මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, February 1, 2021

C ට ආදරෙන්

 ආදරණීය C,


මම ලියන්නේ ගොඩක් කල්පනා කරලා නෙවෙයි. මේ වෙලාවේ මට ඔයාව මතක් වෙනවා. හැමදාම මතක් වෙනවා. ඒක එහෙමයි.ඒත් ඒ හැම වෙලාවේම ඔයාට කතා කරන්න හරි මැසේජ් කරන්න හරි හිතුන හිතුවිල්ල මම මඟ ඇර ගත්තා. ඒත් අද මේ වෙලාවේ මට ඒක එහෙම මඟ අරින්න හිතෙන්නෑ. ඒක මම මට කරන ලොකු අසාධාරණයක් කියලා හිතෙනවා. කොහොම උනත් මම හිටියේ ලොකු කල්පනාවක වෙනදා වගේම. ඒ කල්පනා වල තියෙන්නේ ම අතීතය. ඔයා ඉන්නවමයි. හැබැයි මට ඒ දේවල් අමතක වෙන්න අරන් තියෙන්නේ කියෙන්න මට දැනෙනවා. ගොඩක් දේවල් මතක නෑ. හිතලා අමතක කරනවා නෙවෙයි. අමතක වෙලා යනවා C.

මම ඔයාව දකිනවා. ඔයාගේ විශාල ලෝකෙයෙන් පුංචි කොටසක් දකිනවා. ඇත්තටම මට හරිම සතුටුයි. මට විශාල හදවතක් නෑ. තියෙන පුංචි හිතත් කැඩිලා විසිරිලා නේ. ඒත් ඒ කෑලි කෑලි වලින් පුංචි හරි අංශු මාත්‍රයක තරමකට මට සතුටක් දැනෙනවා. මට නිදහසක් දැනෙනවා.

එක එක කාලෙට මගේ හිතුවිලි වෙනස් වෙනවා. ඒ හිතුවිලි අස්සේ මම ආදරේ කරන්න වගේම වෛර කරන්නත් උත්සහකරලා තියෙනවා C. මම දන්න තරමට මගේ ඒ හැම උත්සහයක්ම අසාර්ථකයි. හැමදාම මට සාර්ථක වෙන්න බැරි උනා. මට ඒ අතර හිටපු මාව හම්බ වෙනවා ඒ වගේම මට මාව මඟ ඇරෙනවා. ඒ ගැන දුකක් නෑ. මොකද අපිට ඔබ ඔබම , මම මම ම වෙච්ච කාලයක් තිබුණා. ඒ කාලයට ඔයා තාමත් ආදරෙයි කියන්න මම දන්නවා C. C මමත් තවමත් ඒ කාලයට වගේම, ඔබේ මිහිරිතම,සොඳුරුතම සෙනෙහසට ආදරෙයි.

මගේ ලඟ ඔයාගේ නම්බර් එක නෑ. මම ඒක දවසක් ඩිලිට් කළා. නම්බර් එක විතරක් නෙවෙයි. ඔයා කවදාවත් එන්නෑති ඔයාගේ එෆ්. බී එකත් අන්ෆ්‍රෙන්ඩ් කළා C. මම මේක මට මතක මතකයේ තියෙන ඉලක්කම් සහිත අංකයට එවන්නේ. මේ අංකය හරිද වැරදිද කියන්න මම දන්නෑ C. ඒ නිසා මේ C නෙවෙයි නම් සමාවෙන්න.ඒ වගේම බය වෙන්නත් එපා. මම තවදුරටත් කරදරයක් වෙන්නෑ. මොකද මේ නම්බරය කාගේ උනත් මම ආයෙම මැසේජ් කරන්න උත්සහ කරන්නෑ.

ඉතිං මේ C ඔයා නම් ඔයා මේක කියවනවා නම්, මට කියන්න තියෙන්නේ මම මගේ පුංචි හදවතින් ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා කියලා විතරයි. ඒක ගොඩක්. ගොඩක්. ගොඩක්. මම එහෙමයි කියන්න දන්නේ. ඔයා දන්නවා මම ලේසියෙන් දෙයක් අගය කරන්නෑ. ලස්සනයි කියන්නෑ කියන්න. ඒ වගේම දන්නවනේ එහෙම කියන්න හිතුනාම ඒක නොකියා ඉන්නෙත් නෑ කියන්න. ඉතිං මේ වේලාවේත් මට දැනෙන දේ නොකියා ඉන්න මට බෑ. ඒක ඔයා දන්නවා C.

ඔයා ඉන්න තත්ත්වය මොන වගේද කියන්න දන්නෑ. ඉතිං මට හිතෙනවා මම ඕනාවටත් වඩා හොඳ හැසිරිමක් පෙන්නන්න ඕන කියලා. ඒ නිසා අන්තිමට " සමාවෙන්න" කියලා එකතු කරන්නම් C. මම දන්නවා අපි අතරේ එහෙම වචන බේදා ගන්නවට ඔබටත් වඩා මම කැමති උනේ නෑ කියන්න. ඒත් අද ඔබත් මමත් කියන්නේ පරාජිත පෙම්වතුන් අතරට එකතු උන, නොමියෙන සෙනෙහසක අයිතිකාරයන් පමණක් වන නිසාවෙන්, ඔබ ඉදිරියේ දි ද නාඳුනන සේ දුරින් හිඳමට අවශ්‍ය නිසාම මේ වචනය එකතු කරන බව ඔබ ට දැනෙන බව මම දන්නවා C.

තව දෙයක්, ඔයාට මගේ ගැන දැන ගන්න ඕන නම් ඒක කාගෙන්වත් අහන්න එපා C. මොකද ඒක එහෙම දැන ගත්තාම ලොකු වරදකාරි හැගිමක් දැනෙනවා. මම එහෙම කැමති නෑ C. අපි අපි ගැන දන්න දේවල්, අපි අපි ගැන බේදා ගත්ත දෙවල්, අපි අපි ගැන කතා කරපු දේවල් ඔබ මම ගැන දන්න දේවල්, ( ඔබ දන්නවා ඒ කිසිවක් ම මම කා සමඟවත් සිහිනයකදි හෝ යළිත් බෙදා නොගන්නා බව) ඉතිං ඔබ දන්නවා තවත් සියක් කාලයක් උවත් මම පවතින්නේ කොහොමද කියන්න. ඔබ දන්නවා නේද C. ඉතිං මා පිළිබඳ තවකෙනෙකුගෙන් විමසීම් නොකරන්න C.

මම කැමති මට දැනෙන දේවල් වඩා සුවදායි හැඟිමක් විදිහට විතරක් ඉතුරු වෙනවට.

මම,
...

ඔයා මම කව්ද කියන්න අඳුනගනීවි. 




2 comments:

  1. කාලෙකට පස්සේ C ව මතක් වෙලා. මීට කලින් C ගැන පෝස්ට් එක මතකයි.

    ReplyDelete
    Replies
    1. සමහර මතක අමතක වෙන්නෑ. සුවදායී

      Delete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...