මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, May 15, 2025

FourTwentyAMThought


මේ කවියක් නෙවෙයි
ආත්මය හිර කෙරූ වචනයි

මෙය මම ලියන්නේ ඇත්තෙන්ම
මගේ පලවෙනි පෙම්වතාටයි

("දයාබර ....."
මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි
PS: I miss you so much
කවියේ අන්තිම ලියන්නේ මෙහෙමයි)

මේ කවියෙ
පෙම්වතා වීරයා දුෂ්ඨයා ඔබමයි
ඒ කවියෙම
ඔබට පෙම්වතියන් හතරයි
තුන්වැන්නා මම අපි අතර ඇත්තමයි
ඉරිසියාවක් තිබුණේම නැති ගානයි
ඔබ වැඩිපුරම ආදරේ කාටදැයි
සමහරදාට අපි අපෙන් විමසයි
උත්තරයක් නැතිව අපි අපිම ගොළුවෙයි
එත් ඔබ ගැන මතක ගොන්නට
අපි හරිම ආසයි,
කොයිතරමි සුන්දරද එදවස්
මහ සයුර තරමට විශාලයි
රිදුණ තැන් බිඳුන තැන් ඇතත් අපමණ
ඒ සියල්ලම දැන්
නොසලකා හැරිය යුතු ගානයි

පළමු පෙම ගැන කියන්නට
ඔබටද වචන නැති ගානයි
මම දැක්ක මහා ප්‍රේමය එයයි
මටද වචන නැහැ සත්තයි

ඇය ඔබේ ජිවිතේ යාත්‍රාව, නැංඟුරම වෙන්න ඇති
බර දැරු උරහිසට නිවහනක් වෙන්න ඇති
හිස අතඟා ළය සනහන මව්බිසෝ වෙන්න ඇති
ඔබ කොයිතරම් දුර ගියත් ඒ ආදරේ නොසැලුනේ ඒ නිසා වෙන්නැති

මේ වචන ලියන්නේ
දෙවෙනි පෙම ගැන කීමටයි
ඇත්තේන්ම දත යුතුයි
මෙය තවම කවියක් නොවෙයි

ඇය ඔබේ ආඩම්බරය, හෙවණැල්ල වෙන්න ඇති
ඔබේ උරහිස් මතින් ලෝකයක් දකින්නැ'ති
ඔබ ඇයට තේරු සායම් වලින්
ඇගේ හීන  පාට වෙන්‍නැ'ති
විසල් අහසේ සරන්නට දී
සීමාද දමන්නට ඇති

මමයි ඔබගේ තෙවෙනි පෙම
එය වඩා විශාලව නොගත යුතුයි
මොකද මම දැනන් හිටියා
ඔබෙන් පෙම නොපැතිය යුතුයි

මම හිතනවා මම ඔබේ ශක්තිය වෙන්න ඇති
වඩා වැඩියෙන් උරහිසේ රැඳි බරක්
වෙන්න ඇති
නිහඬව උනත් මම පැතුවාට වඩා ආදරේ දෙන්න ඇති
පොරොන්දුවක් නොමැතිව පවා
මට ඔබව තේරුණේ ඒ නිසා වෙන්න ඇති

ඔබේ හතරවන ප්‍රේමය ඇයයි
ඉතා හුරුබුහුටියි  ඔබට ඇ විශේෂයි
ඔන්න අන්තිම පදය ලියනවා
දැන් මේතැන් සිට කවියක් තමයි

ඈ මැජික්කාරියක් ඔබේ තුළ ආදරේ මායාව දකින්නට ඇති
ඔබ පරම සත්‍යක් ඇය ඔබේ ආදරය විශ්වාස කරන්නත් ඇති
ඈ ඔබට රැජිනක් ඔබ ඇයට රාජ්‍යක් තනන්නත් ඇති
ඔබේ ආදරේ යම් තැනක අසමානතා
ඒ නිසා වෙන්න ඇති

ඉතිං ඔබ මේ පෙම්වතියන්ට ආදරය කළ එකම මිනිසා,
මේ කවියේ අවසානයට ඔබ සිටී.

