොමද?" 

පොඩිම එකා වෙනුවට ලොකු එකා උත්තර දුන්නේ ඒ වෙද්දීත් උසම එකා පිටිපස්සේ පොඩිම එකා හැංගිලා කලිසමේ වාටි අතින් අඹර අඹර, මගේ දිහා හොරෙන් බලන හැටි තත්පරයකට ඇස් උස්සලා උන්දිහා බලද්දි මම දැක්කා.

" මුණ බලපුවාම මට කියන්න පුළුවන්"

මම උන්නේ වැකේෂන් එකට ලංකාවට එන්න කලින්, මුම්බායි වලදි ගත්ත පින්තුර වගයක් එඩීට් කර කර. මට හොඳටම මතක කොල්ලෙක් තමයි අමුජා, මුම්බායි විදියකින් මට හම්බෙච්ච කට කාර කොල්ලෙක්. නිල් පාට පසුබිමක ඉරිච්ච කමිසේ විතරක් ඇදන් ඉන්න අමුජාගේ පින්තුරේ තමයි එතන තිබුණ මම වැඩියෙන්ම කැමතිම පින්තුරේ උනේ. එ් පින්තුරේ ගන්න අමුජාට මං ඉන්ඩියන් රුපියල් සීයක් දෙන්න උනාට මේ පින්තුරේ ඊට වඩා දාස් ගුණයක් වටිනවා. 

"පන්සල් වත්තට පනිද්දි, කම්බි වැටේ පැටලුනයි කියන්නේ මෙයා වෙන්නැති" මම අමුජාගේ පින්තුරේ දිහා බලාගෙනම ලොකු එකා දිහාට ඇඟිල්ල දික් කරලා ඇහුවා. 

" පොඩි මිසිට ලොකු නෝනා ද කිව්වේ" 

"ලොකු නෝනා මට කියපු දෙයක් නෑ. ඒ වුනාට මට තමුසේලාගේ මුණු බලපුවාම කියන්න පුළුවන්" මගේ මුණේ ඒ වෙලාවේ ඇදිච්ච උපහාස හිනාව තේරුම් ගන්න තරම් උන් මෝරලා මදි කියන්න මං දන්නවා. 

"එතකොට මෙයා වෙන්න ඕන අර සෝමතිලක සර්ගේ දුවට ලියුං ගෙනහිත් දෙන ප්‍රේම දුතයා" එතන හිටපු උසම එකා දිහා බලාගෙන මං ඇහුවේ ලෙමන් ජුස් උගුරක් බොන ගමන්.

" පොඩි මිස් ඒක කිව්වෙත් මුණ දිහා බලලාද?" උසම එකා එහෙම අහද්දී, පොඩි එකා තාමත් උසම එකා පිටි පස්සේ හැංගිලා ලෙමන් ජුස් එක දිහා බලනවා මම බලාගෙන. ආයෙමත් අමුජාගේ පින්තුරේ දිහාට ඇස් හරව ගත්ත මම ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. 

" ඔව්, ඔය මුණේ ලියවිලා තියෙන්නේ, ඇයි දැකලා නැද්ද?"

මම කට කොනින් හිනා වෙන ගමන් තුන් දෙනා දිහාම පිළිවෙලට මාරුවෙන් මාරුවට බලන ගමන් හිතුවේ, හෙට හවසට වැව ලඟදි තුන් දෙනාගේ පින්තුර ටිකක් ගන්න ඕන කියලා. 

" හරි දැන් මොකද මේ ⁣පැත්තේ"

" ලොකු නෝනායි එන්න කිව්වා" 
ලොකු එකා එහෙම කියද්දී, අම්මා පාර්සල් දෙක තුනකුත් එක්ක එළියට බහිනවා මම බලාගෙන. 

" ආ එහෙනම් තමුසේලා ලොකු නෝනවත් රවට්ටගෙන වගේ" 

"එහෙම කියන්න එපා පුතේ, මේ දරු පැටව් මල් වගේ තමයි,"

" ඕං අම්මා හෙට පොඩි මහප්පලයි දිහා යන්න තියෙනවා, ගෞමීට චොකලට් එහෙම මදි කිව්වොත් එහෙම ඔයාම උත්තර දෙන්න,ඔන්න මාව නම් අල්ලන්න එපා හරිද"

මම අයෙමත් අමුජාගේ තවත් පින්තුරයක් දිහා බැලුවා. ඒ පින්තුරේ ගත්තේ අමුජාට රුපියල් සීයට අමතරව මගේ ලඟ තිබ්බ ඇපල් ගෙඩියකුයි, චොකලට් එකකුයි දුන්නාට පස්සේ. ඒක අතට අරන් අමුජා හිනා වෙච්ච හැටි මතක් කර ගන්න මම ඇස් දෙක පියා ගත්තා.

