මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Friday, April 12, 2019

බයිසිකල්කාරිය



ගෙවී ගිය අවුරුද්ද ගෙවී ගියේ කෙසේදැයි පසු විපරම් කිරීමත්,  එම දින තුන්සිය හැට පහ තුළ දි ළඟා කරගත් හෝ නොකරගත් දෑ විමසමින් නව පිඹුරුපත් සකස් කරමින් ජිවිතය සැලසුම් කිරීමත් මා විසින් අත් හැර දමා ඇති අතර, මා අවුරුදු යැයි කියන්නේ සතුටින් සිනා වෙමින් ගත කළ දින, සති, මාස පිරවු ඒ  කුඩා තත්පර වලටය. 

වලංගු සීමාවන් නිර්ණය කිරීම කවුරුන් විසින් තිරණය කරන ලද්දැක්දැයි මා නොදන්නා අතර,  එම සීමාවන් බිඳ දැමීම තුළ මා වඩාත් සතුටට පත් වන අතර, එම සෑම අවස්ථාවකදීම,  අන්න ඉබ්බෙක් අහසින් යනවෝයි වැනි වු කෑ ගැසීම් ඇත්තේ, සවන් මතින් දරා ගැනීමට මිස පිළිතුරු දීමට නොවන බවත් තරයේ විශ්වාස කරමි.   

කුඩා අච්චු අකුරු සිරවු ලෝකයන් මා හමුවේ නිරාවරණය වන විට දැනෙන සතුටත්. දුම්රියේ කළුලු තුළින් එබෙමින් තරු රටා දකින විට දැනෙන සතුටත්, ඉඳ හිටක රූපයක් දෙකක් කාච ගතකොට ගෙන ලබන සතුටත්, අකුරක් දෙකක් ඔබට ලියා ලබන සතුටත්, ඉබාගාතේ ඇවිදිමෙන් ලබන සතුටත්, කුඩා ලෝරා හා සෙල්ලම් කිරීමෙන් ලබන සතුටත්, කුඩා දරුවන් දෙදෙනාගේ සුරතල් ඉවසීමෙන් ලබන සතුටත්, අතරට යුතුකම් හා වගකිම් වලට බැඳෙමින් ලබන සතුටත් එක්කාසු කර මේ මම යැයි මට මා පෙන්විය හැකිය.  

කුඩා දුවිලි අංශු වලින් දෑස් වැසි යන නිමේෂයන් වලදී, සුළඟට පෙම් කරමින් වේගය වැඩි වන තැනක, ඉඳිකටු තුඩු වැනි වැහි බිංඳු කම්මුල් වල ගැටී රිඳුම් දෙන විට සිනා සුන තැනක, සිහින් හිරිකඩ වැදෙද්දී ඇස් පියන් සෙලවුන තැනක, පවන වේගෙන් හමන සුළඟ මා බඳා ගත් තැනක, මම මා වෙමි. මම මා දකිමි. මම මා වන තැනක ජීවිතය ඇති බැවින් ඒ ජිවීතය තුළ මම මා බයිසිකල්කාරියක ලෙස හඳුන්වා දීමට මැලී නොවෙමි.

පාන්දර අහසේ ඇති චමත්කාරයටත්, වාතයේ ඇති සිහිලසටත්, මේ බයිසිකල්කාරිය තදබල ලෙසින් පෙම් කරන අතර,  සඳ රැසින් නැහැවුනු වෙල් ලියදි, තණ පිට්ටනි පසු කර ගමන් කර ඇති වාර වලදී,  ඒ සියුම් දසුන් මඟින් මත්ව ඇත්තෙමි.  ජිවිතය ඇත්තේ කොතනකවත් නොව එවන් තැන් වල යැයි ඇදහීම මා සතු ය. 

Tuesday, April 9, 2019

අම්මා කැමතිම :


සමහර දවස්වල අපි බිව්වට
හකුරු එක්කලා කහට
අම්මා කැමතිම බොන්න
ලුණු රහට පෙරෙන කඳුළු 

සමහර දවස්වල අපි කෑවට
නෑඹිලියක් පිරුණූ බත් කැට
අම්මා වැඩිපුරම කැමති
සුරන්නමයි බත් ඇලුණු මුට්ටිය


සමහරක් දා රෑක නොහිටියත්
අපි නිදන පන් පැදුර අද්දර
අම්මා කැමති තිබුණේම අපිව
තුරුල්කර ගන්න ඒ පපුව මැද්දට 


එහෙම දවසට අපෙ කන් ඉස්සරහම
පැරදුණත් රෑ බදුලු සංගීතය
පාන්දර ඉදෙන මස් කරියේ සුවඳට
හිනෙනුත් තලු මැරුවා අපි තරඟයට