Like —
(You taught us strength.)
Like —
(You turned pain into laughter.)
Like —
(You fought for our futures.)
Like Atticus—
(You guided us with wisdom.)
Like Furious Styles—
(You built us up, with whatever love you had left.)

Mufasa මෙන්,
(ඔබ අපට ශක්තිමත් වීම කියා දුන්නා)

Guido මෙන්,
(ඔබ සියළු වේදනාවන් සිනහවක් බවට පත් කළා)

Chris Gardner මෙන්,
(ඔබ අපේ අනාගතය වෙනුවෙන් සටන් කළා)

Atticus මෙන්,
(ඔබ අපට ප්‍රඥාවෙන් මඟ පෙන්වූවා)

Furious Styles මෙන්,
(ඔබ ඔබේ ආදරයෙන් හැකි පමණ අපව ගොඩනඟා ගත්තා)


මේ කවිය දැන් නිමයි
එනමුදු තවමත්
ඔබ අපේ පෙම්වතා 
මගේ පළමු පෙම්වතා

ඉන් පසුව

ඔබ අපේ වීරයා,
සමහරක් විට දුෂ්ඨයා


පොරොන්දු වු ලෙසම
මම අවසානයට ලියන්නම්


"PS: I miss you, not even a thousand poems could say it right අප්පච්චි"



Saturday, September 28, 2024

මගේ අප්පච්චිගේ "The last Call"

 


එදා ඒ රෑ පුරාවට ඔබ,
මට කතා කළ බව ඇසු විට අප්පච්චි,
මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද?
එහෙම නැත්නම් "පුතේ" කියන්නට ඇද්ද?
කලාතුරකින් දවසක වගේ "මගේ පැටියෝ" කියන්නට ඇතිද?
චාටුවට රවටගන්නට "රත්තරනේ"   කියන්නට ඇතිද?

කුමන හෝ ආමන්ත්‍රණයකින් ඒ රැයේ ඔබ මා සොයා ඇති බව පමණක්
ඉතිං දැන් මම දනිමි. නමුත්,
ඒ මොහොත මට මඟ හැරුණි.
සියල්ල අල්ලා ගත නොහැකි බව දනිමි.
ඔබේ ළඟ නොසිට මට මඟ හැරුණු
සියලු කාලයට  මම දැන් වෛර කරමි.

මම ඔබ බැලීමට ආ මොහොතේ
අප්පච්චි,
මට මගේ ආත්මයට දැණුනා
මා ඉදිරියේ දිග හැරෙන දෙයට
මා සුදානම් නැතත්,
ඒත් එය සිදු වන බව දැනගත්තා.

කොළ පාට කොට බිත්ති අතර
ඔබ යමකට සුදානම් ව සිටින වග
හරි හදිසියේ තේරුම් යන කොට
අප්පච්චි,
මගේ පපුව හිර උනා
මුළු ඇඟම ටික ටික සීතල උනා
ඇත්තමයි මට කෑ ගගහා
අඬන්නම ඕන උනා
ඇස් වල කඳුළු වියළිලා තිබුණ හින්දා
මම එහෙම ම ගල් උනා
මම හිතුවා ඒ තමයි මගේ ශක්තිය
ඒත් අප්පච්චි  දන්නවද ඔයා?
හත් පණක් තිබුණා නම් මට
එදා පණ දෙකක් ම අහිමි උනා.

"අප්පච්චි" කියලා මම කතා කරද්දි,
සමහර විට ඔයාට ඇහෙන්න ඇති
ඒත් ඔයා ඇස් ඇරලා මගේ දිහා බලද්දී,
මගේ හිත සම්පුර්ණයෙන්ම නිහඬ උනා
අප්පච්චි අනේ මම  නිහඬම උනා
මේ දැන් ඇන්ද සිත්තමක්
මහා වැස්සක දියව යනවා වගේ
(ඇත්තමයි වැස්සක දියව
සේදී යන හැඟීමක් එය)
හදවතේ ඉවුරු හැම එකක්ම
කඩා බිඳ වට්ටගෙන
කාට හරි තේරුම් ගන්න ඕන නම්
ඔන්න මම එය මෙහි ලිව්වා.

