මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, March 22, 2017

මහ පොළව සහ මිනිස්සු : 02





නටන්න බැරි ගොඩක් මිනිස්සු, මේ මහ පොළව ඇදයි කියලා කෑ ගහනවා.



එහෙම කෑ ගහන සමහර මිනිස්සූ, මේ මහ පොළවට යවුල් පහරවල් දීලා ඒ ඇද නැති කරන්න හදනවා.


එත්,...... ඒ හැම යවුල් පහරක්, උදලු පහරක් වගේම පොරෝ පහරක් උනත් මේ මහ පොළව දරා ගන්නවා.


එත්,...... කවදාවත්ම මේ මහ පොළව ඇදයි කියලා නටන්න බෑ කියන මිනිස්සූන්ට, මේ මහ පොළව දොස් කියන්නෑ. එහෙම දොස් කියලා කෑ ගැහුවත්, ඒ හඩ කිසිම මනුස්සයෙකුට ඇහෙන්නෙත් නෑ.


මේ මහ පොළව කැරකැවෙන වේගයටත්  වඩා වේගෙන් හුස්ම ගන්න මිනිස්සු, ඊටත් වඩා වැඩි වේගෙන් සුසූම් හෙලද්දීත්, මේ මහ පොළව කෑගහන ඒ හ ඇහුනත් නැහුණා වගේ ඉන්න පුරුදු වෙලා.


එහෙම ඉන්න පුරුදු වෙච්ච ගොඩක් මිනිස්සු, තමන්ගේ සුසූමක බර, තමන්ගේ කඳුලක බර මේ මහ පොළවට ඇහෙන්නෑ කියලා දෙස් දොවොල් දෙනවා.


එත්,...... මිනිස්සුන්ටම අමතකයි, තමන්ගේ කඳුලක, සුසූමක වගේම දහඩිය බරත් මේ මහ පොළව දරා ගන්නවා කියලා.


එහෙම අමතක කරපු මිනිස්සූ, මේ මහ පොළව සින්නක්කර ඔප්පූ වලට කොටු කරගෙන තමන්ගේ නමින් ලේබල් අලවා ගන්නවා.


එහෙම උරුමකම් හදා ගත්ත මිනිස්සු, තමන්ගේ උරුමය රකින්න බලි තොවිල්, කොඩි වින, වලට විතරක් නෙමෙයි යූද්ධය සහ සාමය කියන වචන වලටත් මුවා වෙනවා.


තමන්ගේ උරුමය රකින්න ඒ විදිහට කැප උන ගොඩක් මිනිස්සුන්ට, ජිවිතේ තමන්ගේ උරුම සින්න වෙලා මේ මහ පොළව බදා ගෙන අඩන්න උන මොහෝතේදීවත්,



උඹලා කොතැන කොහොම ඉපදුනත් ඔක්කෝම මගේම දරුවෝ කියලා මේ මහ පොළව කෑ ගහන හ ඇහෙන්නෑ.



ඒ,...... හින්දාම මිනිස්සු තමන්ගේ ජිවිතේ හදා ගන්න, තමන්ට වාසනාව උදා කර ගන්න මේ මහ පොළව තමන් කැමති කැමති විදිහට වෙනස් කරනවා.


ඒ,...... විදිහට මේ මහ පොළව වෙනස් කරද්දී, තමන්ට මෙන විදිහේ වේදනාවක් දැනුනත්, තමන්ගේම දරුවන්ගේ නාමෙන් මේ මහ පොළව ඒ වේදනාව දරා ගන්නවා.


ඒ,...... වේදනාව දරා ගන්න මේ මහ පොළවම හිතේ කහටක් නැතිව, මහ පොළව මත දෙපයින් හිට ගත්ත හැම මනුස්සයෙකුටම, මේ මහ පොළවේම හතර රියනක් වෙන් කරලා, කවදා හරි දවසක තමන්ගේ තුරුළට අරන් උණුහුම දෙන්න බලා ගෙන ඉන්නවා.