" ලොකු නෝනා, ඇත්තමයි ලොකු නෝනා හෙනම පින්වන්තයි."

එහෙම කිව්වේ උසම එකා කියලා මම ඒ හඬෙන්ම අදුන ගත්තා. අවුරුද්දකට කලින් මම ඉන්දියාවේ යන්න ඉස්සර දවසක මේ උස එකා දවසක් ගුටි කෑවෙත් ඔන්න ඔය කට හින්දා.

" ආ දැන් ඒ පාර තමුසේලා බටර් ගාලා ලොකු නෝනව රවට්ට ගන්නද හදන්නේ" 

උස එකා එක්ක තිබ්බ ඒ පහුගිය කේන්තිය ආයෙමත් ඇවිස්සිලා ආපු හින්දද කොහෙද මම ඒක ඇහුවේ තරහින්. අම්මා මට රැවුවත් මම ගනන් නොගෙන උන් තුන් දෙනා දිහාම මාරුවෙන් මාරුවට බැලුවා. හරිනම් උන් තුන් දෙනාම ඒ බැල්මට බිම බලා ගන්න ඕන. ඒ වුනත් උස එකා මං දිහා බලන් හිටියේ මෙච්චර වෙලා උගේ පිටි පස්සේ හිටිය පොඩි එකාගේ අතින් අල්ලගෙන. පොඩි එකා අම්මා දිපු පාර්සල් දෙකක් උගේ බඩ මැද්දට තුරුල් කරගෙන මාපට ඇඟිල්ලෙන් වළක් හාරනවා. ලොකු එකා හිටියේ අම්මාගාව උගේ පාර්සලේ අතට ගන්න ගමන්.

" රවට්ට ගන්න හදනවා නොවෙයි පොඩි මිස්, පොඩී මිස් දැක්කේ නැද්ද, ලොකු නෝනාගේ මුණේ පින්වන්වත පාට ලියවිලාම තියෙනවා" 

මට හිතට ආව තරහත් එක්කම එක පාරටම ඉක්කාවක් වැටුණා. ලෙමන් ජුස් එක අතට ගන්න ගමන් බැලුණේ අම්මාගේ මුණ දිහා. අම්මා ලොකු එකාගේ ඔළුව අත ගාන ගමන් උගේ ඔළුවට උඩින් මගේ දිහා බැලුවේ ඒ වගේම උපහාස හිනාවක් එක්ක.

ඒ හිනාවේ තේරුම තේරුම් ගන්න තරම් මම මෝරලා ඉන්නේ කියන්න අම්මා හොඳටම දන්නවා. 











Saturday, July 21, 2018

අයේෂා



අයේෂා ! යන්නම යනවා නම් යන්න
නවතිනවා නම් නවතින්න
සැර වැඩියි නම් මගේ වචන
ආයේ කතා නොකරම ඉන්න

එක වීදුරුවක් බිව්වයි කියලා
මිනිස්සු කොහෙවත් මැරුන්නෑ අයේෂා
එහෙම මැරුණ නම් එකෙක් හරි
අන්න උෟ තමයි එහෙනම්
මේ ලොකේ එකම එක වාසනාවන්තයා

කාච වලට හිනාවෙන මිනිස්සු
දන්නවද රෑට තනියෝම අඬනවා
ලොකුවටම ගන්න මඟුල්වලත්
වලං පිඟන් බිදෙනවා අයේෂා

විසඳුමක් නැති ජිවිත
ඕන තරම් තියෙනවා අයේෂා
දැක්කද මේ එඩිට් කළ පින්තුරේ
පෙන්නන්නද අයේෂා එත් එකේ
එකම එක හිස්තැනක් තියෙනවා

"පෝටෝග්‍රැෆර් ඔහොම බිව්වම
සව්ත්තු වෙලා ඇති පොටෝ සේරම
අනේ කොච්චර අපරාදෙ ද
ඒ කෙල්ලගේ ලස්සනම දවස"

