මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, June 15, 2020

මට පුදුම


මට පුදුම ; අදත් ඔබ,
එතැන එලෙසම මඟ බලන්ඉන්නෙකට
වසා ගත් මුවින් මද සිනා වපුරන එකට

මට පුදුම ; අදත් ඔබ,
මහ රෑක අහම්බෙන් සිහින නොදකින එකට
යාම තුන නිදි නැතුව කවිම ලියනා එකට

මට පුදුම ; අදත් ඔබ,
වතාවක් එක එන්නයැයි නොකියන එකට
ආවොතින් නවතින්න ඉඩ තබා ඇති එකට

මට පුදුම ; අදත් ඔබ,
මුසලම සෘතුවක තුහින පිහදන එකට
වස්සාන සෘතුවක පැහැය සඟවන එකට

මට පුදුම අදත් ; ඔබ,
ඒ අහස මඟ හැරුණු තරු කිණිති හොයනෙකට
එයත් දැන දැනම හඳට මා මුවා වී ඉන්නෙකට


Thursday, June 4, 2020

මැයි විසි නව වෙනි සිකුරාදා - 2020

පැටි වියේ ආදරවන්තයාට ආදරයෙන් ලියමි.

ඔබ අද මා ළඟ ද නැත. ඔබ අකාහේ කොහේ හෝ තැනක තරුවක්ව නිවෙන දිලෙන බව ඇදහිමට තරම් මා  කුඩා වූ වයසක උවේ නම්, අද ද රෑ අහස දෙස බලාගෙන ඔබ සිටින ඉසව්ව කොතනදැයි සෙවීමට දෑස් වෙහෙස වීමට තිබුණි. එහෙත් ඔබ ඉන්නා තැනක් ගැන කුඩා ඉඟියක්වත් ඔබ ඉතිරි කර ගොස් නැත. ඔබ ඉතිරි කර ඇත්තේ මතක ගොන්නක් පමණී.

මා වඩා ගෙන සිරිපාදය නැග්ග මිනිසා ඔබ ය. අතින් බිම නොතියා උඩට යනකම් වඩා ගෙන ගිය බව යම් සැදෑවන් වල අම්මාගේ මතක ආවර්ජනයේ දී නිතර කියැවෙන්නකි. එය මතකයේ රදවා ගැනිමට තරම් මේරු හිතක් මට නොතිබුණත්, ඔබේ උරහිසේ වාඩීලා පොකුටු කොන්ඩය දෑතින්ම මිරිකා වත්ත කෙළවරට ම පොල් ගස් අතරින් ඇවිද ගිය අයුරු මට මතකය. බුලත් කෙල පිරුණු මුවින් කම්මුලක තැබු හාදුත්, රැවුල් පිරුණු මුහුණින් කිති කවමින් කම්මුලක තැබු හාදුත් මට මතකය.විටෙක මා හැදු මිනිසා ඔබ ය. එක අතකින් මිදි පොකුරකුත්, තව අතකින් රට කජු මල්ලකුත් ගෙන ඔබ එනවා මට මතකය. රට කජු තලන මට ඔබ සිනාසෙන හැටි මතකය.  හරි හැටියට අම්මාගේ කිරි ඇදීමට නොහැකි වූ මට අඩුවක් නොවන්නට ඔබ ටින් කිරි ගෙන ආවා මතකය. බඩ පිරුණු විට මා සිනා සෙන බව ඔබ දැන සිටින්නට ඇත. ඔබ ඒ සිනාවට කැමති වන්නටද ඇත.