Friday, March 17, 2017

ආදරය යනු



ආදරය යනු හිමි වීම නොව,
අවැසි වු කළ අතැර යන්නට
යන්න කියමින් ඉඩක් දිමය....

එහෙත් හදවත ගැඹුරු තැන්වල
ඉතිරි කර ගත් මතක සිරුම්
ඇඟිල්ලෙන් ඇණ පාරවාගෙන
ගලන රුහිරෙන් කවි ලීවීමය....

මුල මැදක අග කොහෝ හෝ
නතර වී යළී බැලු විටකදි
ඒ සිනහාවම පෙනෙන විදිහට
කවි පේළී වල ඉඩක් තැබුමය....

කඳුළු එන විට රිදුම් ලබනා
නෙත් පියළි අඟ සිනහා ගවසා
මියුණූ හදවත වසා ගන්නට
කවියකට ජීවිතය දීමය....

ආදරය යනු හිමි වීම නොව,
අතැර යන්නට ඉඩක් දීමය
අතැර ගිය පසු නොපිරේනා
ඉඩක් කවියට ඉතිරී වීමය..... 





Thursday, March 16, 2017

හුදකලා වෙමි





හුදකලා වෙමි.
වසක් හෝ සිය වසක් වුව
පියවරක් මත පියවරක්
තබා ආ නොහැකිනම් තව.....




බලා හිදිනෙමි.
කාලයක් හෝ කල්පයක් වුව
සිහිනයත් සිහිනයක් වී
  රාත්‍රිය මියෙද්දීත්....





නොවිමසන්නෙමි.
පසුවදන කොහි පෙරවදන් කී
කවිකමට හෝ කවිවලට
සුළඟ ඒ කවි ගයද්දී....




Tuesday, March 14, 2017

මාර්තු පළවෙනි බදාදා

ජිවිතේ සමහර දවස් තියෙනවා ඒ දවස් හිතට හරිම විශේෂයක් එකතු කරනවා. අදත් එහෙම දවසක්. ඒ වෙන මොකුත්ම හින්දා නෙමෙයි, මම කියන ජීවියා මෙන්න මේ විදිහට මේ ලෝකය දකින්න, ඒ ලෝකේ සැරිසරන්න ඕනෑය කියලා හරි, මෙන්න මේ විදිහට හිතන්න පතන්න ඕනෑය කියලා හරි කවුරුම හරි සැලසුමක් හැදුවා නම් අන්න ඒ විදිහට ඇන්ද පිඹුරු පතට අඩිතාලම වැටුණේ අද වගේ දවසක හින්දායි.


හැම අවුරුද්දකම මාර්තු පළවෙනිදා කියන්නේ මෙන්න මේ විශේෂත්වයෙන් මගේ හිත පිරෙන දවසක්. මම අම්මායැයි හඳුනාගත් ඒ ගැහැණියත්, මම අප්පච්චියැයි හඳුනාගත් ඒ මිනිසාත් අතින් අත බැඳුන දිනය, මේ ඔවුන් දෙදෙනා එක්ව සමරන තිස් හත්වන අවුරුද්ද.


අප්පච්චී,
නුඹ රළව ...
ඈ වෙරළව ...
රළ වෙරළ සිඹිද්දී,
ඒ මහෑඟි ආදරයේ ...
              අනුහසින්
ඵල දැරු 
ඉතිං දැන් 
අපි කවුද?


ඒ  ඔවුන් දෙදෙනාගෙන් දුරක මා රැදී ගෙවී ගිය එවන් එක් දිනකදී ලියවුවක්. මතක විදිහටම ඒ අම්මාගේ ආදරේ තදින් දැනුන තවත්  දවසක්.

ඊට පස්සෙන් පහු හැම අවුරුද්දකම අම්මාටත් අප්පච්චිටත් දුරකථනයෙන් සුබ පතමින් ඔවුන් දෙදෙනා වෙනුවෙන් යමක් ලිවීම පමණක් සිදු කරන්නට වන්නේ, ඒ සෑම දිනයක්ම ඔවුන්ගෙන් සැතපුම් ගණන් බොහෝ දුරක හිඳින්නට සිදු වීම හේතුවෙනි.


