මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, October 31, 2017

තැන

දැන් මම පහු කෙරුවේ අපි අත් අල්ලන් එනකොට දවසක් නකුටු බල්ලකු මැරි හිටි තැනය. මැස්සන් විසින් බලු කුණ භෝජනාගාරයක් කර ගත් තැනය. ඔබ කිසිදු පැකිලිමකින් තොරව මළ කුණ උඩින් පැන්න තැනය. නහය වසා ගන්නට මම ඔබේ අත අත හැරිය තැනය. "ඊයා" යැයි මම කියු තැනය. "කෝලං" යැයි ඔබ කියු තැනය. මෙතැන සියල්ලේ අරම්භය සිදු උන තැනය.

දැන් මම පහු කෙරුවේ නනාගේ තොසේ කඩය තිබෙන තැනය. හවසට අපි තේ බොන්නට හුරු වී සිටි තැනය. ඔබ සොයා ගෙන වැරදි යැයි නම් කර ඇනුම් බැනුම් හා රිදවුම් පා කර එවු තැනය. මම මේසයක් මත වරුවක් ඉරි ඇන්ද තැනය. ඔබ ප්ලෙන්ටී බිව් තැනය. මම කුල් ඩ්‍රින්ක්ස් බිව් තැනය. මෙතැන මට හොඳින් මතක හිටි තැනය.

දැන් මම පහු කෙරුවේ දවසක පැයකුත් විනාඩි දහතුනක් අප නිහඬව හිඳි තැනය. වැහි බිංදු බර වැඩිව මැයි මල් පෙති බිම වැටුණු තැනය. වැහි බිංදුත් මල් පෙතිත් තරගයට ඔබ හිස සිපගත් තැනය. කුඩය යට සිට වැහි බිංඳු වලට මම අත පෑ තැනය. ඔච්චමට ඔබ හිනා උන තැනය. ප්‍රතිචාර ලෙස මම රවා බැලු තැනය. මෙතැන වැස්සට අදත් මම නවතින තැනය.

දැන් මම පහු කෙරුවේ කාමර කුලීයට දෙන තැනය. ඔබ මගේ අත තද කර මිරිකු තැනය. ඇස් අගින් ලොකු අකුරු පෙන්නු තැනය. මම අත ගසා දැමු තැනය. "පිස්සුදැයි" පෙරලා ඔබෙන් ඈසු තැනය. ඔබ ඉක්මණින් නොපෙනී ගිය තැනය. මෙතැන හිත ගැස්සෙන තැනය.

දැන් මම පහු කෙරුවේ ලංකා බැංකුවේ ඒ.ටී.එම්. මැෂිනය තිබෙන තැනය. ඔබෙන් කෙටි පණිවිඩයක් ලැබු තැනය. මම නැවති හදිසියෙන් එය කියවු තැනය. ජංගමය බිම වැටුණු තැනය. මම යතුරු පැදියක ගැටුණු තැනය. සිහිසුන්ව වැටුන තැනය. මෙතැන කඳුලක් ඇහැට උනන තැනය.

දැන් මම පහු කෙරුවේ ජිවිතේ අහම්බයක් වුන තැනය. ඔබ අතින් අල්ලන් ඇයව දුටු පළමු තැනය. 
ඔබට දමා ගසන්නට සිතින් වචන ඇහිලු තැනය. ඔබ පිටු පසින් මවෙත ඉඟි කරන දෑසක් දුටු තැනය. ඔබට හදවතින් සමාව දුන් තැනය. සියල්ල ගැන වරක් සතුටට පත් වු තැනය. මෙතැන අද ද ඒ දෙඈස් හොයන තැනය.

Saturday, September 23, 2017

සීතා කුමාරි

මගේ නම සීතා. සීතා කුමාරි. එහෙම තමයි පිල්ලෑවේ පිරිවණේ ලොකු හාමුදුරුවෝ මට කතා කොලේ. කුමාරි උපාසකම්මේ කියලා පොඩි දෙනම කතා කරනවා. ඒකටත් ආනන්ද හාමුදුරුවෝ නමක් ගමක් කිවේ නෑ. ඒ ඇත්තෝ කිව්වේ ඔය ඇත්ති කියලා. හැබැයි කාත් කවුරුවත් හිටි තැනක නෙවෙයි. බණ මඩුවේදි හරි විහාර ගෙයිදි හරි, ඔය ඇත්ති කියන වචනේ සීතා කුමාරිට වඩා මට සමීපව ඇහුණා. ආනන්ද හාමුදුරුවන්ට තිබුණේ නිල් පාට ඇස්. ඇහි දෙබැම යා වෙලා. ඝණයි. ⁣ඇදක් නැති නහයක්. බෝසත් කටහඬක්.