හරි සමව බෙදා දුන්නට අපිට
ඉතිරි කර නොගෙන වළදක
අම්මා කවදත් කොටසක්
ඉතිරි කරනවා පිඟානෙම පැත්තක


ඒ වගේ දවස්වල හැමදාම
ඇළ ගාව තාත්තාගේ සොහොනට
අම්මා කැමතිම දුවන්නට
ඉතිරි කළ පංගුවත් අරගෙන

Wednesday, April 3, 2019

රජරට අපේ කථාව 1*



මේ හීන් හුළඟ මහ කනදරා වැව් දිය සිපගෙන හමා යන්නේ අපේ හිත් කියවගෙන. අපේ හිත් වල නැඟුන දුක, සතුට දැනුනේ මිස්සක පව්වටම විතරක් වෙන්න ඇති.ඇස් අස්සේ ගුළි ගැහුණු කඳුළු දැක්කේ මිස්සක පව්ව මත දෝරේ ගලන හඳම විතරක් වෙන්න ඇති.

මේ පොළව මත නැගෙන බඩ ඉරිඟු වගේම අපිත් මේ පොලව මත්තේම ගැටෙනවා. පැලි වළං පැළුණු කාස්ටක පොළව මතින් අස්වනු නෙළන්න දඟලන මිනිස්සු වගේම අස්වනු නෙළාගෙන මිනිස්සු වෙන්න දගලනවා.
සමහර වෙලාවට, 

අපි අපේ මනුස්සකම උගසට තිබ්බා. උගස බේරගන්න බැරිව මනුස්සකම සින්න වෙද්දීත්, අපි වාරු ගත්තා. වාරු අරන් නැගිටින්න උත්සහ දැරුවා අදට වඩා හෙට හොඳ වෙයි කියලා හිතාගෙන.

ඒත්, හෙට දවස අනියතයි කියලා අපිටත් වඩා හොඳට, මේ පොළව මතම ගැබ් අරන් මෝරලා කිරි වැදෙන බඩ ඉරිඟු කරල් දැනගෙන ඉන්න ඇති. බඩ ඉරිඟු කරල් පුදින මේ පොළව අපිට වාරුවක් වෙන්න ඇත්තේත් ඒ හින්දම වෙන්න ඇති. 

සරසවි බිම කඳුරැල්ලෙන් ඈත නොපෙනුනාට අක්වැහි වැටෙන කොට නැගෙන දුවිල්ලේ පොර බදින මිනිසුන්ගේ දහදියත් එක්ක මුහු වෙච්ච අපේ හිත් වලට , මේ සරසවි බිම කඳුරැල්ලක්ව නැගුණා.

හන්තානට පායන හඳයි, මිස්සකට පායන හඳයි, කොයිතරම් වෙනස්ද කියලා කියන්න තරම් නම් මම කවියෙක් නෙවෙයි. ඒත් මිස්සකට පායන හඳ දිහා බලාගෙන මතක ගුළි කරලා මහ කනදරාවට දාපු හිත් මේ සරසවි බිමේත් පිරිලා තිබුණා.

ගීතයක, කවියක සොඳුරු පදයක් වෙලා සරසවිය නොතිබුණාට,
වැහිදිය නොවැටෙන පොළවක් මතට වැස්සක් වෙලා වහින්න අපිටත් පුළුවන්,

ඔබ නැති මේ රැයට පුරහඳ එළිය කුමටද?
ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කුමටද?


එපා කියන්න
සමු අරන් යන විටදී,

අපි වහිනවා වැස්සක් වෙලා.








ගෙවා දැමු සරසවි ජිවිතයේ නේවාසිකාගාරයේ බිත්තී අතර හිරවී සිටි දවස් වලදී, සමහර විට දැනුන තනිකම මකා ගන්නටත්, ඉවසගත් පිළිතුරු නැති ප්‍රශ්න අමතක කරවන්නටත්, විඳගත් දයාබරකම් හදවතේ කොනක තැන්පත් කරවන්නටත්, දිරිය දුන් තක්ෂලාවට ආයුබෝවන් කීමට කාලය ළං වෙද්දී ලියා දැමු අකුරු සටහනකි.

ජිවිතයේ වෙනස් මාවතක් පෙන්වු මේ සරසවි බිම ජිවිතයේ ගෙවා දැමු සොඳරුතම කාල පරිච්ජේදයක් වෙද්දී, ඒ සොඳුරුකාලය ගැන පසුවට සටහන් තැබිමේ බලාපොරොත්තුවද කැටි කොට ගෙන ඊට පෙර රජරට අපේ කථාව යාත්‍රාවට ගෙන දමමි.