අප්පච්චි,
ජිවිතේ මහ මෙරක් බර උර මත්තේ රඳවාන
සිනාසුන දියත නම් නුඹයි.

අම්මා,
ජිවිතේ නෙත කඳුළු පපුතුරේ රඳවාන 
හඩාවැටුනු දියත නම් නුඹයි.

දියත දියවර එක්න මැවු
පහන් ලොව
සහන් එළිය නම්...

නුඹ ඇය
දැඟිලි බැඳ
මැවු ලොව
අපිමැයි... 


හිතින් උස, ගතින් පුංචි මනුස්සයෙක් වෙච්චි අප්පච්චි එක්ක දීග එන්න අම්මාට තිබුණ හොඳම හේතුව වෙන්න ඇත්තේ, අප්පච්චි ලඟ තිබුණ නොසැලෙන ශක්තියම වෙන්න ඇති. ඒත් පුංචිම දවස්වල අපිට තිබුණ එකම ප්‍රශ්නය වුනේ කළුම කළු අප්පච්චිගේ රූපේට අම්මාට කැමති වෙන්න තිබුණ හේතුව මොකක්ද කියන එකයි. ඒ ප්‍රශ්නේම අද ඇහුවත් ඇය හිනාවකින් මිසක වචනයකින් උත්තර නොදෙන බව නම් මට හොඳටම විශ්වාසයි. 


කොහොම උනත්, පිච්ච මලේ වහපු කපුටා වෙච්ච අප්පච්චි ඒ උපහාස කතාව දරා ගත්තේ අස් වල ඇදිච්ච හිනාවකින්. වසර ගණනාවකට පසුත් කේක් කපලා උත්සව වලින් සැමරුවේ නැතුවාට උදේම නැඟිටලා කිරි බතක් හදන ඒක අම්මා නොකර ඉන්න දෙයක් නෙමෙයි කියලා මම දන්නවා. අදත් එහේ එහෙම ඇති. 


අප්පච්චි,
මහා සමුදුර නුඹයි..
විටෙක සැඩ රළ නඟින,

අම්මා,
අහස් කුස නුඹයි..
පිණි කඳුළු වගුරවන,

ක්ෂිතිජ ඉම එක් කළා
මහ සයුර අහස් කුස
රන් හුයෙන් බැඳුන දා
වාගේමයි ඔබ දෙදෙන.


අද යමක් ලියන්නට නොහැකි කාර්යබහුල බවින් මා පිරියද්දී, මතකයට නැඟුණූ අකුරු ඇමිණුම් එක්ක මේ සටහන ලියන්නේ හිතේ පිරිච්ච මහා ආදරයකින්. මෙන්න මේ දිනේ දි මම හිතන්නේම, මට හිතෙන්නේම...


අප්පච්චි,
ඔබට ඇය හිමි වන්නේත්,

අම්මා,
ඔබට ඔහු හිමි වන්නේත්,

ඒ අප නිසාම වන්නට ඇති බවයි.

එවන් ආදරයක් එකතු කර ඔබ අපට දෙන්නට, සසර කවරදාක හෝ සිට පීරූ පෙරුමක් නිසාම වන්නට ඇති.
 තවත් කල්පයක් සසර හමුවේ නම් අප ඒ ඔබ දෙදෙන එක්ව සදන අත්පහුරේම වේවා.




 අම්මා...
අප්පච්චි...

ඔබ දෙදෙනාටම සුබ යුග දිවියක්.
 

Thursday, March 9, 2017

" ලූ" ගමේ "ලු" කතා වලට හැඳින්වීමක්



එකොමත් එක කාලෙක වුණාලු කියන කතාවක් කියන්න තමයි මේ සුදානම් වෙන්නේ. තාම ඉතිං සූදානම විතරයි. කතාව බලන්න, කියවන්න තව ටිකක් විතර කල් යයි. ඊට කළින් ඉතිං පොඩ්ඩක් ලියන්න හිතුවා හැඳින්විමක් විදිහට වගේ.