තවත් විටෙක සතුටේ උල්පත ඔබය. ගොම මැටි ගෑ ගෙදර පාළුව නැසු මිනිසා ඔබය. අසන්නට හෝ බලන්නට රෝඩියෝවක් හෝ රූපවාහිනියක් නොතිබු කලක ඔබගේ කතාවෙන් හා සිනාවෙන් පමණක් ප්‍රීති වන්නට පුරුදු වි සිටි හැටි මට මතකය. පුවක් අත්තක මා හිදුවා  සුදු වැලි පිරුණු මිදුලේ එය දෑතින්ම අල්ලා හති වැටෙන තුරුත් ඇද්ද හැටි මට මතකය.මගේ කුඩා වියේ විරයා හා ආදරවන්තයා ඔබය. යමක් කිරීමට බියක් නොතිබු මිනිසා ඔබය. අවුරුදු පහ හයක් වෙද්දී තැපැල් නයින්ටිය පදින්නට කියා දී, සිනා සී බලා සිටි හැටි මට මතකය. කවුරුන් බැන වැදුනත්, ඉන් නොනැවතී, ලැම්මාස්ටරයේ සිට ලොරිය දක්වා පැදවීමට කියා දුන් හැටි මතකය. ඔබෙන් හුරු වු දෑ හා ඉගෙන ගත් දෑ බොහෝය. ඔබ මගේ ගුරුවරයකුද විය. නොදී ප්‍රමාද වු ගුරු පඬුරු  වෙනුවෙන් මෙසේ ලියමි. කුඩා කල මා ඔබට ආදරය කළ තරමටම, පසුව ආදරය පෙන්වීමට තිබු කාලය මඟ හරවා ගැනීම ගැන මම මටම දොස් පවර ගමි.

ඔබ ආදර‍යෙන් පිරුණු මිනිසකුව සිටි හැටි මට මතකය. ඔබ ආදරය කරන්නට දැන සිටි මිනිසකුව උන් අවධිය මට මතකය. ඔබ ආදරය ලබමින් සිටි කාලය මට මතකය. ඔබට ආදරය කළ උන් ද මට මතකය. ඔබ ආදරය කවදාක අත හැරියෙදැයි මම නොදන්නෙමි. ඔබට ආදරය කරන්නෝ ඔබ ලඟ නොසිටියේ දැයි මම නොදන්නෙමි. ඔබට ආදරය නොලැබුණේදැයි ද මම නොදන්නෙමි. ඔබට ආදරය නොදුන් උන් ගැන ද නොසොයන්නෙමි. ආදරයෙන් ළඟින් හිද පියවරෙන් පියවර වැඩෙද්දී බදා ගෙන සිටි ඔබව දෑතින් ගිලිහී යාම පිළිබඳව පමණක් සිතින් තැවෙමි. මහළුව බැරි උනාම දණ ගාද්දී ඇවිදින්නට අත දුන් වන්දිය ගෙවීමට ‍සිතා සිටි බව ඔබ දන්නේ නැත. මේ මොහොතේ ඔබව බදාගෙන පුරුදු ලෙසට උරහිසක් හපන්නට ඇත්නම් යැයි සිතෙන්නේ ද ඔබට ලංව හිඳිමට කාලයක් සොයා ගැනීමට ඉඩ නොදී ඉඟිල ගිය නරුම වේලාවන්ට ද දෙස් දොවොල් තබමින්ය. කිසිම දවසක ඔබවත්, ඇයවත් අත හරින්නට එපා යැයි කියන අම්මාගේ වචන සිහි තබා ගෙන සිටි බව ඔබ දන්නේ නැත. දැන් අඩුවක් ඇත. එහි තවදුරටත් ඔබේ නම කියවෙන්නේ නැත. මම සදා ගත් කුඩා වු මගේ ලෝකය තවත් කුඩා කරමින් මා අතැර ගිය ආදරවන්තයා ඔබය.

කාලය නපුරු ප්‍රේමයට පමණක් නො‍වන බව දනිමි. එහෙත් ඔබට මට අපව අහිමි කලේ ද කාලයය. ජීවිතය මහ පුදුමය යන්න වඩාත් හොඳින් අද ඔබ කියා දී ඇත. මීටත් වඩා ජිවිතය ගැන දරා ගත හැකි කථාවක් නොතිබෙන්නට පුළුවන. ඉගෙන ගත හැකි තැනක් නොතිබෙන්නට පුළුවන. මද සිනාවෙන් වැතිර සිටි ඔබගේ මුවේ වු මන්දහාසය අමතක කළ නොහැකිය. ඔබේ ජිවිතයේ ඉතිරිය ඒ සිනාව පමණක් බව දනිමි. ඔබ සිනාව දුන් මිනිසෙකි. සතුට බෙදු මිනිසෙකි. තනිව දරා ගත් මිනිසෙකි.