අයේෂා මට දුකයි මං ගැන
ඒ තරමට ම උඹ ගැන
කියන්නේ කොහොමද
ඔන්න ඉස්සරම ඉස්සර
ලස්සනම ලස්සන දවස් තිබුණා
මෙන්න මේ මනමාලිටයි
මටයි විතරක් ම වෙන් වෙච්ච

අනේ ප්ලීස් අයේෂා
දැන්වත් ඔය ෆොන් එක තියෙනවද?
මේ වේලාවේ මට ඕන තනිවෙන්න
නුවරඑළියේ සීතලම සීතල විතරක්
මේ කාමරේ ඉදන් තනියෝම විඳගන්න 

Thursday, July 19, 2018

මචාං

"ශ්‍රි කන්ත් උඹ කළුම කළු
මම තලෙලු කියන්නේ සුදු
ඒ උනත් මොහොමඩ් තමයි සුදුම
මතකද?  උගේ මුණ
වැවුණු රැවුලට වැහුණ.
හරියට හෂිම් අම්ලා වගේ
ඒ උන්ගේ ජාතියම පේන හැටි
රැවුල එන්න ඒ විදිහට වැවුවාම."

..............................
...................................

"උඹ කැමති ලතාට
උඹලාගේ විදිහට සාරිය අදින.
මම කැමති තිබුණා සරස්වතීට.
මොහොමඩ් උඹට නොකීවට
උගේ හිතෙත් තිබුණා උඹේ නංගී ගැන
දවසක්දා උඹ දුන්නු සඟරාව බලන කොට
මොහොමඩ්මයි මට කිව්වේ ඒ ගැන
අපි උන්නේ අපේ හිත්වල හංගගෙන"

..............................
...................................

"අඩේ පෝඩා මචං...
පරණ දේවල් මොකටද ?
මචාං... මං ඉන්නේ ගින්දරක් උඩ"

..............................
..................................

"අහන් ඉදපන් ශ්‍රී කාන්ත්
මට තේරේනවා උඹේ දුක.
තියන්ඩ එපා ෆොන් එක.
උඹ දන්නෑ තාම මම,
වචන ගලපනව උඹට කියන්න
මොහොමඩ් කැමති
බාර ගන්න උඹේ නංගිව
ඔව් මචං ඔව් ,
අප්පා දන්නෑ කියන
බඩේ ඉන්නා දරුවා එක්කම.

..............................
...................................

"මචං උඹ ඒ අහපු පමණට
කඳුලකුත් ඇති දෑස් අද්දර
උඹට තරමට මටත් සතුටුයි
ශ්‍රි කාන්ත් මම එහෙම කිව්වට
කියන්නට බැරි කතාවක් ඇත.
බඩේ ඉන්නා දරුවාගේ
ඇත්ත අප්පා සුදර්ශන බව
අපේ මොහොමඩ් දන්නවා බං
ඌට කිව්වා සියලු විස්තර
දුවෙක් නම් නම උත්තරා
පුතෙක් නම් නම අනුත්තර
මොහොමඩ්ට එහෙම කිව්වම
කරට අත දා හිනාවෙනවා
හරි මචං හරි සුදර්ශන"

..............................
..................................

දුවෙක්ට පුළුවන්

දුවෙක්ට පුළුවන් අප්පච්චියෙක්ට පුතෙක් වෙන්නත්, අම්මෙක්ට දුවෙක් වෙන්නත්,

පුතෙක් නැති අඩුව තදින් දැනිච්ච පවුලක්. පුතාලා ඉන්න පවුල් වලින් සමච්චල් වින්ද පවුලක්. "කොල්ලෙක් නැතුව බෑ" කියද්දී සුසුම් හෙළපු අම්මා කෙනෙක්. ⁣"පුතෙක් හිටියා නම් කවදා හරි ලේලියක් ගෙනාවාම ඔයා නිදහස්" කියද්දී "අනේ"  කියවුන අම්මා කෙනෙක්.  "කොල්ලෙක් හිටියා නම්" කියද්දී ඇස් බිමට බර කරගත්ත අප්පච්චි කෙනෙක්. "වයසට ගියාම කොල්ලා ගාව වැටිලා ඉන්න පුළුවන්" කියද්දී පපුවට අත තියා ගත්ත අප්පච්චි කෙනෙක්. ඔව් ඒ පුවලේ දුවරුම තුන් දෙනෙක්.