නම සීතා උනාට මම ඒ සීතා වගේ නෙවෙයි. ඒක මුළු ගමම දැනන් හිටියා. ඒ සීතාට වගේ මට රාම කෙනෙක් හිටියේ නෑ. මම ඒ සීතා නොවෙන්න පළවෙනිම හේතුව උනේ ඒක. පහළ වත්තේ චන්දරේ. සමහර දාට බයිසිකොලේ තල්ලු කරගෙන මයේ පස්සෙන්ම ආව. පිං ළිඳ ගාවටම. ඒත් ඒ රාම නෙමෙයි නේ. වැඩක් කියලා කරේ පොල් ගස් නඟින එක. මට පිටි පස්සේන් අඩි දහයක් දුරින් ආවත් ගස් ගඳ මාවත් ඉස්සර කොරගෙනමයි ඇදිලා යන්නේ. මට ඔය එකම එක දවසකවත් පස්ස හැරිලා බලන්න හිතුන්නැත්තේ ඒ හින්දා. එ්කටත් එක්ක ඇලිස් බාසුන්නැහේගේ පොඩී එකි. ඇටෙන් පොත්තෙන් එළියට ආව විතරයි චන්දරයාව මුකුළු කරලා අල්ල ගත්තා. එකීට නහයක් තියෙන්න නැතුව ඇති කියලමයි මම මුල් දවස් වල හිතුවේ. ඇරත් පොල් ගස්ම බදන් ඉඳලයි රා කට්ටට වහල් වෙලයි චන්දරයාත් දිරලා හිටියේ උගේ අස්ථි පංජරේම ගනන් කරන්න පුළුවන් කමිසේ නැතුව ගස් නගින වේලාවට. ගෙදර වත්තේ ගහක දෙහෙක පොල් කඩන්න ආපු දවසට තමයි මම චන්දරේ දිහා වැඩිපුරම බැලු⁣වේ. එකත් කාමරේ ජනෙලෙන්. දුර ඉදන් බලද්දි අව්වට දිළිහෙන චන්දරේගේ කළු හමට මොකක්දෝ ආල වන්ත කමක් නොහිතුනා නෙවෙයි. ඒක ඇඟ හීතල වේලා යන හැඟිමක්. ඈතින් දකින පොල් ගස් නඟින චන්දරේ ගැන හිතෙන එක හැඟිමක්වත් ලක්ස් සබන් වැඩියෙන් උලන් පස්සෙන් එන චන්දරේ ගැන ඇති නොවෙන්න හේතුව සීතාවත්, කුමාරිවත්, මමවත් දැනන් හිටියේ නෑ. මම එකොළහ පාස් වෙච්ච එකී වෙලා ගස් නඟින උන් එක්ක උකුළු මුකුළු තියා ගන්න එක ගැන ගෙදරින් උනත් කැමැත්තක් නෑ. චන්දරේ ගස් නඟින්න ආපු වේලාවක විටක් එ්දගෙන ඌගේ අතේ තියන්න යද්දී අම්මා රවපු විදිහෙන්මයි මම ඒක තේරුම් ගත්තේ.
චන්දරේට තිබුණේ බොර පාට ඇස්. මවිල් නැති පපුවක්. ගොරහැඩි කට හඬක්.

මන්ත්‍රී කෙනෙක්ව අල්ලන් ඔය ඔපීසියක අතුගාන තේ හදන වගේ රස්සාවක් ගන්න පුළුවන් වෙයි කියලාම තමයි තාත්තා කිව්වේ. ඒ කන්තෝරුවල පියන් රස්සාවට ගන්නේත් විභාගේ පාස් උන ඉංගිරිසි කතා කරන අයවයි කියලා තාත්තා කිව්වේ. ගමෙන්ම එකොලහේ විභාගේට සම්මාන හයක් තිබුණේ සීතා කුමාරිට. ඒ කියන්නේ මට. අතුගාන රස්සාවට හරි ගමෙන් පිටට යන්නෝනා කියන එක තමයි තාත්තාගේ අදහස උනේ. නැත්නම් ඉගෙන ගත්ත එව්වා නිස්කාරනේ කියලා උන්දැ දුක් වුනා. ටික දවසක් ගියාම වැඩ හොඳනම් අල්ලලා හිටියොත් පියන් රස්සාවට ඊටත් පස්සේ ලිපිකරු රස්සාවට උනත් යන්න පුළුවන්ලු. ටික දවසක් යනකොට ඉංගිරිසි එහෙම අල්ල ගන්නත් පුළුවන් වෙයි කියලා කිව්වේ මාලක්කා. ඔව් ඒක නම් බැරි කමක් නෑනේ. මාත් එහෙමම හිතුවා. ඔය දවස් වල හන්දියේ කඩේට ආපු සරළ ඉංගිරිසි කතා කරමු කියලා පත්තරයක්. හරි ලස්සනට ඉංගිරිසි කියලා දෙනවා. ඊට පස්සේ හැම මාසේකම මාත් පත්තරේ ගත්තා.

පිල්ලෑවේ පිරිවණේ ලොකු හාමුදුරුවෝ කිව්වොත් මන්ත්‍රීතුමා අහක දාන එකක් නැහැයි කියලා තමයි තාත්තා කිව්වේ. මන්ත්‍රීතුමා හැමපෝයටම පන්සල් ආව. ඉදලා හිටලා දායක සභාවටත් ආවලු. සමරදාට තාත්තාව දැක්කාම ලොකු  උන්නැහේ කියලා කරට අතත් දාගෙන කතා කරනවාලු. එහෙම වෙලත් තාත්තාටම ඕක මන්ත්‍රීට කියන්න තිබ්බාය කියලා තමයි දෙවෙනි කිව්වේ. අටට යනකම්වත් ඉස්කෝලේ නොගිය එකාට වැඩක් පිළිවෙලකට කොරගන්න දැනුම් තේරුම් නැතෙයි කියාලා තමයි තාත්තා උගේ වචන ගනන් නොගෙන හිටියේ. "මට කෙලින්ම කියන්න බැරි කමක් නැ මැණිකෝ ඒත් පිල්ලෑවේ ලොකු හාමුදුරුවෝ කෙල්ලව රෙකමදාරු කළොත් හොඳ තැනක රස්සාවට දා ගන්න පුළුවන්.අනික මම ඔව්වා මන්ත්‍රී මහත්තයා එක්ක කියනවා මේ ගමේ එකාලට ඇහුනොත් උන් නැති පදත් කෙලිට හදයි. ඊරිසියාකාර ජාතිය."

