Monday, June 15, 2020
මට පුදුම
Thursday, June 4, 2020
මැයි විසි නව වෙනි සිකුරාදා - 2020
පැටි වියේ ආදරවන්තයාට ආදරයෙන් ලියමි.
ඔබ අද මා ළඟ ද නැත. ඔබ අකාහේ කොහේ හෝ තැනක තරුවක්ව නිවෙන දිලෙන බව ඇදහිමට තරම් මා කුඩා වූ වයසක උවේ නම්, අද ද රෑ අහස දෙස බලාගෙන ඔබ සිටින ඉසව්ව කොතනදැයි සෙවීමට දෑස් වෙහෙස වීමට තිබුණි. එහෙත් ඔබ ඉන්නා තැනක් ගැන කුඩා ඉඟියක්වත් ඔබ ඉතිරි කර ගොස් නැත. ඔබ ඉතිරි කර ඇත්තේ මතක ගොන්නක් පමණී.
මා වඩා ගෙන සිරිපාදය නැග්ග මිනිසා ඔබ ය. අතින් බිම නොතියා උඩට යනකම් වඩා ගෙන ගිය බව යම් සැදෑවන් වල අම්මාගේ මතක ආවර්ජනයේ දී නිතර කියැවෙන්නකි. එය මතකයේ රදවා ගැනිමට තරම් මේරු හිතක් මට නොතිබුණත්, ඔබේ උරහිසේ වාඩීලා පොකුටු කොන්ඩය දෑතින්ම මිරිකා වත්ත කෙළවරට ම පොල් ගස් අතරින් ඇවිද ගිය අයුරු මට මතකය. බුලත් කෙල පිරුණු මුවින් කම්මුලක තැබු හාදුත්, රැවුල් පිරුණු මුහුණින් කිති කවමින් කම්මුලක තැබු හාදුත් මට මතකය.විටෙක මා හැදු මිනිසා ඔබ ය. එක අතකින් මිදි පොකුරකුත්, තව අතකින් රට කජු මල්ලකුත් ගෙන ඔබ එනවා මට මතකය. රට කජු තලන මට ඔබ සිනාසෙන හැටි මතකය. හරි හැටියට අම්මාගේ කිරි ඇදීමට නොහැකි වූ මට අඩුවක් නොවන්නට ඔබ ටින් කිරි ගෙන ආවා මතකය. බඩ පිරුණු විට මා සිනා සෙන බව ඔබ දැන සිටින්නට ඇත. ඔබ ඒ සිනාවට කැමති වන්නටද ඇත.
තවත් විටෙක සතුටේ උල්පත ඔබය. ගොම මැටි ගෑ ගෙදර පාළුව නැසු මිනිසා ඔබය. අසන්නට හෝ බලන්නට රෝඩියෝවක් හෝ රූපවාහිනියක් නොතිබු කලක ඔබගේ කතාවෙන් හා සිනාවෙන් පමණක් ප්‍රීති වන්නට පුරුදු වි සිටි හැටි මට මතකය. පුවක් අත්තක මා හිදුවා සුදු වැලි පිරුණු මිදුලේ එය දෑතින්ම අල්ලා හති වැටෙන තුරුත් ඇද්ද හැටි මට මතකය.මගේ කුඩා වියේ විරයා හා ආදරවන්තයා ඔබය. යමක් කිරීමට බියක් නොතිබු මිනිසා ඔබය. අවුරුදු පහ හයක් වෙද්දී තැපැල් නයින්ටිය පදින්නට කියා දී, සිනා සී බලා සිටි හැටි මට මතකය. කවුරුන් බැන වැදුනත්, ඉන් නොනැවතී, ලැම්මාස්ටරයේ සිට ලොරිය දක්වා පැදවීමට කියා දුන් හැටි මතකය. ඔබෙන් හුරු වු දෑ හා ඉගෙන ගත් දෑ බොහෝය. ඔබ මගේ ගුරුවරයකුද විය. නොදී ප්‍රමාද වු ගුරු පඬුරු වෙනුවෙන් මෙසේ ලියමි. කුඩා කල මා ඔබට ආදරය කළ තරමටම, පසුව ආදරය පෙන්වීමට තිබු කාලය මඟ හරවා ගැනීම ගැන මම මටම දොස් පවර ගමි.