බයිසිකල් පදින්න නැති වෙද්දී මල්ලි කෙනෙක් හිටියා නම් හිතපු කෙල්ලෙක්. ක්‍රිකට් ප්‍රැක්ටිස් කරද්දි අයියා කෙනෙක් හිටියා  නම් හිතපු කෙල්ලෙක්. අම්මේ අපි මල්ලියෙක්ව හදා ගන්න ගමු කියපු කෙල්ලෙක්. ඒ පවුලේ දෙවෙනි කෙල්ල.

ලොකු අම්මා "අපේ පුතා නම් ....." කියද්දි තරහෙන් පුපුරච්ච කෙල්ලක්. ලොකු අම්මා ඒ පුතාව මලක් වගේ බලා ගද්දි මල්ලක් අරන් අම්මාට ලුණු තුන පහ  ගෙනත් දෙන්න කඩේ ගිය කෙල්ලක්. මේක ඇරලා දෙන්නකෝ  කියාගෙන සැමන් ටින් එක, ජෑම් බෝතලේ අරගෙන අම්මා හොයාගෙන එන කෙල්ලක්. වී එක බාගන්න එන්න, වී එක කොටාගෙන එන්න, මේ ටැප් එක හදන්න, අර බල්බ් එක දාන්න, ඔය මල් පොච්චිය ගෙනත් මෙතනින් තියන්න අම්මාගෙන් අණ ලැබුණ කෙල්ලක්.

"අපේ පුතාලා දෙන්නා ....." කියලා බාප්පා කියද්දී "ඉන්නලාකෝ දවසක" කියලා හිතින් හිතා ගත්ත කෙල්ලක්, අප්පච්චි එක්ක කරට අත දාගෙන බස් එකේ ෆුට් බෝඩ් එකේ ගිය කෙල්ලක්, ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න උදව්වට අයියා කෙනෙක් වෙනුවට අප්පච්චිම හොඳයි කියලා හොයා ගත්ත කෙල්ලක්, අප්පච්චි  ඉස්සර ඉරිදා දවසක තනියම පොඩියට අශෝක විදුරුවක් ගද්දී කපපු පිපිඤ්ඤා ගෙඩියක්, බොම්බයි ලූණු ගෙඩියක් ගම්මිරිස් ලුණු දලා ටිපෝව උඩින් ගිහින් තියෙන කෙල්ලක්.

"කොල්ලෙක් වගේ හදලා හරියනවද? ගෙදර දොරේ වැඩක් දන්නැතුව" නැදෑයෝ එහෙම කිව්වාම ඇදන් ඉන්න කොට කලිසම ගැලවෙන්න අම්මා රවලා බලපු කෙල්ලක්. අදත් කොට කලිසමක් ඇඳ ගෙන නැදැයෝ අවාම ඉඟුරු දාපු තේ හදන කෙල්ලක්. "කාලා යමුයි" කියලා බතක් මාලුවක් හදන කෙල්ලක්.

"ඔය මල්ලි පස්සට යන්න" කොන්දොස්තර කිව්වාම " පුතේ එන්න" කියලා බස් එකටම ඇහෙන්න කෑ ගහලා ලඟට අරන් "කනේ කරාබුත් නෑනේ ඌ රැවටුණා හොඳටම" කියලා අප්පච්චිගේ හිනාවට ලක් වෙච්ච කෙල්ලක්. "ඔයා මේකට සීනි දලා, බොන්න බෑ" කිව්වාම "බොන්න බැයිනම් තියන්න" කියලා සැර කරන කෙල්ලක්.  අම්මා අසනීප උනාම "කන්න දෙයක් නෑ නේ බිත්තරක් ඔම්ලට් දලා දෙන්නම්" කියන කෙල්ලක්.

"මහන්සියි නේ අම්මා ඉන්න මම උයන්නම්" කියන කෙල්ලෙක්. "අප්පච්චි ඔය ගල් ගොඩ මම අඳින්නම්" කියන කෙල්ලක්.

"දුවේ" වෙනුවට වැඩිපුරම "පුතේ" කියන වචනේ අහපු කෙල්ලක්. ඒ පවුලේ දෙවනි කෙල්ල.