ඒත් ඊළඟ මොහොතේ මම දැක්කා
ජිවිතේ ඔබේ ඇස් වලින් මැකී යන විදිහ
ඉතිං අප්පච්චි,
ඔයාට මට කියන්නට දෙයක් තිබුණාද? 
අප්පච්චි,
මං වෙනුවෙන් අවසාන වචනයක්
ඔයා ලඟ තිබුණද?
ඔයාගේ ඒ බැල්ම කොයි තරම් දිග උනත්,
ඉතා හුරු පුරුදු විදිහට කාලය
වේගයෙන් ඉඟිලුනා
ඉතිං විනාඩි දහයකට හා
තවත් තත්පර  කිහිපයකට පසුව
මං දැනගත්තා
සංසාරයක් මට අහිමි උනා.

කරුණාකර මට සමාව දෙන්න
ඔබ කතා කරන විට එහි නොසිටි නිසා
මට සමාවෙන්න අප්පච්චි, 
මගෙන් උන ඕනෑම වරදකට,
ඕනෑම වචනයකට,
ඕනෑම සිත් රිදවීමකට,

මේ මගේ අන්තිම වචන ටික
ඒත් මට ඔයාට කියන්නට බැරි උනා,
ඉතිං අප්පච්චි ඔබ කොහේ හිටියත්
මගේ මුළු හදවතින්ම
මම ඔබට ආදරය කළ බව දැනගන්න, 
ඒ වගේම මට කවදාවත් අමතක වෙන්නේ නැති බවත් දැනගන්න,

ඉතිං අප්පච්චි
ඔබේ අවසන් මොහොත,
ඔබේ නිහඬ ඇමතුම සහ බැල්ම
මගේ මතකයේ රදවගෙන
නිහඬව, මම ඔබට සවන් දෙමි
කොහෙන් කොහොම හරි
එවිට මට ඔයාගේ ආදරේ දැනේවී.
කවදා හරි දවසක ආයෙමත්
අපේ අත් මෙලෙසින්ම බැඳේවී
අනේ අප්පච්චි අන්න ඒ මතුදාක
මම ඔයාට පුතෙක් විතරක්ම වේවී.



Saturday, September 14, 2024

ඉතා මිටි මම

 


මගේ උස පහයි එකකි
ඔබ ඊට අඟල් දෙකක් වැඩිය
එහෙම බැලුවාම අපි ඉතා මිටිය
ගොඩක් පුංචිය.
ඇත්තම කිව්වොත් මේ ලෝකයම
අපට වැඩියෙන් උසය. ඉතා ලොකුය.

චක්කරේ පාඩං ගන්නකොට
හනස්සෙන් ගුටියක් දෙකක් කනකොට
පොඩි අප්පු ස⁣ර්ගේ ගණන් පංතියට
මාව ඇදගෙන යනකොට
ප්‍රැක්ට්‍රිස් කරලා රෑ වෙලා ගෙදර එනකොට
පුට් බයිසිකලේත් තල්ලු කරගෙන
ඔබ හන්දියේ ඉන්නවා දකිනකොට
ඔබට වැඩියෙන් උස යන්න
උවමනා උනා ඉතා මිටි මට

ඔබේ පසුපස දුව දුව
බට ලයින් අලවනකොට
මෝටරේ හදන්නට ඉස්කුරුප්පු නියං හොයන කොට
සමහරක් දවසක ඔබ එක්ක
බුලත් උර කර තියන් එනකොට
එකට එකතුව බතල කොටුවට
කල ගෙඩියෙන් වතුර අඳිනකොට
අත් අල්ලගෙන බස් එකක ෆුට් බෝඩ් එකේ යනකොට
මට හිතුනා මම
ඔබේ තරමටම උස බව