ඔබ ආදරයෙන් පිරුණු මිනිසකුව සිටි හැටි මට මතකය. ඔබ ආදරය කරන්නට දැන සිටි මිනිසකුව උන් අවධිය මට මතකය. ඔබ ආදරය ලබමින් සිටි කාලය මට මතකය. ඔබට ආදරය කළ උන් ද මට මතකය. ඔබ ආදරය කවදාක අත හැරියෙදැයි මම නොදන්නෙමි. ඔබට ආදරය කරන්නෝ ඔබ ලඟ නොසිටියේ දැයි මම නොදන්නෙමි. ඔබට ආදරය නොලැබුණේදැයි ද මම නොදන්නෙමි. ඔබට ආදරය නොදුන් උන් ගැන ද නොසොයන්නෙමි. ආදරයෙන් ළඟින් හිද පියවරෙන් පියවර වැඩෙද්දී බදා ගෙන සිටි ඔබව දෑතින් ගිලිහී යාම පිළිබඳව පමණක් සිතින් තැවෙමි. මහළුව බැරි උනාම දණ ගාද්දී ඇවිදින්නට අත දුන් වන්දිය ගෙවීමට සිතා සිටි බව ඔබ දන්නේ නැත. මේ මොහොතේ ඔබව බදාගෙන පුරුදු ලෙසට උරහිසක් හපන්නට ඇත්නම් යැයි සිතෙන්නේ ද ඔබට ලංව හිඳිමට කාලයක් සොයා ගැනීමට ඉඩ නොදී ඉඟිල ගිය නරුම වේලාවන්ට ද දෙස් දොවොල් තබමින්ය. කිසිම දවසක ඔබවත්, ඇයවත් අත හරින්නට එපා යැයි කියන අම්මාගේ වචන සිහි තබා ගෙන සිටි බව ඔබ දන්නේ නැත. දැන් අඩුවක් ඇත. එහි තවදුරටත් ඔබේ නම කියවෙන්නේ නැත. මම සදා ගත් කුඩා වු මගේ ලෝකය තවත් කුඩා කරමින් මා අතැර ගිය ආදරවන්තයා ඔබය.
කාලය නපුරු ප්‍රේමයට පමණක් නොවන බව දනිමි. එහෙත් ඔබට මට අපව අහිමි කලේ ද කාලයය. ජීවිතය මහ පුදුමය යන්න වඩාත් හොඳින් අද ඔබ කියා දී ඇත. මීටත් වඩා ජිවිතය ගැන දරා ගත හැකි කථාවක් නොතිබෙන්නට පුළුවන. ඉගෙන ගත හැකි තැනක් නොතිබෙන්නට පුළුවන. මද සිනාවෙන් වැතිර සිටි ඔබගේ මුවේ වු මන්දහාසය අමතක කළ නොහැකිය. ඔබේ ජිවිතයේ ඉතිරිය ඒ සිනාව පමණක් බව දනිමි. ඔබ සිනාව දුන් මිනිසෙකි. සතුට බෙදු මිනිසෙකි. තනිව දරා ගත් මිනිසෙකි.
සියල්ලන් ඔබට චෝදනා කලත් එවිට මම නිහඬ වෙමි. ඔබ වැරදි යැයි කියන තැන් වලද නිහඬ වෙමි. කවුරුන් කෙසේ කීවද ඔබ ආදරණිය මිනිසෙකු බව මගේ මතකය මට සාක්ෂි දරමින් තිබේ. ඔබ ඒ ආදරණිය බව ඉවත ලු බව දනිතත් එයට ඔබ වැරදිකරුවකු බව මම නොසිතමි. ඔබ වෙනුවෙන් වචන ගැලපීම අමාරු දෙයකි. මතකයන් තුළ පමණක් ඔබව රදවා ගන්නට නොහැකි නිසාවෙන්ද, හදවතේ වු වේදනාව පිට කර ගැනීමේ අටියෙන්ද අද ඔබට ලියමි. එහෙත් ඊටත් කලක මම ඔබ ගැන ලියමින් සිටියෙමි. ඔබ පොතක් ලිවිය හැකි තරමේ මිනිසෙකි. කථා පිරුනු සාගරයකි. එයින් ඔබ එක් වචනයක් හෝ කියවුවා නම්,
කෙසේ උවද ඔබ අද අපව හැර ගොසිනි.අම්මාගේ එකම සහෝදරයා වු ඔබ මගේ එකම මාමා වු ඔබ, අද නික්ම ගොසිනි.සහෝදරියන් හතර දෙනෙකුට එකම සහෝදරයා වු ඔබ, දු පුතුන් හත් දෙනෙකුට එකම මාමා වු ඔබ නික්ම ගොසිනි.ඔවුන්ගෙන් වැටෙන කඳුළු හා ශෝකය මුසු පුවත් මෙන්ම හසරැලෙන් පිරෙන ඔබ ගැන මතකයන් මම අසා සිටින්නෙමි. ඔබ හොර රහසේම, තනිවම කොහෙදෝ යන්නට සිත හදා ගන්නේ, අප නොසිතන මොහොතකය. ඔවුන් එය දරා ගන්නා හැටි ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම්, ඔබට ඔබේ හිතුවක්කාරි තිරණ ඉවත දමන්නට සිතෙන්නට පුළුවන. ඔවුන් ඔබව සිහි කරන අයුරු ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම් ඔබ ට ආදරය කරන හිත් දමා යන්නට සිතන්නේ නැත.