අම්මාට අසනීපයි කිව්වාම දුවගෙන එන කෙල්ලො තුන්දෙනෙක්. අප්පච්චිට හොස්පිට්ල් නවත්තපුවාම පිරිමි වාට්ටුවේ නවතින්න අවසර ගන්න කෙල්ලෝ තුන් දෙනෙක්. "ඔයා උදේට, මම දවල්ට, චුටි අක්කා රෑට" කියලා වෙන් කරගෙන හොස්පිට්ල් යන කෙල්ලො තුන්දෙනෙක්.
"ලොකු නංගි කඩේ යන්න, චුටි නංගි මට උදව් කරන්න" කෑම ටික රහට හදන කෙල්ලොතුන් දෙනෙක්. අන්නාසි කපපුවාම ගොඩවල් ගහන කෙල්ලෝ තුන්දෙනෙක්. හවසට තේ බොන්න මොනවා හරි කෑමක් හදන කෙල්ලො තුන් දෙනෙක්. කොල්ලෙක් වගේ කලිසම් කමිස අඳින කෙල්ලෙක්. එකම විදිහට මහගත්ත ගවුම් අඳින කෙල්ලො තුන්දෙනෙක්.

සමහර සීමා බිඳ දාපු කෙල්ලක්. සමහර සීමාන්ත වල හිරවෙලා අම්මට අප්පච්චිට සැනසීම දීපු කෙල්ලො තුන්දෙනෙක්. කෙල්ලන්ට බැහැයි කියපු සමහර දේවල් කරපු කරලා පෙන්නපු කෙල්ලක්. ඕනම තැනකදි අසාධාරණේට කෑ ගහන කෙල්ලෝ තුන් දෙනෙක්.

"ඒ කොල්ලන්ට වඩා මගේ කෙල්ලට පුළුවන්" සුදු හාමිනේ කියන අප්පච්චි කෙනෙක්. "කෙල්ලෝ තුන්දෙනාටම මගේ අත්ගුණේ තියෙනවා" කියන අම්මා කෙනෙක්. අද කෙල්ලො නිසාම ආඩම්බර වෙන අප්පච්චි කෙනෙක්." ඒ වගේ කොල්ලො නම් එපා" කියන අම්මා කෙනෙක්. "මම්මට කෑම එක ගිහින් දෙන්න අයියලා හිටියට මොකුත් ගෙනත් දෙන එකක්යැ" කියලා "අනේ ඒ අතින් මගේ කෙල්ලො" කියන අම්මා කෙනෙක්. හිතට බයක් දැනිච්ච වෙලාවට හිතට හයියක් ඕන වෙලාවට වෙනසක් නැතුව කෙල්ලො තුන්දෙනාට කොල්ලන්ට වගේ කතා කරන අප්පච්චියෙක්.

ඉතිං කෙල්ලෙක්ට පුළුවන්,

අම්මෙක්ට පුතෙක් වෙන්න.
අප්පච්චියෙක්ට දුවෙක් වෙන්න.
ඒ වගේම කෙල්ලෙක්ට පුළුවන්,
අම්මෙක්ට දුවෙක් වෙන්න.
අප්පච්චියෙක්ට පුතෙක් වෙන්න.

ඉතිං එහෙම කෙල්ලෝ තුන්දෙනෙක්ගේ  මද්දු කෙල්ල වෙච්ච මට අයිතියක් තියෙනවා "පවුලකට කොල්ලෙක් නැතුවට කමක් නෑ. දුක් වෙන්න එපා. කෙල්ලෙක් ඉන්නවද? ඕ කෙල්ලො දෙන්නෙක්ද? අනේ තුන් දෙනෙක්ම හරියටම අපේ වගේ, කෙල්ලොම හතරක්ද? අම්මෝ එහෙනම් උන් ටික ලෝකේම පෙරළයි" කියන්න.

කොල්ලො ඉන්න කවුරු හරි කෙල්ලෝ ඉන්න පවුලකට හිනා වෙනවා නම් හිත රිදෙන්න කතා කරනවා නම් "මොනවා උනත් ,තිබ්බත් කොල්ලෙක් නෑනේ"  කියනවා නම්, "කෙල්ලො විතරක් බෑ කොල්ලෙකුත් ඕන" කියනවා නම්,
මේ ටිකත් මතක තියා ගන්න මං එහෙම අයට කියනවා "කෙල්ලෝ ලේසී නෑ. උන් බොම්බ වගේ ජාතියක්. උන්ව පුපුරෝව ගන්න එපා කියලා." එහෙම උන දවසක අපිට කෙල්ලෙක් නෑනේ , කෙල්ලෙක් හිටියා නම් අනේ කියලා දුක් වෙන්නත් එපා.