ගිය නවම් පෝයට කළින් දවසේ "සීතෝ හෙට තාත්තා එක්ක පිල්ලෑවේ පිරිවණට යන්න ලැස්ති වෙයන්" කියලා අම්මා කිව්වා. මම පිල්ලෑවේ පිරිවණට ගියේ පේරූ දානේ ගෙනියන දාට විතරයි. තාත්තා නම් හැම පෝයටම පන්සලට ගියා. මේ ගමන පිල්ලැවේ යන්නේ මාස හත අටකින්. ගිය පේරුවට පිරිවණට ගිය ගමන. චන්දේරේ ඒ දවස් වල  පදිංචි වෙලා හිටියේ පිල්ලෑව පිරිවණ කිට්ටුව. සමහරවිට චන්දරේත් පිරිවෙණ් ඇවිත් ඉඳි. තාම ගස් ගඳ ද දන්නෑ. එහෙම හිතෙද්දිත් මට හිනාගියා. සුදු ඇඳුමක් ඉස්තිරික්ක කරන්න රත් වෙච්ච පොල් කටු ඉස්තිරික්කේට දාන ගමන් මම හිතුවේ චන්දරේ ගැන. ඉස්තිරික්කේ රත් වෙන වේගෙටම මගේ හිතෙනුත් රස්නේ එන්න පටන් ගත්තා. 

ඒ චන්දරේ බැදපු මුල් දවස්. බැන්දා කිව්වාට ඔය කිසිම ලිය කියවිල්ලක් අත්සන් කොලේ නෑ. ඇලිස් බාසුන්නැහේගේ පොඩි එකී බලෙන්ම වගේ චන්දරේලාගේ මහ ගෙදර පදිංචි උනා කියලා තමයි ගමේ ආරංචි උනේ. පස්සෙන් පහු චන්දරේලා පිල්ලෑවට ගියා. එදා ⁣මම ලේකම් ගෙදර ඉදන් එන ගමන්. චන්දරේ ලේකම් ගෙදර පැත්තට යන ගමන්. බයිසිකලේ. ඇලිස්ගේ කෙල්ල ඉස්සරහා. එකි මහ ආඩම්බරකාරි. අෑතදීම මාව දැක්කා. මාත් දැක්කා. ඒකි මට පෙන්නම චන්දරේගේ පපුවට හේත්තු වුනා. චන්දරේගේ කෙණ්ඩේ ජෙල් ගලා පීරලා. අවුවට දිලිසුනා. මාව පිච්චුනා. හරියටම මගේ ලඟදි බයිසිකලේ වේගෙ අඩු වුනා. "බලාගෙන" ඒකී එහෙම කියලා චන්දරේගෙ අත කෙනිත්තුවා. මාව පහු කරන රාණි සබන් සුවඳ. " බල්ලා" ඒ මගේ හිත. මම හැරිලා බැලුවා. චන්දරේත් බැලුවා. " වේ* බල්ලා" මම ඉක්මණටම ඉස්සරහා බැලුවා. අඩිය ඉක්මන් කෙරුවා. "ආහ්" ඉස්තිරික්කේ රස්නේට මගේ අත පිච්චුනා. 

මන්ත්‍රීට කියලා රස්සාවකට පංගරාත්තු කරනකම් ඉරිදාට පිරිවෙන් එන්න කියලා ලොකු හාමුදුරුවෝ එදා කිව්වා. මාසෙට කියක් හරි ගෙවීමක් කරන්න පොරොන්දුත් උනා. දෙවෙනිට මන්ත්‍රී ගාව රස්සාවක් ලැබුණා. ආවට ගියාට කෙල්ලක්ට රස්සාවල් දෙන්න බැරි නිසා මගේ වැඩේ සතිය සතිය පස්සට. ශ්‍රේණියක් බාර නොදුන්නාට පහෙන් පහළ ශ්‍රේණි ඔක්කෝම බලාගන්න උනේ මට. මල් ගෙන ලමයි ලකුණු කරන්න, මල් වට්ටි හදන්න උදව් වෙන්න, බෝධිය අමදින්න ශ්‍රේණි වෙන් කරන්න, පහළම ශ්‍රේණියේ පොඩි උන් සරම් වල ලමාසාරි වල චු දා ගත්තාම ඒවා මාරු කරන්න, ඩෙස් බංකු පිළිවෙලට තියන්න, විහාර ගේ අස් කරන්න, ඔය වගේ තව හුඟාක් වැඩ තිබුණා. හැම ශ්‍රේණියකම ලමයි දහයක් දොළහක් හිටියා. ඒහැම ගුරුවරයෙක්ටම මාව නැතුව බැරි උනා ටික දවසක් වෙද්දී. දැන් දැන් ලොකු හාමුදුරුවෝ පණිවිඩ කියන්නේ මට. ඒක අදාළ කෙනාට කියන්නේ මම. සමහර දේවල් වෙන්න ඕන විදිහ තීරණේ කරන්නේ මම. අවසර දුන්නේ ලොකු හාමුදුරුවෝ. මල් පෙරහැරක් කරන යෝජනාව ගුරුවරුන්ගේ. "සීතා කුමාරි ඒක ගැන හෝයලා සුදුසු විදිහට කරන්න." පහළ ශ්‍රේණිවල පොඩි කොල්ලො මාව විහිළුවට ගත්තාට දැන් දැන් මට බයයි. ඉරිදා ඇරෙන්න දැන් හැම පෝයටම පිරිවෙනට එනවා. පෝයදාට පිංකම් මලාව සංවිධානය කරන්න. හැමෝගෙම කටේ තියෙන්නේ සීතා එක්කෝ කුමාරි. ඒ අතරින් පතර ඔය ඇත්ති. නිවන ඒ තරම් දුරක නෙවෙයි. දැන් බෝ පත් අතරින් ඇහෙන්නෙත් ඒ හඬ. සමාධිය ඉස්සරහාදි හිත ගැස්සෙන්නේ ඒ හින්දා. සීතා. සීතා කුමාරි. ඔය ඇත්ති. 