මේ කියන්න යන්නේ, එහෙම නැත්නම් ලියන්න යන්නේ, පුංචිම දවස් වල අහපු කතාන්දර ටිකක්.  ඒ දවස්වල මේ කතාන්දර වලට උත්පත්තිය දුන්නේ අපේ අප්පච්චි. එයා ඒ කතාන්දර වලට කිව්වේ මහ බොරුවාගේ කතාන්දර කියලා. එයා ඒ කතාන්දර කොහොම ඇහුවාද කියන්න නම් දන්නෑ. සමහර විට අත්තාගෙන් හරි මුත්තාගෙන් හරි වෙන්නත් පුළුවන්.


කොහොම උනත් , අහපු, කියවපු සුරංගනා කතා වලටත් වඩා, අප්පච්චිම කියලා දුන්න වීර කතා වලටත් වඩා, ඉතිහාස කතා, රජ කතා වලටත් වඩා මහ බොරුවාගේ කතාන්දරේ මතක හිටියා. අප්පච්චිගෙන් අහපු කතාවලට තවත් අඩුවැඩිය ටිකක් දලා, ලුණු ඇඹුල් එහෙම එකතු කරලා තමයි ලියන්න හිතුවේ.


"ලූ"   ගමේ   "ලු"   කතා විදිහට.


කතාව කියන්න කලින් කියන්නම්කෝ ඉතිං මහ බොරුවා කියන්නේ කොයි විදිහේ කෙනෙක්ද කියලා.එහෙම හොඳයි නේ නේද?


"මහ බොරුවත් ඉතිං හරියටම  අපි වගේ තමයිලු. මහ බොරුවාගේ මුණ හතරැස්ලු, හරියට පෙට්ටියක් වගේ. ඉතින් මහ බොරුවට පෙට්ටි මුණක් තියෙන්නේ කිවුවොත් හරි. මහ බොරුවට ලොකුම ලොකු රවුම් ඇස් දෙකක් තිබුණාලු මොක්කම් නහයක් එක්ක, ලොකුම ලොකු ඒ මොක්කම් නහය පුරාම පාට පාට ලප වලින් පිරිලාලු. මුළු ඇග පුරාම බොකුටු බොකුටු මවිල්ලු, දිගම දිග කොන්ඩේත් එක්ක පෙට්ටි මුණ පුරා වැවුනු රැවුලකුත් තිබුනලු. ඒ විතරක් නෙවේලු, මහ බොරුවට පුළුවන්ලු උවමනා වෙලාවකදී ඇකිලෙන්නයි, දිග ඇරෙන්නයි. මහ බොරුවට හිටියලු පුතෙක්. එයාට හැමෝම කිවුවේ පොඩි බොරුවා කියලලු. එයා ගැන පස්සේ කියන්නම් කෝ."







ආයේ අහන්න දෙයක් නෑ මේ ඉන්නේ  මහ බොරුවාෙ. ඔය හතරුස් මුණක් තියෙන පොඩි හදායා තමයි, කුඩා බොරුවා. මහ බොරුවාගේ පුතා.


මෙන්න මෙයාලාගේ කතාව තමයි ඉතිං ලූ ගමේ ලු කතා විදිහට ඔයාලට කියවන්න ලැබෙන්නේ.


------------------------------------------------------------------------------------------------------------


 මහ බොරුවාගේ  කතාන්දරය කිව්වේ
ගුණපාල හේරත් (අප්පච්චි)



මහ බොරුවා අදින්නේ මේයා
තුෂාරි හේරත් (නංගී)



 මහ බොරුවා ලියන්නේ 
මම


------------------------------------------------------------------------------------------------------------

ඉතිං මහ බොරුවාගේ කතාන්දරයක් එක්ක දවස් දෙක තුනකින් හම්බෙමු. (එහෙම කිව්වාට දවස් දෙක තුන ගැන නම් හරියටම කියන්න බෑ)



එතකම් අයුබෝවන් ලු  

 