කෙල්ලෙක් කියන්නේ කෙල්ලෙක් ඉන්න පවුලක් කියන්නේ මේ ලොකේ තියෙන ශක්තිමත්ම සමාජ ස්ථරයක් කියලයි මම අද හිතන්නේ. එහෙම පවුල් දුර්වල නෑ. කරුණාකරලා කෙල්ලො විතරක් ඉන්න දෙමව්පියන්ව රිද්දන්න එපා. එහෙම වෙද්දි මොන තරම් උනත් ඒ දෙමෙව්පියෝ අසරණ වෙනවා.  ඒත් දෙමව්පියෝ ඒ කෙල්ලන්ට පණ වගේ ආදරේයි කියන්න අමතක කරන්නත් එපා. කෙල්ලන්ව විශ්වාස කරන්න. ඒ විශ්වාසේට පණ වගේ ආදරේ කරන්න. ❤

Thursday, June 21, 2018

MAA

මට බල කරන්න බෑ විනාඩි විසි අටකුත් තත්පර කිහිපයක ඩේටා බිලක් දරාගෙන මේක බලන්න කියලා. ඒත් එහෙම නොකියා ඉන්නත් හිතක් නෑ. එහෙම වැය කිරිමේ හැකියාවක් තියෙනවා නම් බලන්න. ඒක අපරාදයක් කියලා දැනෙන එකක් නෑ.

"මා"
"MAA"
මේ තමයි චිත්‍රපටියේ නම.කෙටි චිත්‍රපටියක්.
මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Sarjun KM. මේ ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපටිය යි. පළමු චිත්‍රපටයට වඩා මෙහි සංවේදී රූප රාමුත්  එක්ක තමයි සාර්ජුන් ගනුදෙනු කරන්නේ. 
 


MAA කතාව කෙටියෙන් මෙහෙමයි.

ඇය අම්මු. දහ වන වසරේ ඉගෙන ගන්න අම්මු හොකි ක්‍රීඩිකාවක්.  (අම්මුට පණ දෙන්නේ මලයාලම් සිනමාව සායි පල්ලවි තරමටම වසඟයට ගතහැකියැයි මා  විශ්වාස කරන  තවත් තරුවක් වෙන Anikha Surendaran.) 
 
කතාවේ අාරම්භය සිද්ධ වෙන්නේ හොකි පුහුණු වීම් අතරතුර ඇය ක්ලාන්ත වී ඇද වැටීමෙන්.පස්සේ අම්මු එයාගේ යාළුවගෙන් අහනවා.

"ඔයාට periodes  වෙන්න පරක්කු වෙලා තියෙනවද " කියලා.
මේ කතා කරන්න යන්නේ නව යොවුන් ගැබ් ගැනීමක් ගැන කියන සංවේදනාව එතනින් මගේ හිතට ඇතුල් වෙනවා.

අම්මු ගෙදර ඇවිත් වමනය කරනවා.  එයාගේ අම්මා ඉස්සරහා දී අම්මු කියනවා.
" අම්මේ මම හිතන්නේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා  කියලා"
 


අම්මු එයාගේ අම්මා ඉස්සරහා වැරුද්ද පිළි ගන්නවා. ඇය පාපොච්චරාණය කරනවා. හඬා වැටෙනවා.  (අම්මුගේ අම්මාගේ චරිතයට පණ දෙන ඇය Kani kusruti ) අම්මා කෙනෙක්ට ඉවසගන්න බැරි දරා ගන්න බැරි වචන ටිකක් ඇහුවට පස්සේ ඇය අම්මුව මරලා දාන්න හිතනවා. ඒ හිතිමම ඇයට තිගැස්මක් එකතු කරනවා. ඔව් අම්මලා එහෙමයි. අම්මුගේ එකම එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි "අම්මා ඔයා වෙනුවෙන්" කියන එක. අම්මු එහෙම ඉල්ලනවා එයාගේ කාමරේදි අම්මාට තුරුල් උනාට පස්සේ.
 


අම්මා කෙනෙක්ට දරුවෙක් මරන්න පුළුවන්ද? ජිවිතයක් විනාශ කරන්න පුළුවන්ද? බැහැ කියන්න එපා. මම හිතනවා පුළුවන් කියලා. ඔව් පුළුවන්. අම්මා කෙනෙක් කියන්නේ හදවතක් විතරක් තියෙන ගැණියක් නෙවෙයි.  අම්මා කෙනෙක් කියන්නේ කලලයකට කුසේ ඉඩ හදන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ කන්න උයලා දෙන ගැණියක් විතරක් නෙවෙයි. අම්මා කෙනෙක් කියන්නේ දරුණු කුණාටු වලට මුහුණ දෙන මහ පර්වතයක්. සුළි සුළං තමන්ගේම බඳ වටා ඔතාගන්න මහ කන්දක්. 