එ් හවස් වරුවේ සමිතියේ වාර්තාව හදන්න තිබ්බ හින්දා දහම් පාසලෙන් පස්සේ මම පිරිවෙනේම හිටියා. බෝ මළුව අස් කරලා අතු ගලා විහාර ගෙයි පර මල් අස් කරලා අතු ගාන්න ඕන කියලා හිතුවා. විහාරගෙයි සමාධිය ඉස්සරහා රවුමට තියලා තිබ්බා හක්ගෙඩි අටක්. දුවිලි බැදිලා. පිහ දාන්න අතට ගත්තා. පිටි පස්සෙන් ආපු අඩි සද්දේට හැරිනාම ලොකු හාමුදුරුවෝ ළඟම. "සීතා කුමාරි දන්නවාද මේ වළාම්පුරි, හිතන පතන සම්පත් වළාම්පුරියෙන් ලබා ගන්න පුළුවන්." ලොකු හාමුදුරුවෝ කිව්වේ අතේ තිබුණ හක්ගෙඩිය පිරිමදින ගමන්." එහෙමයි හාමුදුරුවනේ" මේච්චර දවසක් විහාර ගෙට ආවට ගියාට විහාර ගෙයි සිවිලිමේ තිබ්බ දේව රූප වෙන වෙනම දැක්කේ අද. සමහර දෙවිවරු වළාකුළු විමන් වල. තවත් දෙවිවරු දිව්‍ය රථ වල. සමහර දෙවිවරු අතේ මල් මලා. තවත් දෙවිවරු අතේ දිව්‍ය බෝජන. 
දේව රූප දිහා බලන් හිටපු මට ලොකු හාමුරුවන්ගේ ඇසුත් ඒ විදිහටම පෙන්න ගත්තා. " ඵුට්ටස්ස ලෝක ධම්මේහි - චිත්තන් යස්සන කම්පති....." ලොකු හාමුදුරුවන්ගේ බණ.

වෙසක් එකට අපේ ගමට තොටළඟ තොරණ ගෙනවා. තොටළඟ තොරණ හරි ප්‍රසිද්ධයි. ගමම සැණකෙළියක්. දැන් රෑත් දවාලක්. ළමා සමාජෙන් බීම දන්සලක්. කාන්තා සමිතියයි ක්‍රීඩා සමාජෙයි එකතු වෙලා බත් දන්සලක්. තොරණ දවස් හතක් පෙන්නනවා. විවෘතේට මන්ත්‍රීතුමා ආව. මන්ත්‍රී එක්ක දෙවෙනිත් ආව. දෙවෙනි දැන් හිටියාට වඩා මහතයි. සුදු කමිසයක් ඇදලා. නිල් ඩෙනිමක් ඇඳලා. කමිස අතට පහලින් පිම්බුණ අතේ කළු පාට මල් වැලක්. පච්චයක්. ⁣"ලොකු කෙල්ලේ, දෙවෙනි මේ දවස් හත ගෙදර නවතිනවා කියන්නේ, ගිහින් කාමරේ අස් කරලා දලා ඉක්මනට වරෙන් වැටිලා නිදා ගන්න ඕනැයි කීවා." 

"ඔය ඇත්ති මේ කලබලේ කොහේ යන්නේ." මම හැරුණේ ඒ හඬට. මී මැසී ඇස් තියෙන කණ්ණාඩියක් ඇස් වලට දාලා. කැප් තොප්පියක් ඔළුවේ. කළු කමිසයක්. නිල් ඩෙනිමක්. " අනේ මේ..." 
" කෑ ගහන්න එපා. ඔය ඇත්ති කොහෙද යන්නේ මේ රෑ තනියම" "ගෙදර" "ළඟද" "ඔව් අර පේන දුර" " බය නැද්ද" " ඒ මොකටදැ" " යක්කු ඇති... යමු" " මට ගියැකි" " පණ්ඩිත නොවි යමු" "මම ආයේ ආපහු එනවා" " මටත් කොහොමත් නවතින්න බෑ." "ඒත් ..."
" ඒත් මේත් මොකද? ඔය ඇත්ති මට බයද?" වෙනසක් නැති බෝසත් හඬ. " නෑ" " එහෙනම් යමු"