විභාග එකින් එක පාස් උනහම
විශ්ව විද්‍යාලෙක විද්‍යාර්ථයක් කිව්වහම
උපාධි සහතික පත්‍ර ගත්තම
රජයේ කන්තෝරුවක රස්සාවක් කළහම
ගෙදරට උවමනා අඩුවැඩිය ටිකක් මිළට ගත්තම
ඉතිං මට හිතුනා
ඔබට වැඩියෙන් මම ඉතා උස බව

බත් කටක් අනා ඔබේ මුවඟ තියනකොට
සුප් එකක් හදා බිඳෙන් බිඳ පොවනකොට
රාත්‍රිය පුරා නිදි නැතිව ඔබේ ළඟ ඉන්න කොට
හුස්මකට පසු තවත් හුස්මක් වැටෙනකම්
ඇහි පියන් ගැහෙනකොට
හිතෙනවා මට සංසාරයක් ලඟ
කොයි තරම් නම් මිටිද මම

එහෙම බැලුවම " අප්පච්චි"
සංසාරයක් ඔබ මට

Sunday, August 18, 2024

මිතුරනි අසන්න.

 


ඉස්සරම දවස්වල අතින් අත අල්ලන්
බදා මා වැළඳ දුක කියු මිතුරන්
ගසාගෙන ගියත් උන් හැමු උඩු හුළඟින්
කොහොම අමතක කරන්නද බැඳී හාද හිතකින්

සිනාසෙන්නට යමක් මඟ තොටදී අහුලන්
කතාවන් ගෙතු හැටි රැයක් නිදි වරමින්
මතක් වන විට පවා ඇස් තෙමෙයි කඳුලින්
ඔන්න වැහි වැටෙනවා අළු පාට අහසින්

විඩාවක් නොදැනීම  ඉතිං අප ගෙවු දවස් සිහිවී
විඩාපත් හිතක් තවත් වෙයි පුංචියට කැබලී
සිනාවක් ඇතොත්,  සුහද උඹේ ළඟ සැඟවී
පියාපත් ලබා දී එවාපං ඒ එනතුරා මම හිදිමි නොසැලී

ඉතා රුදුරම සැඩ සහිත කුණාටුවකට පෙරදී
තාම මම හැරි හැරී පිටුපසම බලමී
කොහෙ හෝ තැනකදි මඟ ලකුණු වැරදී
තනි උනොත් මා බදා සනහනු ඇතැයි සිතමී



Tuesday, July 16, 2024

තාම කවි ලියනවා

ඉඳහිටක ඉඳහිටක ඉඳහිටක
මම තවම කවියක් ලියනවා
නෑ..
ඇත්තටම නෑ. 
අකුරක් දෙකක් ලියනවා.
ඇත්තටම කිව්වොත්
මම වචනයක් දෙකක් ගලපනවා
කවියක් කියන්නට පුළුවන්දැයි
ඒත් මම තාම හිතනවා

ඇත්තමයි ඇත්තමයි ඇත්තමයි
කවියක තරම් මිහිරක් 
ඒ වචන වල තියෙනවා
ඇත්තමයි මට දැනෙනවා
මිහිරිතම කවියක උනත්
දුක හිතෙන පදයක් තියෙනවා
මම උනත් දුක හිතෙන පද ලියනවා

ආයෙමත් ආයෙමත් ආයෙමත්
ඉතිං එහෙමයි හිතක්
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ
කොහොම ලිව්වද හිතන්නට බැරි
දුක හිතෙන පදයක්
හැම කවියකම තියෙනවා
ඉතිං මම කවි නොලිවත් 
දුක හිතෙන පදයක් තියෙනවා