අම්මා කෙනෙක් කියන්නේ දරුවෙක්ව බිහි කරන කෙනාටවත් දරුවෙක්ව හදන කෙනාටවත් නෙවෙයි කියන්න මම විශ්වාස කරනවා. මම එහෙම විශ්වාස කරන අම්මාගේ හෙවණැල්ල අම්මුගේ අම්මා ළඟ තියෙනවා. ඔය තමයි මම මේ කෙටි ෆිල්ම් එකට කැමති වෙන්න පළවෙනි හේතුව. මේ තියෙන්නේ ෆිල්ම් එක බලන්න ලින්ක් එක. මට හිතෙන්නේ අද අම්මා කෙනෙක් බලන්න ඕන චිත්‍රපටියක් කියලා. විනාඩි විසි අටයි තත්පර ගානක ඩේටා බිල අපරාදයක් නෙවෙයි කියන්න විතරක් මට පුළුවන්.

https://youtu.be/-lKk_5qYdkk
Preview YouTube video MAA - Short Film | Ondraga Originals | Sarjun KM | Sundaramurthy KS

මට තව දෙවැනි හේතුවක් තියෙනවා.ඔය කිව්ව පළවෙනි හේතුව හින්දම මම කතාවක් ලියනවා. මට තියෙන එකම කණගාටුව ඒ කතාව ලියන්න කලින් මම මේ ෆිල්ම් එක නොබලපු එක විතරයි.කතාව ලියන්න කලින් මේ සොර්ට් ෆිල්ම් එක බැලුවා නම් මගේ කතාව තවත් වෙනස් වෙන්න තිබ්බා. ඊටත් වඩා කතාවක් සංවේදිව ගොඩ නඟන්නේ කොහොමද කියන එකයි පැටලෙන්නැතුව කතාවක් ලියන්නේ කොහොමද කියන එකයි අඳුනගන්න පුළුවන් උනා MAA බැලුවට පස්සේ. මේ තියෙන්නේ මගේ කතාව.

https://m.facebook.com/story.php?story_fbid=1746767928722226&id=100001671085525

Thursday, June 7, 2018

ජීවිතය මේ වගේයි



"මට ඕන උනේ මට ම වෛර කර ගන්න. තැනින් තැන ඉතිරි වෙලා තිබ්බ ලේ පාට කළු පැල්ලම් මකලා දාන්න. ඒ කාලේ මහ අමාරු කාලයක්. මට සිද්ධ උනා උත්තර හොයන්න, තවදුරටත් මම ජීවත් වෙනවද නැද්ද කියලා සැරින් සැරේට හිතට වඳ දිදී මාව ම වෙහෙසට පත් කරවපු මගේ හිතුවිලි වලට. ඒ කාලේ මහ අමාරු කාලයක් උනේ එකකට උත්තර හොයද්දී, උත්තර හම්බෙද්දී තවත් හුඟාක් ප්‍රශ්නාර්ථ ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්ත එක. මම තවදුරටත් ජිවත් වෙනවා නම් උඹව ජිවත් කරවනවද නැද්ද කියලා හිතෙන්න ගත්තාම තමයි මට ඕන උනේ උඹවත් මරාගෙනම මාත් මැරෙන්න. එතකොට උඹට මාස දෙකක් ඇති මයේ හිතේ.

ආන් අර පේන කඳු ගැට්ට තියෙනවා නේද? මට ඔහොම හිතුන හැමදවසකම පහළ වත්තේ පොඩි උන්වත් එක්කහු කරගෙන ඔන්න ඔය කඳුගැට්ට නැග්ගා. එක උඩ ඉඳන් පහළට රිටුවා. ආයෙම උඩට බඩ ගෑවා. අැඟේ මුළු හයියෙන්ම පොඩි උන්වත් පහු කරගෙන කන්ද මුදුනටම දුවනවා. සතුටටත් එක්ක මං උන්ටත් වඩා හයියෙන් උඩ පනිනවා.