වෙසක් අසිරිය පොසෙන් වෙනකම්ම තිබුණා. පොසොන් පිංකම් මලාවත් පිල්ලෑව පිරවණේ ජයටම තිබුණා. ඇහැළ වලට ධර්ම දේශන මාලාවක් යෝජනා වෙලා තිබුණා. පහු ගිය පෝය පිංකම් වලට එහෙට මෙහෙට දුවපු මට ඇහැළ වෙද්දි නැගිටින්න බැරි තරමට අසනීප වුණා. " මදැ පිංතකා රැ දවල් නැතුව නැහුනට" මාලක්කා ඇන්ද නැති ලී පුටුවේ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන කියනවා. ඉස්සර ගත්ත සරළ ඉංශ්‍රීසි පත්තරයක් පෙරළ පෙරළ . පත්තරේ ඉස්සර පිටුවේ ඉන්න කෙල්ල ඉදන් ඉන්නේත් මාලක්කා ඉන්න තාලෙට. " හව් අයි ෆිල් .... " මාලක්කා පත්තරේ අතරින් පතර තියෙන සිංහලෙන් ලියපු ඉංශ්‍රීසි කියවනවා. මමත් මෙච්චර කල් කියෙව්වේ සිංහලෙන් ලියලා තියෙන ටික. මාලක්කායි දෙවෙනිගෙයි පයිරුපසානම ගැන දන්න විත්තිය කියන්න ඕන උනත් ඔළුවේ කැරකිල්ලයි, ඔක්කාර ගතියයි හින්දා කට වහගෙන එහෙමම ඇස් පියා ගත්තා. 

" හිච්චියෝ ඔය සුදු රෙද්දක් අරන් වර, පිල්ලෑවේ ලොකු හාමුදුරුවෝ වාහනේ වඩිනවා." කළු පාට ඉබ්බා කාර් එක ගෙදරට එනවත්, ආයෙම යනවත් කාමරේ ඉදන් මම අහගෙන. කාර් එක ගිහිනුත් ඉවර නොවුන කතාව ගේ ඉස්සරහා. තෝන්තුවාවෙන් හිටපු මම හිමින් හිමින් ගේ ඉස්සරහට ගැටුවා. 
" චන්දරේ" මම හිටි තැනම නැවතුනා. චන්දරේ ඔළුව ඉස්සුවා. මගේ දිහා බැලුවා. ආයෙමත් බිම බලා ගත්තා. " ඒකිත් ඇලිසාගේ ගැණි වගේම මහ සක්කරවට්ටම, ඔය දිගේ පටන් ගන්නකොටම මම හුනා කියන්නැහේ කිව්වා දොලොස් මාසයක් ඕකි එක්ක එක වහළක් යට හිටියොත් ම ඇතිය කියලා." තාත්තා කිව්වේ චන්දරේට බුලත් පෙට්ටිය දෙන ගමන්. අම්මා හිටියේ උළු වස්සට හේත්තු වෙලා.චන්දරේ පිල උඩ වාඩි වෙලා විටක් එ්දන්න ගත්තා. අම්මයි තාත්තයි ගෙට ගියා. මම චන්දරේ ලගින් වාඩි උනා. බුලත් පෙට්ටිය අරන් විටක් ඒදුවා. චන්දරේගේ අතේ ගුළි කළා. කට පැත්තකින් පෙරුණ බුලත් කෙළ පිහදාගෙන චන්දරේ බුලත් හපේම ගිල්ලා.

මෝල්ට් පැකට් එක මේසේ උඩින් තියලා චන්දරේ බෝ පත් නළලත් තිබුණ පොඩි එකාගේ නළල අත ගානවා. තනේ බදාගෙන උර උර හිටපු පොඩි එකා නිල් පාට ඇස් ලොකු කරලා චන්දරේ දිහා බලනවා. " මම පිල්ලෑවේ යනවා. ලොකු හාමුදුරුවෝ ඇවිත් යන්න කියලා පණිවිඩයක් එවලා. බඩු මොකුත් දෙන්න මයේ හිතේ" ආයෙමත් පොඩි එකා තනේ එල්ලෙනවා. චන්දරේ යනවා. මම චන්දරේගේ මයිල් නැති පපුවේ දිග පළල හිතින් මනිනවා. මම සීතා. චන්දරේ දැන් මේ සීතාගේ රාම.

Tuesday, August 29, 2017

සිංහ සීවලි හදක් මට වෙයි

මව් මරා ගෙන උපන් පැල වෙයි
අයියේ උඹ මා සම උනු
උන්ට නැතුවට මහා හෙවණක්
දුන් නුගක් වෙයි අප සතු

නොකීවට මෘදු සිහින් ස්වරෙන්
තාලයට නැලවිලී කවි
ජෝතිගේ සිංදුවක කොටසට
මතකදැයි අපි නැලවුණු හැටී 

ගඟක ගහගෙන ගියත් කිරි කළ
ලේ වලම සුවඳට එතී
අයියේ බඩගිනි වෙච්චි වේලට
ඉරුවේ තාත්තගේ තන්පුඬු

වේල ඇර වේල කෑවේ
තාච්චියේ කර වුණ රොටී
ඒත් පදමට රහට තිබුණේ
මුහු වෙච්ච හින්දායි දා බිඳු

අයියේ කාශ්‍යප ලෙසින් වෙස් ගෙන
ඉල්ලද්දී වස්තුව මහ උර පලා
කොහොම අමතක වුණා දැයි එය
තාත්තගේ, සතර මහ වස්තුව අපි

වාරු නැති දෙපයට උනත් අද
නොපාගා කිරල බිත්තර රක්නා හැටී
මහා බෝසත් කෙනෙක් ලඟවත්
ඇද්ද ගුණ නම් ඔය හැටී