සියල්ලන් ඔබට චෝදනා කලත් එවිට මම නිහඬ වෙමි. ඔබ වැරදි යැයි කියන තැන් වලද නිහඬ වෙමි. කවුරුන් කෙසේ කීවද ඔබ ආදරණිය මිනිසෙකු බව මගේ මතකය මට සාක්ෂි දරමින් තිබේ. ඔබ ඒ ආදරණිය බව ඉවත ලු බව දනිතත් එයට ඔබ වැරදිකරුවකු බව මම නොසිතමි. ඔබ වෙනුවෙන් වචන ගැලපීම අමාරු දෙයකි. මතකයන් තුළ පමණක් ඔබව රදවා ගන්නට නොහැකි නිසාවෙන්ද, හදවතේ වු වේදනාව පිට කර ගැනීමේ අටියෙන්ද අද ඔබට ලියමි. එහෙත් ඊටත් කලක මම ඔබ ගැන ලියමින් සිටියෙමි. ඔබ පොතක් ලිවිය හැකි තරමේ මිනිසෙකි. කථා පිරුනු සාගරයකි. එයින් ඔබ එක් වචනයක් හෝ  කියවුවා නම්,

කෙසේ උවද ඔබ අද අපව හැර ගොසිනි.අම්මාගේ එකම සහෝදරයා වු ඔබ මගේ එකම මාමා වු ඔබ, අද නික්ම ගොසිනි.සහෝදරියන් හතර දෙනෙකුට එකම සහෝදරයා වු ඔබ, දු පුතුන් හත් දෙනෙකුට එකම මාමා වු ඔබ නික්ම ගොසිනි.ඔවුන්ගෙන් වැටෙන කඳුළු හා ශෝකය මුසු පුවත් මෙන්ම හසරැලෙන් පිරෙන ඔබ ගැන මතකයන් මම අසා සිටින්නෙමි. ඔබ හොර රහසේම, තනිවම කොහෙදෝ යන්නට සිත හදා ගන්නේ, අප නොසිතන මොහොතකය. ඔවුන් එය දරා ගන්නා හැටි ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම්, ඔබට ඔබේ හිතුවක්කාරි තිරණ ඉවත දමන්නට සිතෙන්නට පුළුවන. ඔවුන් ඔබව සිහි කරන අයුරු ඔබ දන්නේ නම් හෝ දකින්නේ නම් ඔබ ට ආදරය කරන හිත් දමා යන්නට සිතන්නේ නැත.

 ඒ සියල්ල ඔබට අමාරු වන්නට ඇත. ඇත්තෙන්ම සියල්ල ඔබට අමාරුවන්නට ඇත. ඉවසීම ඔබට අමාරු වන්නට ඇත. තව දුරටත් දරා ගැනීම ඔබට අමාරුවන්නට ඇත. තව තවත් දුක සැඟවීමත්, නිතර සිනා සීමත් අමාරුවන්නට ඇත. ඔබ සියල්ල අත අරින්නට සැලසුම් කරන්නට ඇත. ඔබ ජිවිතය අත අරින්නට සිත හදා ගන්නට ඇත. ඔබ සැනසීම සෙවු තැනින් මාගේ ‍ලෝකයේ නපුරුම දුෂ්ඨයා බිහිවු බව ඔබ දන්නේ නැත. මාමේ, ඔබ සියල්ලන්ටම වඩා නපුරු දුෂ්ඨයෙකි. එ‍සේ නොවේ නම් ඔබ අපව රිද වන්නේ නැත. ඔබට නිවන් සුව යැයි මට කිසි විටක පැවසිය නොහැක. දුෂ්ඨ නපුරෝ, පුළුවන් නම් ආයෙම එන්න. එනකොට මගේ කුඩා කළ විරයා සහ ආදරවන්තයා පමණක් රැගෙන එන්න. අපව රැවටු බව කියමින් පුරුදු විදිහට හිනා වෙන්න. ඒ හොඳටම ඇති.