එන්න එන්න උඹේ බර වැඩි වෙනවා දැනෙද්දී ඒ තරමටම උඹව හිතටත් බරක් උනා. ආන් ඒ හින්දමයි මම තනියම උනත් ඔන්න ඔය කන්ද නැග්ගේ. ඒ වෙන කොට කන්ද කියන්නේ මට නුහුරු තැනක් නොවයි. හොඳටම පුරුදු තැනක්. මං කන්ද පාමුලට වඩා කන්ද මුදුනට කැමති. මොකද මේං මේ පිට සිරිච්ච කටු පඳුරු තිබ්බේ ඕං ඔය කියන කන්ද පාමුල. තිබිච්ච එකම සුදු ගවුමේ එදා එඬරු කහට ගැවුනැයි කියලා ඉස්කෝල් ගිහින් ඉවර වෙච්චි අක්කාගේ පරණ ගවුමක් වාටි ලෙහලා මහලා දෙනකම් දවස් තුන හතරක්ම ඉස්කොලේ නොයා හිටියෙත්, ගවුම පරණයි කියලා නැවති නැවති ඉස්කොලේ යන්න පටන් ගත්තේත් ඕං ඔය කියපු එ් දවසින් පස්සේන් පහු.

එදත් එහෙම දවසක් මම කන්ද මුදුනටම බඩ ගාපු. ටික ටික මෝදු වෙවී ලොකු වෙන බඩ ගෙඩිය හංගන්න අම්මාගේ චීත්තයක් දෙතුන් විඩක් කරකවලා තද වෙන්න උඹව ගැට ගහලා තිවුණේ.කන්ද මුදුනට එදා ගිනි සැරේට වැටිච්ච අව් රැල්ල. මට මතක තිවුණේ මේං මේ ඇස් පියැවෙනවා විතරයි. ඕං එදා ඇස් ඇරලා බලද්දි මං හිටියේ මේං මේ පැල් කොටේ ඕං ඔය මැස්සේ දිගා කරවලා.

" ඔය ඇත්ති දිහා මං දවොස් කියක් නම් බලා හිටියද? ඔය කරන වැඩේ තේරුමක් තියෙයියැ. ඔය ඇත්ති අකමැත්තක් නැත්නම් මේං මෙහෙට්ට වෙලා ඔය බර හැල්ලු වෙනකම් ඉන්ට, මට ඇහැක් ඔය ඇත්තිව ඇස් දෙක වගේ බලා ගන්ට " 

ඒං ඒ වෙවුලපු කටහඬ ආපු පැත්තට අමාරුවෙන් ඔළුව උස්සලා බලද්දී තමයි මම දැක්කේ උඹේ උප්පැන්නේට නම දීපු උඹ ඔය සීයැයි කියන ඔය මනුස්සයා මේ මැස්ස ඉහැත්තැවට වෙන්න ඇණ තියාගෙන ලිපට පිඹ පිඹ කේතලයක් රත් කරනවා. මං උන්දැව මුලින්ම දැක්කේ පොල් කොළ දුම මැද්දෙන්. ඒ දුමට වෙන්න ඕනෑ උන්දෑගේ ඇස් වල කඳුළු පිරිලා තිබ්බා මට අදටත් මතකයි.

"මේං මේ කැළේ මැද්දැවේ ඉන්න බෑයි" කියලා උඹ කිව්වට එදායින් පස්සෙන් පහු මම මගේහ් අතීතයටයි, මටයි වෛර කර ගන්න එක නවත්තලා ජීවත් වෙන්න පටන් ගත්තා. උඹේ දෛවය බාර වෙච්ච මොන දෙයිහාන්දුරුවෝ හරි මට මේ මනුස්සයාව එදා මුණ ගැස්සුවා. මට මෙන්න මේ ජීවිතේ කියලා දුන්නේ ඕං ඔය උඹ සීයයි කියන මිනිහා. උඹ ඒක හොඳට මතක තියා ගනින්. 

" ආන් අර තොටිල්ල ටිකක් පද්දලා වරෙන්, පොඩි ඒකී ඇහැරලාද කොහහෙද? මං මෙතනින් නැගිටලා ගියොත් හෙම ඕකී තනේ ඉල්ලලා බෙරිහන් දෙන්න ගනී. මේං මේ රොටිය කබලේම කරවෙයි" " 

Sunday, June 3, 2018

ඔබට



ඔබව සිහිවන විට
අහස දෙස බලමි. එක්වර
ඒ තමයි මම දැන් දන්න
කඳුළු නවතන එකම එක විදිහ


FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...