අාන් අර හිඳුන වැව ළඟ
තාත්තා අැති ගොම්මනේ
ගිහින් බලපන් ඇස් දෙකේ ඇති
වැවම පිරෙනට කඳුලැලී

අයියේ උඹ හට වචන තිබුණට
කඩු කිණිසි හා සම වුණු
සිංහ සීවලි හදක් වෙයි මට
තාත්තා ගැන ගැඹුරැති

Monday, August 21, 2017

නුඹ ; මම

අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්

එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්

තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද  හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන

පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම


Thursday, August 17, 2017

ඔබ


ජීවිතය කවියක්ය ඔබ කියූවේ එහෙම
මෘදු ස්වර තාලයක ගැට ගැසුවේත් ඔබය

මඳින් මද මඳින් මද එළිවැටද බිඳ දමා

ගිනි තබා කවිය අරුත්සුන් කළේ ඔබය

මහද ගැඹුරුම තැනක් සිප ගනී යැයි සිතා
අතැර යන කවි පංති අතින් පොඩි කර හරිමි

හිතින් මැන බලන්නට ඉතිරි නම් තවත් කවි

ඉඩක් දෙමි සැඩ හිරුට ලතෙත් බව වියළන්න

මහා කන්දක සිරස නැඟ එක්ව ගිමන් හැර
නික්මෙද්දී ඔබ තනිව සඳ අතින් තුරුළු කර

ඉකි බිඳුම් මන්ද්‍ර තනු ස්වරයක ගලපමින

ලිහිණියක අත තියමි මේ කුළට දෙනු පිණිස

ඔබ යද්දි විජිතයට කැඳවාන සඳ රැජිණ
දුර්ග මඟ අඳුරු තැන තනිව මම නතර වෙමි

කදෝකිමි පියඹාන ආවොතින් එළිය ගෙන

ගිණි හුළින් දැවී ගිය නෙත් අඳුන් පෙන්වමිය

ඔබ දිනෙක කී පරිදි මම මහා සයුරක්ය
චණ්ඩ සිඳු රැළි මතින් වෙරළ වෙත පහත් වෙන

ඔබ නොදන්නේම කොහොම සයුරු හද නිසසලය

සුන්දරයි කියන හැමදේ සැඟව ගත්තේම එහිය

දිනෙක ඔබ මා අතර දළුදමා වැඩෙන්නට
ඉතිරි නොකරමි බිඳක් ප්‍රේමයේ මාත්‍රා

ඔබේ හුස්මක ගිලුණු මා හෘද ස්පන්දනය

කැබැලී කර විසි කරමි තරු අතර රැදෙන්නට

ඉතිං නොනැවති මඟ යන්න සමුගෙන යන්න
කළු වලාකුළු හිතේ නැඟුණොතින් දිනක ඔබ

එළිය දී සනහන්න පහන් තරුවට ළඟම

තවත් තරු තබා ඇත මගේ නෙත් වගේම වු

Monday, August 14, 2017

පාඨක අදහස් 1° සුසූම් නාදුනන අප දෙදෙන

 උපේක්ෂා වැඩියෙන්ම ලියන්නේ කෙටි කවි.කවිය කෙටියි, නමුත් අරුත දිගයි;වෙරළු ඇටයක් වගේ හුඟ වෙලාවක් සුප්පු කරකර ඉන්න පුළුවන්; චුවිංගම් එකක් වගේ ඒ පැත්තට මේ පැත්තට දමදමා හපහපා ඉන්න පුළුවන්. මුලින් දැනෙන රසය නෙමේ ටිකකින් දැනෙන්නේ.ටිකකින් දැනුන රසය නෙමේ පසුව දැනෙන්නේ. 
එ්කයි උපේක්ෂාගේ කවිවල රහස; කොටයි, රසයි.

එහෙම කියන්නේ රසිකා ගුණවර්ධන සූසුම් නාඳුනන අප⁣ දෙනන කාව්‍ය කෘතියට පෙරවදන සපයමින්. පොත ලියනනේ උපේක්ෂා ප්‍රේමතිලක. 

ටී.එච් බැරට් කියන විචාරකයා හයිකු කවිය එක් තැනක Less is more වශයෙන් හඳුන්වනවා. මට උපේක්ෂාගේ කෙටි කවියත් බැරට්ගේ ඒ කුඩා අර්ථ දැක්වීමේ පොඟවන්න පුළුවන්. රසිකා කිව්වා වගේම 
කවිය කෙටියි. අරුත දිගයි. 



පාඨකයෙක්, රසවිදින්නෙක් විඳිහට මම උපේක්ෂාගේ කවි වලට අරුත් දෙන්න මේ සටහන ලියන්නෑ. මොකද රසිකයෙක් විදිහට මම දෙන දුර්වල අරුතින් සුසූම් නාඳුනන අප දෙනෙන අවධානමක වැටීමෙන් මම උපේක්ෂාව ගලවා ගත යුතු නිසා. ඒ වගේම මම විශ්වාස කරනවා උපේක්ෂා කවි ලියන්නට ඇත්තේ නිශ්ශබ්දව කියවීමට කියලා. ඒ වීශ්වාසයත් එක්ක මම නිහඬව කියවපු විදපු කවියක්.