Sunday, May 24, 2020

මතක අතරේ හිදින්නම්

කදුළු බිද බිද එකතු කරගෙන
සුළගේ පා කර හරින්නම්
පිනි පොදක් සේ රෑක ඇවිදින්
නුඹේ නෙත් අග සිඹින්නම්
 
සුසුම් පොද පොද හිතේ ගුලි කර
කවිය මා පද බදින්නම්
ගීතයක් සේ දෙතොල මිමිණේන
මතක අතරේ හිදින්නම්
 
තනුව වී ජිවිතය ගැලපුව සත්සර ම
නොගැයෙනා මෙහොතක
බෝ පතින් නැගි සිලි සිලීය වී
නුඹේ සවනත ගැයෙන්නම්
 
පමා වුව මැන තවත් මොහොතක්
නෙත් පුරා නුඹ දකින්නම්
පිය නගනු බැරි දුරක යන විට
තරු නෙතක් වී මග කියන්නම්
 
 

Tuesday, May 19, 2020

මැටි කොරහ

කළු කබා ඇන්ද දවසට
වළාකුලු මිතුරන්
පන් පැදුරේ ඉඩ මටයි
මැටි කොරහටයි වෙන් වෙයි
 
සීතලෙන් මිරකෙමින් රෑ පුරා සිටියෙන්
මහ පාන්දර පොල් ගීලි මැටි කොරහා විගහින්
බෝල පිටි ගුළි පෙරලෙනා විට රිඳුම් විදගනිමින්
රවයි කේතලේ මල්ලට මැටි කොරහ තරහින්
 
කමිසයේ බොත්තමක් වැරදිලා පියවුණොතින්
තාත්තගේ උරහිසක් උළුවස්සේ හැප්පුනොතින්
අඩි දෙකක් දුර යද්දී කකුල පැටලීලා වැටුනෝතින්
මැටී කොරහා බිම නිදාගෙන ඇති පිළි කන්නටත් එහයින් 
 
පිස දමා කට වටේ වැලි පස් ද කුණුදැල්
දැලි වැකුණු චීත්තෙන් තවරලා හාදු වැල්
මැටි කොරහා ගෙට වඩී බැදන් ඈ අත්වැල්
මට පෙනෙයි කට වටේ මැටි සිනහා දුක් මල් 
 
මාතලේ කන්ද බහින තැන නෙයිනගේ
මැටි වළං කඩේ අත් උදව්වේ අගේ
පෝය දවසේ අතක් ගෙන මම උඹේ මේ තාත්තගේ
යන්ට යනවා කිව්ව දවසේ නෙයිනා දුන් තෑග්ගයි මේ 
 
මාතලේ කන්ද පාමුල නෙයිනා තවමත් ඇති
 මැටි වළං විකුණුවත් බිඳි යනවත් ඇති
මැටි උනත් රිදෙන තැන් වල පැලැස්තර අපමණ ඇති
කොයි තරම් දරා ගත්තත් කොරහටත් දුක ඇති

Saturday, May 16, 2020

පිටු අතර


ඒ සුදු රෝස මල
ඔබ තවම පරිස්සම් කරනවද?

පිටු අංක
එකසිය පනත් හය
පිටු අංක
එකසිය පනස් හත
අතර මැද, ඒ තමයි
ආදරේ වෙනුවෙන්
මලක් හිර උන තැන

එපා දැන්, ඒ පොතේ පිටු පෙරළන්න
වියලුණු මලක් මිස
කොහිද දැන් එහි සුදු රෝස
අනිත් එක ඉතිං;
නිදහසක් මොකටද?
හිරවෙලා ඉඳ මියුණු මලකට

එත් මට එක උදව්වක් කරනවද?
මතක නම් ඒ පොතේ නම කියනවද?
මල තැබු තැන මම, ඉරි ඇන්ද වචන පෙළ
කැමති, ආයෙමත් එක් වරක් මතකෙට ගන්න.


Thursday, May 14, 2020

මා කියවු ගැහැණු හිත් - ෆ්‍රීඩා කාලෝ

ෆ්‍රීඩා කාලෝ 1907  - 1954 ( 47)
 (පින්තුරය ඇන්දේ - තුෂාරි හේරත්)
 
සිරව ඉකිලන වේදනාවක නෙක පාට ඇහිදන්
කඳුළු බිදකින් තෙමා සෙවණැල්ල මත අතුරමින්
ගිලිහී යන්නට නොදී සුසූමත් ඒ මතම තවරමින්
කොයිතරම් අපුරුද නුඹ : නුඹව මැවුවා සිතුවමින්