එහෙමයි එහෙමයි එහෙමයි
පෑරෙන්නේ බිදෙන්නේ දුක්වෙන්නේ 
සමහර වෙලාවට 
ඉදහිටක ලියන විට
හිතාමතාම දුක හිතෙන්නට
එකම එක පදයක් ලියනවා  
අවසානයට ,. තබනවා
ඇත්තටම කවියක් නෙවෙයි !
ඒ උනත් කවියෙක් ලියු කවියක වගේ
ඉතිං කඳුළක් ඇස් වලට උනනවා

ඉතිං එතකොට ඉතිං එතකොට ඉතිං එතකොට
කවියක් නොවුවත් 
මේ පද සියල්ලම
ඔබ දකින්නට අවැසි බව හිතෙනවා.

ඉතිං ඔබ ඉතිං ඔබ ඉතිං ඔබ
පසුතැවිල්ලක ගිලී යා යුතුයි.
ඉතිං කවියක් නම් ඔබ
අවසානයත් එවැනි ම විය යුතුයි.


Friday, May 31, 2024

ආදරේ නොලැබෙන මිනිස්සු

මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා  කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා  කියලා. ඔයා එහෙම ඇවිදින මළ මිනියක් දැකලා නැත්නම් මේ මොහොතේ ඔයාට පුළුවන් මගේ දිහා බලන්න. ඔයා මාව දැක්කෝත් ඔයාට හරියටම තේරුම් ගන්න පුළුවන් ආදරේ නොලැබෙන ආදරේ නොලැබිච්ච ආදරේ නොකරන මනුස්සයෙක් කොයි වගේද කියලා. මම කියන්නේ දළ අදහසක් හරි ගන්න පුළුවන්. ඔව් සමහර විට දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. දළ අදහසක්.

මම දන්නෑ මේ ස්වයං පාපොච්චරණයක්ද එහෙම නැත්නම් තමන් ගැන කරන  එක කතාවක්ද විතරද  කියන්න. ඒ වගේම තමයි මම දන්නෑ මම පටන් ගන්න ඕන මගේ නමින්ද එහෙම නම් ඒ වාසගමින්ද නැත්නම් මගේ මැද නමින්ද කියලාවත්. මම දන්නවා මගේ නමින්වත් ගමින් වත් ඔයාට කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන්න. එහෙම නම් මගේ කතාවෙන් උනත් ඔයාට මම කියන්නේ මේක ස්වයං පාපොච්චරණයක් නම් එකෙන් උනත් ඔයාට ප්‍රයෝජනයක් නැති වෙයි. එහෙනම් ඔයා මේක කියවලා කරන්නේ මම මේක ලියනවා වගේම ප්‍රයෝජනයක් නැති වැඩක්. කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්.

ඔයා දන්නවනේ මේක විශ්ව ගම්මානයක්. තනි ලෝකයක්. මහද්වීප හතක්. රටවල් නම් දෙසීයක් විතර. (මට සමාවෙන්න මම ඒක හරියට දන්නෑ. )තව දුපත් ගණනාවක්. සාගර හතක්, බිලියන හතක විසිරිච්ච  මිනිස්සු. මමත් ඒ මිනිස් පොදියේ එක ම එක මනුස්සයෙක්, බිලියන හතක මිනිස්සු වගේම එහෙ මෙහෙ යන දුවන ඇවිදින. ඒත් ඔයා දන්නවා ද මට දැනෙනවා බිලියන හතක් දුවද්දි ඇවිදිද්දි මම එක තැනක නතර වෙලා ඉන්නවා වගේ. ( ඇත්තම කිව්වොත් මම ඉන්නෙත් අර බිලියන හතත් එක්ක දුවමින් ඇවිදිමින් තමයි.) ඔව් මට දැනෙනවා මම එක තැනක නතර වෙලා ඉන්නවා කියලා. මිනිස්සු බිලියන ගණනක් එක්ක එකතු වෙලා උන් වගේම ඇවිදිමින් දුවමින් ඉන්නකොටත් මට දැනෙනවා මම එක තැන නතර වෙලා ඉන්නවා කියලා. ඒ තමයි ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. තනිකරම එක තැනක නතර උන ජිවිතයක්. එකම එක තැනක නතර උන.