Friday, March 3, 2017

පෙබරවාරි විසි අට අඟහරුවාදා



ම පෝලිමේ හිටයේ දහ වෙනියට එහෙමත් නැත්නම් නම වෙනියට. මටත් පස්සෙන් පොළිම දිගු වෙනවා එන්න එන්නම. මේ පොළිමට එකතු වෙන හැම ගැණියෙක්ගෙමයි මිනිහෙක්ගෙමයි මුණු මට පෙන්න ගත්තේ එකම විදිහට. එත් මම දැනන් හිටියා ඒ අතර රවුම් මුණු, හතරැස් මුණු, දිගටි මුණු, පෙට්ටි මුණු, ඉලිප්සාකාර මුණු සමහර විට ඒ විදිහේ මුණු නැතුව ඇති මම කිව්වේ ඉලිප්සාකාර මුණු. එත් නෑ මයි කියන්න බෑ. මම හිතනවා එහෙම මුණුත් ඇති කියලා. එත් මට මේ හැම මුණක්ම පෙන්න ගත්තේ  ෂඩස්‍රාකාර විදිහට. එකම දිගටි මුණක්වත්, රවුම් මුණක්වත්, හතරැස් මුණක්වත්, පෙට්ටි මුණක්වත්අර කිව්ව විදිහේ ඉලිප්සාකාර මුණක්වත් මට පෙන්න මේ පෝළිමට එකතු උන්නෑ. එකතු උන ඒ හැම මුණක්ම ෂඩ්‍රාස්‍රාකාරයි.




මේ දැන් පෝළිමට එකතු උනේ හැඩකාර යුවතියක්. ඇය ඉන්නේ පහළ තට්ටුවේ ගිණුම් අංශයේ. ලෙජර මත නටන කුරුමිණි අඩු ඉලක්කම්  ඇයව වෙහෙසට පත් කරපු බව මුණෙන් පෙන්න තිබුණා. සමහර විට බිංදු පහකට වඩා වැඩි සංඛ්‍යා ගණන් කරලා ඇය වෙහෙසට පත් වෙලා ඇති. කොයි තරම් බිංදු ගණනින් වැඩි සංඛ්‍යා ගණන් කළත් කවදාවත් බිංදු හතරකට එහා පැත්තේ අගයකින් අපේ ගිණුම් පිරෙන්නැති බව අපි දන්නවා. එහෙම තමයි රාජ්‍ය සේවකයින් උනාම. කොහොම උනත් ඒ එකතු වෙන  ෂඩ්‍රාස්‍රාකාර මුණුවල මොනවද ලියවිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න අමාරුයි. 




ඔවුන් සියල්ලන්ම හිටියේ හිර වෙලා. ඔවුන්ට එයින් මිදෙන්න මාර්ගයක් පෙන්න තිබුණේ නෑ. එහෙම පෙන්න තිබුණත් ඒක බොහෝම දුරකින් තමයි පෙනුනේ. හරියට මිරිඟුවක් වගේ. ලං වෙන්න වෙන්න ඈතටම යන. එත් ඔවුන් කවදාවත්ම ඒ පසු පස්සේ යන එක අතඇරියේ නෑ. ඒක මිරිඟුවක් කියලා දැන දැනමත්. ඔවුන් හිතන්න ඇති, එහෙම නැත්නම් හිතේ කොහො හරි තැන්පත් වෙලා තියෙන්න ඇති කවදාම හරි ඔය කියන මිරිඟුව සැබෑවක් වෙයි කියලා. මමත් ඔය කියන කොටසට අයිති කෙනෙක්. සමහර විට මගේ මුණත් අනිත් අයට ෂඩ්‍රාස්‍රාකාර විදිහට පෙන්න ඇති. එහෙම නොවී තියෙන්න බැහැ අනිත් මිනිස්සු වගේම මමත් : බලාපොරොත්තු, ඉලක්ක, අරමුණු, හීන, අපේක්ෂා, විශ්වාස,  : වලින් පිරිලා ගිය මනුස්සයෙක් උනාම.