       

ඒ හරියටම දහසය වෙනි පිටුව. අතක වයින් වීදුරුවක් නොමැතිව මත් වුණ මම පිටු කිහිපයක් ඉක්මණින් පෙරලන්න කැමති. ⁣ඇත්තටම මේ එහෙම වුණ හතර වෙනි වතාව. මම එයින් කියන්නෑ මම සූසුම් නාඳුනන අප දෙදෙන හතර වතාවක් කියවු බව. ඇත්තටම මම එහි සෑම කවියක්ම කියවුයේ එක් වතාවයි. ඒත් මේ කියන කවි දැනට හතරවතාවක් හෝ ඊට වැඩි වතාවක් කිය වු ඒවා. ඉතිං මම කවි කිහිපයක් මඟ හැර නවතින්නේ තිස් තුන් වෙනි පිටුවේ මගේ දකුණු අත පැත්තට බරව ලියවුණු මේ කවිය ළග.















     

එක පාරක්ම කියවපු ගමනින් මතක හිටිය උපේක්ෂාගේ කෙටි කවියක්, මම කවිය ඇත්තෙන්ම මෙහි ලියන්නේත් මතකයෙන්.

• නුපුරයක් පාර පනියි
හදවතේ මිණි සෙලවෙයි

මට කියන්න අවශ්‍ය ඇත්තටම එහි ඇත්තේ වචන හයක් පමණක් බවයි. ඒත් ඒ වචන හය මට පැය තුනකට වැඩි සිනමා පටියක් දක්වා දිගු සිතුවිලි පටියක්. සුසුම් නාඳුනන අප දෙදෙන කියවලා ඇති ඔබ හා කියවා නැති ඔබ මම දන්නැ හරියටම ඒත් ඔබ ආදරය කරන වචන හයක් වේවී එය. 


    
      



 වෙස් මුණ ඇතුළේ
හිටපු අපේ තාත්තා

බෝල වැතිරුණු ඇඳුම් අදින තාත්තෙක් විතරක් නෙමෙයි හැම තාත්තෙක්ම ඉන්නේ වෙස් මුණක් ඇතුළේ කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි තාත්තලා ආදරය හංගන වෙස් මුණ. මහන්සිය හංගන වෙස් මුණ. දහදිය හංගන වෙස් මුණ. ඒ විතරක් නෙවෙයි සැරයි, තදයි කියලා පෙන්නන වෙස් මුණ. ඒත් ඒ වෙස් මුණ දාගෙන ඉන්නෙත් වෙස් මුණ ගලවලා ඉන්නෙත් තාත්තා කියන මේ ලෝකේ සුන්දර ම මනුස්සයා කියලා හිතන හින්දා උපේක්ෂා හැට එක් වෙනි පිටුවේ ඒ අපේ තාත්තට...... මම හදවතින්ම ප්‍රේම කරනවා.

මේ ඊටම ලඟම තියෙන දිග කවි පොකුරේ කවියකින් කොටසක්.

• තැනිතලාවක ඉන්න 
උඹ දන්නෙ මොනවද කන්ද ගැන?
සීතලට උසට ඉන්න පුළුවන් කියලාද?
සීතල කියන්නේ කාස්ටකකමටමයි රමණි
අපේ ජිවිත වගේම


මම හදන්නේ මේ ලියවිල්ල ඉවර කරන්න. ඒත් ඊට කලින් පනස් තුන් වෙනි පිටුවේ ස්වාමිනි, කවිය මතක් උනා.



• ආදරේ ගැන තුන් හිතකවත්
තිබ්බේ නැ මට
වාඩිවෙනකම් මෙතන


මේ කවිය දිගයි. මේ සටහන ඉවර කළ යුතු නිසා සම්පුර්ණ කවිය මෙහි දැක්වීමට මගේ අදහසක් නැහැ. ඉතිං ඔබ එය කියවන්න. 

• ස්වාමිනී,

සම්පුර්ණ වැරදිකරු

මෙන්න මේ බංකුව
   
    

    
කවියක් කියන්නේ සහෘදයින් තුළ වින්දනයක් ඇති කළ ⁣යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. එ් වින්දනය අතරින් මගේ භාවයන් මැන එක් තැන් කළ කවියක්.

• පිරිමැද කැලලි පහනක
අලුත් කැලලක් දෙයි පහන්තිර

කෙටි කවි හා දිගු කවි පොකුරු හතලිස් අටකින් සුසුම් නාදුනන අප දෙනන තුළින් සහෘද සිතකට ලබා දෙන ප්‍රහර්ෂය ලබා දෙන්න මේ වචන සමත් නොවන බව මම දන්නවා. ඒත් ඔබ සුසුම් නාඳුනන අප දෙදෙන කියවාවී මොකද උපේක්ෂා විසි හත්වෙනි පිටුවේ ලියා තබන කවිය වගේම

• සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර


කවියක හැඩය ජිවිත විවරණය කිරීම යැයි සිතන පාඨිකාවක් වන මට ජිවිත වලින් බැහැර අජීවි වස්තුන් ද එකතු කරගෙන කහ පැහැති කොළ වල ලියවුණ මේ කළු පාට කෙටි හා දිගු කවි අකුරු අළු පැහැති කවරයක දමා සුසූම් නාඳුනන අප දෙදෙන ලෙසින් අතට පත් කිරීම ගැන උපේක්ෂා ඔබට ස්තුතී. 

Saturday, August 12, 2017

අගෝස්තු එකොළොස් වෙනි සිතුරාදා

ඔබ දන්නවා ඇති. මම තාමත් එහෙමයි.  ඉස්සර වගේම මම දුවන්නෑ. හති වැටෙයි කියලා බයට නෙවෙයි. මට දුවලා පුරුදු නෑ. ඔබට වගේ දිග පියවර තියන්න මට හුරු නෑ. ඔබ දන්නවා ඒක.