ඔයා දන්නවනේ වසන්ත,ගිම්හාන,සරත්,සීත. සෘතු හතරක්. මට මතක් කරන්න එපා සමකයට ඈතින් තියෙන රටවලට විතරක් බව. මොකද මම දන්නවා. සමකාසන්න රටක උනත්, අව්ව වැස්ස, එහෙම නැත්නම් සීත ග්‍රීස්ම කියලා හරි සෘතු වෙන් කරන්න පුළුවන් බව. ඔය ඕනම සෘතුවක් මිනිස්සු ට දැනෙනවා. සීත කාලෙදී මිනිස්සු උණුසුම හොයනවා, වසන්ත කාලේදී මිනිස්සු මිනිස්සු එළි පහළියේ ඇවිදනවා. ඔයා දන්නවා,වැස්සට කැමති මිනිස්සු, වැස්සට කවි ලියන මිනිස්සු, කතා ලියන මිනිස්සු, කෝෆි බොන මිනිස්සු, තුරුල් වෙන මිනිස්සු, උණුසුම් වෙන මිනිස්සු. මිනිස්සු සෘතු අතර සැරිසරද්දී සෘතුන් බෙදා ගිනිද්දි, එකම තැනක නතර උන කෙනෙකුට  කිසිම සීතලක්, කිසිම උණුසුමක්, වැස්සක සිහිලසක්, කෝෆි කොප්පයක් මිහිරි සුවඳක් නොදැනෙන බව ඔයා දන්නවද? ඒ තමයි එකම තැනක නතර උන මනුස්යෙක්ගෙ විදිහ, ආදරේ නොලැබෙන මනුස්සයෙක්ගේ විදිහ. වර්ණ වෙනුවට ජිවිතේ එකම පාටකින් දකින ජිවිතයක්. මගේ ජිවිතේ පිරිලා තියෙන්නේ එකම පාටින්. අළු පාටින්.

ඔයා දන්නවනේ සුවපහසු සහ උණුසුම් ස්ථානයක්. ගෙදරක්. නිවසක්. නිවනක්. එය අභයභූමියක් වැනි තැනක්. උණුසුම් ආහාර පිසෙන තැනක්. කළුවරට එළි දැල්වෙන තැනක්. සිනහවන් ගැවසෙන තැනක්, කඳුළු පිහදැමෙන තැනක්, බදාගෙන වැළඳ ගන්නා තැනක්, දුම් දමන කෝෆි කෝපපයක් බෙදා ගන්නා තැනක්, සුමට තැනක්, නිවසක් පිරෙන්න ඕන එහෙම. ඔයා දන්නවද? අළු පාටින් පිරුණ කෙනෙකුට සුවපහසුව සහ උණුසුම  කියන්නේ බිත්ති සහ වහලය පමණයි.  සීතල බිත්තී, සහ ඝන වහලය ආරක්ෂිත   පලිහක් පමණයි.  එය නිවනක් නොවන නිවසක්.  ජීවත් වීමට නොව පවතින්නට තැනක් විතරයි. හිස් කාමරවල නිශ්ශබ්දතාවය බිත්ති අතර දෝංකාර දෙන, කිසිවක් පැවතුනද කිසිවකු නොපවතින  බව පෙනෙන තැනක්. කිසිවකු නොපවතින නිවසක් කිසිසේත්ම නිවසක් නොවන බව, උණුසුම්ව ආහාර නොපිසෙන, පොසිලෙන් පිඟන් එකට නොගැටෙන, බුමුතුරුණු වල පය නොපිසෙන, කේතලයක විසිල් හඬ නෑසේන, එය භෞතික ලෝකයෙ එක නවාතැනක් පමණයි. ආදරේ නොලැබෙන, ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මට භෞතික ලෝකයේ නවාතැනක් පමණයි, එක නවාතැනක් පමණයි.