මගේ මුණ උඩ කොටසට වෙන්න පිරිලා තිබුණේ බලාපොරොත්තු, ඒ බලාපොරොත්තු හැම දෙයක්ම වෙලාවකට ඔළුවට බරක් වෙන්න ඇත්තේ ඒ නිසාම වෙන්න ඕන. එහෙම බරක් උනේ සමහර බලාපොරොත්තු තිබුණා ඉටු කරගන්නේ කොහොමද කියන මාර්ගයක්වත් පෙන්න තිබුණේ නැති. තවත් සමහර බලාපොරොත්තු තිබුණා ඒවා ඉටු වේලා උනත් හිතට කිසිම සැනසිල්ලක් , සතුටක් එකතු නොකරපු.




හීන නම් ඇඳිලා තිබිච්ච දෙයක්, දකුණු කණ දක්වාම වගේ ඒ හීන ඇඳලා තිබ්බා.  සමහර දවස් වල රෑට කණ අස්සේ මුණු මුණූ ගැවේ ඔන්න ඔය හීන වෙන්න ම ඕනේ. ඒ විතරක් නෙවෙයි ඇහැ පියවුණ ගමන් ඒ හීන ඇස් වලටත් එබිලා හිනා වෙලා ගියපු වේලාවල් තිබුණා. ඔය විදිහටම වම් පැත්තට වෙන්න, ඒ කිව්වේ වම් කණ ගාවට එනකම්ම අපේක්ෂා වලින් පිරිලා තිබුණේ. අපේක්ෂා කියන්නේ හීන වලට නොදෙවෙනි දෙයක් තමයි.




නලලත් කනත්  අතර ඒ විදිහට හීන වලිනුයි අපේක්ෂා වලිනුයි පිරිලා තිබුණා. එහෙම තිබුණයි කියලා නෑ, ඒ හීන අපේක්ෂා බිඳුන ගැහැණූත් මිනිස්සුත් මේ පෝලිමට එකතු වෙනවා මම දැක්කා. මම එහෙමයි කියලා  අඳුන ගන්න විශේෂ කාරණයක් උනේ ඒ ගැහැණුන්ගෙත් මිනිස්සුන්ගෙත් ඇස් ගිලිලා මැරිලා තිබුණ විදිහෙන්. ඔවුන්ට තිබුණේ මලානික සිනහවන්. මේ දැන් අගට වෙන්නට පෝළිමට එකතු උන ඒ  මැදි වියේ මිනිසාට තිබුණේත් ඒ විදිහේ හිනාවක්. මුණ පුරා වැවුණු රැවුලත් එක්ක බිඳුනු හීනයි, අපේක්ෂාවනුයි තාමත්  ඔහු දරාගෙන ඉන්නවා. ඔහු දන්නවාත් ඇති මේ දෙවල් ඔහුට කිසිම විදිහක ප්‍රයෝජනයක් නොවන බව, එත් ඔහු ඒ සියල්ල ඉවත නොදා උහුලගෙන ඉන්නවා. සමහර විටෙක ඔහුගේ මරණය දක්වාම ඔහු ඒ විදිහට ඒ බර දරාගෙන ඉදිවී.





එහෙම ඇදිච්ච හීන ඉවර උන තැනින්ම පටන් ගත්තේ ඉලක්ක, ඒ විදිහටම වම් පැත්තට වෙන්න තිබුණේ අරමුණු. ඉලක්කයි අරමුණූයි එකතු වෙන්න වෙන්න ඒ වගේම ඒ දේවල් ඉටු වෙන්න වෙන්න කම්මුල් වලට ලේ පිරෙන්න ගන්නවා. අන්න ඒ හින්දා වෙන්න ඕන එහෙම සමහර අරමුණු සමහර ඉලක්ක ඉටු කරගත්ත මිනිස්සුන්ගේත් ගැහැණුන්ගේත් කම්මුල් දිලිසෙන්න ගන්නවා ඇත්තේ. දැම් මේ පෝළිමට එකතු නොවී පෝළිම පහු කරගෙන ගිය අධ්‍යක්ෂතුමියත් එහෙම අරමුණු ඉලක්ක ඉටු කර ගත්ත කෙනෙක් වෙන්න ඕන. එත් එතුමියට තිබුණු මළ හිරු බහින වේලාටව අහසේ තැවැරෙන ලා අළු පාටට හුරු ඇස් දෙක මීදුම් පටලයකින් වැහිලා තිබුණා. ඒ ඇස් වලයි පෝළිම අගට එකතු උන මැදි වියේ මිනිසාගේ හිනාවයි අතරේ බොහෝම ළග නෑදැකමක් තියෙන්න ඕන කියලාමයි මට හිතුණේ.