තෙවානාවක් ඇදන් පබළු අබරණ දමන්
මල් සුවඳ මල් වරල ගවසා පාට සළු පිළි දරන්
ලොවට දක්නට දෑස තවරා ප්රීතියේ නෙක අඳුන්
කාලෝ පුදුමයි පිස දැමු හැටි රිදුම් නුඹගේ හිතින්

පැතුව පිවිතුරු ප්රේමයේ ලොව අහිමි වී ගිය බැවින්
සිතක් සතපා ගන්න දේදුනු වර්ණ මැද තනි වෙමින්
කම්පිතව හිත සැලෙන හැටි පින්සලක තවරමින්
සෑබවම සිතුවම් කරපු හැටි ඉන්ද්රජාලික අතින්

පරවියකු හා හස්ති⁣යකු අතින් අත බැදුනු විලසින්
නුඹෙත් ඔහුගෙත් දිවි බැඳුනි කඳුල හා මුහු වෙමින්
කිරි සිනහා දකිනු වස් පැතු සිහිනයත් බොඳ උනෙන්
කාලෝ එතරම් දැරිය හැකි වේද ගැහැණු හිතකට උනත්

සතුට රැඳුනේ නික්ම යාමෙයි ඉතිං නුඹ සිතු බැවින්
යළිත් මෙහි විත් සිතුවම් අඳින්නට හිතක් නොතිබු බැවින්
දින පොතක ලියා එලෙසින් විලස නුඹ අවසන් වදන්
කාලෝ සමු ගෙන ගියේ සූසුමන් සගව⁣ගෙන සිය හිතින්

කැඩී බිඳුනට කොමළ ලිය වත
හිතක් ඒ ලෙස නොකැඩෙනා බව
පසක් කළ ලොව දිදුල ගැහැණිය
වේදනාවෙන් මියැද යළි ඉපදෙමින්

Wednesday, May 13, 2020

පළතුරු වෙළෙන්දී

අම්මට වාත අමාරුව නොතිබෙන්න
පළතුරු කඩේ මට බාර නොවෙන්න
මමත් එක කෙල්ලෙක් තාම
ගවුමක් සායක් විතරක්ම අදින
 
මේ මහා වැස්සට
තාත්තා නිදන ඇඳ ඉහත්තැව
නොතෙමනවයි කියලා හිතට සෝදිසිනම්
මටත් තිබුණා විශාකා වගේ
හෙමි හෙමින් පියවර මැන මැනම
හිනාවීගෙන ගෙට ගොඩ වෙන්න
 
පෙරේරා මුදලාලීගේ පිපිරෙන හිනාව අඟ
තලු මරන පොඩි වෙන දෙ ඇස් මත
වෙස්සන්තර රුවක් නොපෙනුනානම්
අරින්නෑ කමිසයේ බොත්තම
දැන් කිලෝවට දහයක්ම ලාබයි
කොහොමටත් ඒක මට වාසියි 
 
ලක්ෂ්මි වේසෙන් හිනා වේගෙන
දැන් කාරයෙන් බැස්ස නෝනාගේ
ඉඟ සුඟත් ගත හැකිය මිටකට
දෙපාරක් හැරී බැලුවේ
වනචරකමට නෙවෙයි මිස්
මමත් ඉස්සර ඔහොමයි,
ඔන්න ඔය හැඩේමයි
 
ඉතිං සමහර දාක
ලෑල්ලේන් පැපොල් ගෙඩියක්
තෝරගෙන බර හිතින් මැන මැන
ඉතුරු ගන්නත් අමතක කරන
මහත්තුරු දකින්නත් ඇති,
ලස්සනයි කිව හැකි
ශේෂ වු ඒ නාරි සලකුණු
 
එකම පලවලේ උන්
යනවා මෙතනත් පහුකරාගෙන
එහෙම උන්ගෙන් ගොඩවේලා යන්නේ
පහල ඇල ලඟ චන්දරේ විතරයි,
උගේ කටේ තියෙන්නේම
"කොහොමද මචං"
අනේ ඌ ඉස්සරත් එහෙමයි
 
හිතට එද්දී දාහකුත් දේවල්
මමත් පහනක් තියෙනවා බුදුන්ටත්
ඒ බුදුන්ටත් නැසෙන
හිතේ දුක කියන්නේ ම කාලිට
ඒ ලැබුණ වරමින් තමයි
මේලෙස ලියවුනේ ජීවිතේ ගීතය

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...