ඔයා දන්නවනේ මලක් කියන්නේ ජිවිතය  අලුත් විමේ සංකේතයක්. ජිවිතය වර්ණ ගැන්වීමේ සංකේතයක්. සුවඳ විහිඳවන මල්.  සුන්දරත්වයේ පාට පිරුණ මල්.  රතු පාට මල්. කහ පාට මල්. සුදු පාට මල්. වර්ණ අනුව විවිධ තේරුම් සහිත මල්. නව ජිවිතයක ආරම්භයේදී, සහ පැරණි ජිවිතයක අවසානයේදී ළඟින් හිදින්නේ මල්. එක මලක් හෝ මල් පොකුරක් වෙන්න පුළුවන්. රතු පාට සුදු පාට හෝ කහ පාට විය හැකි මලක් හෝ මල් පොකුරක්. නැතිනම් මේ සියළු වර්ණයන්ගෙන් මිශ්‍රව.  ඔයා දන්නවද? ආදරේ නොලැබෙන ආදරේ නොලැබුණ එකම තැනක නතර උන අළු පැහැති මනුස්සයෙකුට  නම් මල් කියන්නේ පෙති පමණක් බව. එහෙම නැත්නම්  පෙති සහ පත්‍ර. සියල්ලම ශාක කොටස්. මලක  වර්ණ සහිත සුන්දරත්වය මට දැනෙන්නේ නැහැ.  පණ නැති දෙයක් ලෙස  මිසක මලක  සුවඳ මා තුළ කිසිදු හැඟීමක් ඇති කරන්නේ නැහැ. මලක විචිත්‍රවත් වර්ණ මගේ ලෝකය දීප්තිමත් කරන්නේ නැහැ.  ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන  මලක් යනු හැම කාලෙදීම එක්තරා කොටසක් පමණයි. පිපිලා පරවෙන. තවදුරටත් හදවතක් මත නොපිපෙන, සතුටක් හෝ බලාපොරොත්තුවක් ගෙන නොඑන.  අළු පැහැති ජිවිතයක අගය කිරීමකට බඳුන් නොවන  මමත්  විසන්ධි වී  ඇති ලෝකයේ තවත් කොටසක් පමණි. ඇබින්දක් පමණයි.

ඔයා දන්නවානේ අහසක්. අනන්තයක් වගේ. නිල් ආකාශ. දම් ආකාශ.  අහස කොයි තරම් විශාල ද, නිමක් නැති සිහින සිතුවම් කරන්න පුළුවන් කැන්වසයක්. අහස කියන්නේ එහෙම දේකට. දහවලට වෙනම පැහැයක්. රාත්‍රීයට තවත් පැහැයක්. තරු පිරෙන අහසක්. සඳ පායන අහසක්. මොන තරම් සංසිද්ධි ගොඩක්ද, සතුටින් ඉතිරෙන මිනිස්සුන්ට අහස කියන්නේම කාව්‍යක්. නාට්‍යයක්. ගීතයක්. චිත්‍රයක්. මේ කුමක් හෝ විය හැකියි. ඔයා දන්නවද ලෝකයේ ඇබින්දක් තරමක කොටසක් පමණක් වු මනුස්සයෙකුට  අහස හිස් වපසරියක් පමණක් බව. නිල් හෝ දම්, දහවල  හෝ රාත්‍රීය වේවා සියල්ලම  එක හා සමාන ලෙස දැනෙන.  තවදුරටත්  ආශ්වාදයක් ගෙන නොඑන ,  පුදුමයෙන් පිරවීමක් තවදුරටත් සිදු නොකරන. හිස්බව පමණක්  පිළිබිඹු කරන. ඔයා දන්නවා මිනිසුන් අහස දිහා බලාගෙන සිහින දකිනවා. රාත්‍රීයට තරු  අතරින් විශ්වයට සම්බන්ධයක්, සබඳතාවයක් හොයනවා. ඒත් අළු පැහැති ඇබින්දක් තරම් කොටසක් වු මට හිස ඔසවා අහස දිහා බැලූ විට  හිස් බව හැර වෙන කිසිවක් පෙනෙන්නේ නැහැ.   ආදරයක් නොලැබුණ, ⁣ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට  අහස කියන්නේ අහසක් විතරයි.  වචනයක් පමණක් උන. එහෙම අහසක් ආදරය නොලැබෙන මනුස්සයෙකුට ලෝකය ඉදිරියේ  තමන් කොතරම් කුඩා හා නොවැදගත් දැයි යන්න සිහිපත් කරවන යමක් පමණයි. 