විශ්වාසය කියන කාරණය තිබුණේ මුහුණේ පහළමට වෙන්න. හරියටම කිව්වොත් නිකට කිට්ටුවටම වෙන්න. හුඟාක් මිනිස්සු හිටියේ විශ්වාස කඩවීම් වලට ලක් වෙලා. ඔවුන්ට තවත් විශ්වාස කරන්නට දෙයක් නැති බව ඒ මුණු වලින් පෙන්න තිබුණා. මම දන්නවා මගේ නිකටත් ඊටත් උඩින් තියෙන කටත්, නාසයේ උඩටත් වෙන්න පැහැදිලිව බලන කෙනෙක්ට ඔය කියන කාරණය බොහෝම අපුරුවට අදුන ගන්න පුළුවන් කියන බව. කොහොම උනත් මට විතරක්ම නෙමෙයි මේ පෝළීමට එකතු වෙච්ච ගැහැණුන්ටත් , මිනිසුන්ටත් විතරක් නෙවෙයි පෝළිමට එකතු නොවී ගියපු ගැහැණුන්ටත් මිනිසුන්ටත් ඒ එකම ලක්ෂණය එකම විදිහට පිහිටලා තිබුණා. ඔවුන් හිටියේ විශ්වාස කඩවීම් වලින් වගේම තවදුරටත් විශ්වාස කළ හැකි දෙයක් ගැන නිශ්චයක් නැතුව.




මේ විදිහට මුණකම ඔය කිව්ව කාරණා එක එක විදිහට අඩු වැඩිව තිබුණා. ඒ විදිහට මට මේ හැම මුණක්ම ෂඩ්‍රාස්‍රාකාරව පෙන්න පටන් ගත්තා. සමහර විට ඊටත් වඩා වෙනස් විදිහට තවත් කෙනෙක්ට පෙන්න පුළුවන් කියලායි මට නම් හිතෙන්නේ. පෝළිම දිගු වීම නතර උනේ වේලාව හරියටම හතරයි කාල උන නිසා. ඇඟිල් සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල  සටහන් කරලා රාජකාරි ස්ථානයෙන් පිටත්වෙන වේලාවයි ඒ. ඉක්මණින්ම මගේ වාරය ලඟා උනා. කඩිමුඩියේ ඇඟිල්ල සටහන් කරපු මම නවාතැනට යන්න පිටත් වුණා.




තවත් ඒ විදිහේ ෂඩ්‍රාස්‍රාකාර මුණූ මට මුණ ගැහෙන්නට වුණා. ඒ හැම මුණක්ම නොනැවති මාව පහු කරගෙන ඔවුන්ගේ ඉදිරිය බලා ගමන් ගන්න ඇති. එත් ඔවුන්ටත් තියෙන්න ඇත්තේ බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස ය කියන දේවල් වලින් හැදිච්ච මුණූ කියන එක මම දන්නවා.




මිනිස්සු ඇස්, ඉස්, මස්, ඇට, ලේ, නහර, වලින් හැදෙනවා වගේම බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස කියන දේවල් වලින් ගොඩ නැගෙනවා.




මමත් එහෙම බලාපොරොත්තු, හීන, අපේක්ෂා, අරමුණ, ඉලක්ක, විශ්වාස එක්ක ජිවිතේ යාත්‍රාව ගැට ගහනවා. 





FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...