තාමත් මම කෙටි පියවර තබමින් ඇවිදිනවා. ඔව් විටෙක නවතිනවා. නෑ ඒ ඉස්සර වගේ කෙටි විරාමයක් නෙවෙයි.  ඔබ හිතනවාටත් වඩා දිගුයි. ඒ විරාමේදි මම දිගු සුසූමක් පිට කරනවා. ගැඹුරු හුස්මක් ගන්නවා. ඔව් ඒ ඔබ දැන උන්නු විදිහටම. තාමත් හැමදේම හැමදාම ⁣වුණ විදිහටම සිද්ධ වෙනවා. ළඟ නැත්තේ ඔබේ සිනහාව විතරයි. නෑ මට එහි අඩුවක් දැනේනවා. ඔබ හිතනවාටත් වඩා හිස් බවක්. ඔබ නොදන්න එක දෙයක් තියෙනවා. සුසූමක් ඒ තරම් දිගු වෙන්න එය එක හේතුවක් කියන එක. ඔබට හිනා වෙන්න පුළුවන්. අකමැත්තක් නැත්නම් මම කැමතිම විදිහට. ඔබට පුළුවන් ද ඒ ඉල්ලීම මතක තියා ගන්න.

මම නැවතුන තැනතින් ගමන පටන් ගන්නේ පියවර මනිමින්. ඊට පස්සේ කෙටි පියවර කිහිපයක්. නෑ දිගටම කෙටි පියවර මතින් ඇවිදින්නෑ. ඔබ නොදන්න පුරුද්දක් දැන් මට තියෙනවා. දන්නවාද කෙටි පියවර දෙක තුනකට පස්සේ මම ආපහු හැරිලා බලනවා. නෑ ඔබ හිතුවා වැරදි. මා පසු පසින්විත් මා පසු කර යන්නවුන් පිළිබඳ මට වගක් නෑ. ඒක ඔබ හොඳටම දන්නවා. මම එහෙම පුරුදු උනේ සමාන්තරව අැවිදපු ඔබව මඟ හැරුණ තැන ඉඳන්. මම දන්නෑ අැයි ඒක ඔබට නොතේරේන්නේ කියලා.

නෑ එහෙම හැරුණ එක දවසකවත්, එක මොහොතකවත්, තත්පරයකටවත් මට ඔබව මගේ අැස් වලට හමු වුණේ නෑ. ආයෙමත් පියවර මනින්න පටන් ගන්නකොට මම හිතුවා ඔබ යන්න ඇති කියලා මාව පහුකරගෙන. ඔව් ඔබ  කැමති දිගු පියවර තියන්න. හති වැටෙනකම් දුවන්න. මතකද ඔබේ එක දිගු පියවරක් හා සමාන වන්නට දවසක මට දුවන්න උනා. සමහර විට ඔබට අමතකව අැති. අපි මඟ හැරුණේ එදා. ⁣මම හැන්දෑ වෙනකම් ම දිව්වා. මට හොඳටම හති වැටුණා. ඒත් අපි ට අපිව මඟ හැරුණා. ඔව් මම පුරුදු විදිහටම උත්සහය අත ඇරියා. ඔබ දන්නවා එ් තමයි මගේ විදිහ.

නෑ මම කල්පනා කරනවා. ඔබ මා පසු කර යන විටක ඔබ ව නොදුටුවේ අැයි කියලා. නෑ ඔබව නවත්තන අදහසකින් නෙවෙයි. ඔබේ වේගය දකින්න විතරයි. විඩාවක් නැති හිනාබර මුණ දකින්න විතරයි. එත් ඔබ මා පසු කර යන විට මට ඔබව නැවතත් මඟ හැරෙන්න ඇති. ඔව් මම දැන් පුරුදු වෙලා මේ තබන කෙටි පියවර වලදීත් අැස් බිමට බර කරගෙන ඉන්න. නෑ ඔබ දන්නවා වැස්ස වේලාවකදි මට එහෙම ඉන්න බෑ කියලා. මම ඒ වෙලාවට බය නැතුව ඔළුව උස්සනවා. මම තාමත් අකමැතියි ඔබ අැරෙන්න වෙන කවුරුත් මගේ කඳුළු දකිනවාට. ඔබ ඒක දැන ගත යුතුයි.

ඔබ ඉන්න තැනට වැහි වැටුණාට මම ඉන්න තැන හිත් දවාලන ඉර එළිය විතරයි. ඔව් ඔබට හිතන්න පුළුවන් දැන් මම ඇස් ඉහළට ඔසවන්නේ ආපසු හැරෙන්න විතරයි කියලා. ඒත් ඒ ඔබේ සෙවණැල්ලක් හරි හොයන්න විතරයි.

නෑ මට තව හුඟාක් කියන්න දේවල් නෑ. මේ ටික අහන්න.

ඔබ මා පසු කර නම් මම ඔබව ඇහැ ගැටෙන මානෙට එන තුරු නවතින්න.
ඔබ මා පසු පස නම් දිගු පියවර තබා මා ඇහැ ගැටෙන මානයට දිව එන්න. මා හැරෙන තුරු ඉන්න.

මම ඔබව නවත්තන්නෑ. හැමදාම ඔබට උන පොරොන්දුවක් ඒක.
ඒත් ඔබ දන්නවා මට ඔබව දකින්නට උවමනා බව. එක වරක් ජිවිත කාලයටම.


FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...