Friday, March 29, 2019

ප්‍රේමයට කවියකු තරම් පෙම්වතෙකු නැත

ප්‍රේමය
මට මග හැරුණි
සමකාලීනයින් විදිති - විදවති


ප්‍රේමය
මම ලියමි
සමකාලීනයින් කියවති - විදිති


ප්‍රේමය
කිමැයි
ඔවුන් කිසිදාක නොකියති


ප්‍රේමය
මෙයැයි
මම ඔවුන්ට අකුරකින් පහදමි


කවිය
නුඹ පෙම්වතෙකි
ඔවුන් මට කියති


ඉදින්
ප්‍රේමයට
කවියකු තරම්
පෙම්වතෙකු නැති
මම ඔවුන්ට කියමි.



Wednesday, March 27, 2019

දේව දරුවා

පුදින්න තිබු කෙහෙල්ගහ
පා පහරකින් බිම හෙලා
මහ දවලේ පැන ගියා යකු
බෝ ගහේ අතු සිද දමා


ආරංචියක් ලැබුණු විගසම
සරදියෙල් ආවත් මෙහි
උන්දැ පිල උඩ ඉඳන් හිටියා
පවන් රැල්ලට කන් දිදී


කදිරා ඇවිදින් හවස් වරුවක
සපුමලී උඹ හොඳ එකි
බය නොවී ඉදහන් නඟා
කිව්වා රැ තරු දෙස බලා


ගමේ චණ්ඩියා උනත් මහතුවා
ඌට රැටත් හයර් තිබුණා
මගේ දුක වගේමයි ඌ
කාගේ කාගේත් දුකම අැහුවා


ගැහෙන ඉකිලන හදවතින්
ජිවිතේ පසුවදන හෙව්වා
අන්න එ වගේ වේලාවලදී
දේව රුව මතකයට අාවා


කන්ද උඩ යාතිකා මඩුවේ
අන්න එ වගේ රුපයක් තිබුණා
පිළිමයට නැහුණු හිතේ දුක
යදින කපුවගේ කණේ හැපුණා


මතුර මතුරා ගැහුව පොල් වල
අණ ගුණත් හිටි හැටියේ ලැබුණා
දේව පැටියගේ අප්පොච්චි වී
පැන ගියපු යක්දෙස් ගමට අාවා

Sunday, March 24, 2019

හදවතේ පැහැය



නුඹේ හදවතේ පැහැය කුමක්ද ?
නුඹේ සිනහවේ අරුත කුමක්ද?
නොවැටහෙමි.

දෙදුනේ සත් පාට සොර ගෙන හදවතේ තවරා ගත්තද?
සද එළිය සොරගෙන් හිනාවෙ සඟවා ගත්තාද?
නොදනිමී.

නුඹ කෙලෙසක හමු උවාද?
නුඹ කොතැනකදී දුටුවාද?
නොවැටහෙමි.

සංසාරේ පුරුද්දට හමු උවාද?
නෙත් හැරී ලොව දකින්නට පෙර නුඹව දුටුවාද?
නොදනිමී.

මට නුඹ හිමි උවාද?
නුඹට මා හිමි උවාද?
නොවැටහෙමි.

නුඹ මට ආදරය පඬුරු කළ බවද,
මගේ ජීවිතය නුඹ නමින් පුජා කළ බව පමණක්,
මා දනිමි.

කුමක් නොවැටහුනද?, කුමක් දැනුනද?
මේ දැනෙන නුඹේ ආදරය පමණක්ම,
ඉතින් මා
අදහමි.




Sunday, March 10, 2019

ඉන්න නැවතී ටිකක්

හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්


ඔබේ එක පියවරක්
මත මගේ පියවරක්
තබා එමි පසු පසම
ඉන්න නැවතී ටිකක්


ඔබේ හුස්මක එති
හදවතට කිමිදෙමි
හදේ ගැඹුරුම තැනක
මියෙන තුරු නවතිමි


නුඹ දකින මිරිගුවත්
මට සොඳුරු කෙම් බිමක්
අවැසි හිස තියන්නට
ඔබේ එක උරහිසක්


මා අහස තරම් දුර
එපා යළි කියන්නට
අර ක්ෂිතිජ ඉම උවත්
දෑස් මත සෑබැවක්


නුඹේ හද දෙහද වී
මා අතැර ගියදාක
හීන මම විසි කරමි
නුඹේ පය පාමුලට


එතෙක් මා ප්‍රිය සබඳ
ඉසින්නම් මා නුඹට
දෙනෙත් බැල්මෙන්
සෙත් කවක දිය දහර


හීන විසි කර කොහේ යන්නේද
ඉන්න නුඹ නැවතී මදක්



FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...