ඒ සියල්ල ඔබට අමාරු වන්නට ඇත. ඇත්තෙන්ම සියල්ල ඔබට අමාරුවන්නට ඇත. ඉවසීම ඔබට අමාරු වන්නට ඇත. තව දුරටත් දරා ගැනීම ඔබට අමාරුවන්නට ඇත. තව තවත් දුක සැඟවීමත්, නිතර සිනා සීමත් අමාරුවන්නට ඇත. ඔබ සියල්ල අත අරින්නට සැලසුම් කරන්නට ඇත. ඔබ ජිවිතය අත අරින්නට සිත හදා ගන්නට ඇත. ඔබ සැනසීම සෙවු තැනින් මාගේ ලෝකයේ නපුරුම දුෂ්ඨයා බිහිවු බව ඔබ දන්නේ නැත. මාමේ, ඔබ සියල්ලන්ටම වඩා නපුරු දුෂ්ඨයෙකි. එසේ නොවේ නම් ඔබ අපව රිද වන්නේ නැත. ඔබට නිවන් සුව යැයි මට කිසි විටක පැවසිය නොහැක. දුෂ්ඨ නපුරෝ, පුළුවන් නම් ආයෙම එන්න. එනකොට මගේ කුඩා කළ විරයා සහ ආදරවන්තයා පමණක් රැගෙන එන්න. අපව රැවටු බව කියමින් පුරුදු විදිහට හිනා වෙන්න. ඒ හොඳටම ඇති.
Sunday, May 24, 2020
මතක අතරේ හිදින්නම්
Tuesday, May 19, 2020
මැටි කොරහ
Saturday, May 16, 2020
පිටු අතර
Thursday, May 14, 2020
මා කියවු ගැහැණු හිත් - ෆ්‍රීඩා කාලෝ
![]() |
| ෆ්‍රීඩා කාලෝ 1907 - 1954 ( 47) |
කඳුළු බිදකින් තෙමා සෙවණැල්ල මත අතුරමින්
ගිලිහී යන්නට නොදී සුසූමත් ඒ මතම තවරමින්
කොයිතරම් අපුරුද නුඹ : නුඹව මැවුවා සිතුවමින්
තෙවානාවක් ඇදන් පබළු අබරණ දමන්
මල් සුවඳ මල් වරල ගවසා පාට සළු පිළි දරන්
ලොවට දක්නට දෑස තවරා ප්රීතියේ නෙක අඳුන්
කාලෝ පුදුමයි පිස දැමු හැටි රිදුම් නුඹගේ හිතින්
පැතුව පිවිතුරු ප්රේමයේ ලොව අහිමි වී ගිය බැවින්
සිතක් සතපා ගන්න දේදුනු වර්ණ මැද තනි වෙමින්
කම්පිතව හිත සැලෙන හැටි පින්සලක තවරමින්
සෑබවම සිතුවම් කරපු හැටි ඉන්ද්රජාලික අතින්
පරවියකු හා හස්තියකු අතින් අත බැදුනු විලසින්
නුඹෙත් ඔහුගෙත් දිවි බැඳුනි කඳුල හා මුහු වෙමින්
කිරි සිනහා දකිනු වස් පැතු සිහිනයත් බොඳ උනෙන්
කාලෝ එතරම් දැරිය හැකි වේද ගැහැණු හිතකට උනත්
සතුට රැඳුනේ නික්ම යාමෙයි ඉතිං නුඹ සිතු බැවින්
යළිත් මෙහි විත් සිතුවම් අඳින්නට හිතක් නොතිබු බැවින්
දින පොතක ලියා එලෙසින් විලස නුඹ අවසන් වදන්
කාලෝ සමු ගෙන ගියේ සූසුමන් සගවගෙන සිය හිතින්
කැඩී බිඳුනට කොමළ ලිය වත
හිතක් ඒ ලෙස නොකැඩෙනා බව
පසක් කළ ලොව දිදුල ගැහැණිය
වේදනාවෙන් මියැද යළි ඉපදෙමින්
Wednesday, May 13, 2020
පළතුරු වෙළෙන්දී
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
-
දවස, දවස ගෙවෙද්දී සතිය, සතිය ගෙවෙද්දි නිකම්ම මාස, අවුරුදු බවට පත් වෙලා ගෙවිලා යනවානේ. හැබැයි ඉතිං නිකම්ම නෙවෙයි ගෙවිලා යන්නේ, ඔය අතර අපිත්...
-
අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එ...
-
මතකද ? එදා , එකම එක දවසක් නිහඩවම මම කවි ලිව්ව බව හරියටම මේ රෝබරෝස , පැහැයගත් නුඔ හිත ගැන මතකද ? තවත් , එකම එක සැදෑවක නිහඩවම න...