ඔයා දන්නවනේ තුහින වැස්සක්. ඒ වැස්ස ප්‍රබෝධමත් විය යුතුයි, වැස්සක් කියන්නේ අලුත් වීමේ පොරොන්දුවක්. එහෙම නැත්නම් ජීවිතයක් පණ ගැන්වීමේ බලාපොරොත්තුවක්. මිදුම් සහිත දිනයක වැස්සක ගුළි වෙන මිනිස්සු. තුහින සීතලට පොරෝන බෙදා ගන්න මිනිස්සු. ජනේලයක් ඉස්සරහා වැස්ස දිහා බලාගෙන පොතක තනි වෙන මිනිස්සු. ඔවුන් වැස්ස විදින්න එක එක හේතු හොයා ගන්නවා. උණුසුම් දියර පානයක් පවා හොඳ හේතුවක්. එහෙම තමයි ආද⁣රයෙන් පිරුණු මිනිස්සු. ඒත් ආදරය නොලැබුණ, ආදරයක් නොලැබෙන මනුස්සයෙකුට නම් වැස්ස කියන්නේ අහසින් වැටෙන වතුර බිංදු ටිකක් විතරයි. එහි සීතලක් දැනුනත්  උදාසීන කරවන හැඟිමකින් හිත දියාරු කරවීමක් පමණයි.  එහෙම වැස්සකින් පවා මගේ දුක, ආදරේ නොලබන මනුස්සයෙකුගේ දුක හේදිලා යන්නෑ.  ආත්මයක් පිරිසිදු වෙන්නෑ. ඔයාට මිහිරි හැඟිමක් ගෙන එන වැස්ස  මට තව තවත් හුදකලා බවක් තනිකමක් ගෙන එනවා විතරයි. මිනිසුන් වැස්සේ කවි ලියනවා.  එහි රිද්මයෙන් පවා සැනසීමක් ලබා ගන්නවා.  මම දකින්නේ අළු වලාකුළු සහ තෙත් වීදි පමණයි. එය හිසට සහ පාද වලට මහත් කරදරයක්. තෙත් බවත්, සීතලත් පීඩාවක්. ආදරය නොලැබුණ, ආදරය නොලැබෙන මනුස්සයෙකුට  වැස්ස කියන්නේ  වැස්සක් විතරයි.  තවදුරටත් වැස්ස මට ස්පර්ශ  කරන්න බැහැ. වියළි හදවතක් තවදුරටත් සිහිල් කරවන්න බැහැ.  කොතරම් අකාරුණික බවක් දැනෙනවා උනත් අළු පැහැති දුරස්ථ මනුස්සයෙකුට  තවත් එක දෙයක් පමණයි. එක අංගයක් පමණයි.

ඔයා දැන් දන්නවා ආදරය නොලැබෙන මනුස්සයෙක් මොන වගේද කියන්න. එහෙම මනුස්සයෙකුගේ  මාර්ගය මොකක්ද කියන්න. වර්ණවලින් පිරවුණ ජිවිත  මැද  අළු පැහැයෙන් වර්ණාලේප උන,  සැනසීමක් ලබා දිය යුතු නිවසක් මැද තනි උන, සතුට ගෙන දිය යුතු මල්, බලාපොරොත්තු තැබිය යුතු අහසක් සහ ආශ්වාදජනක වර්ෂාව - මේ සියල්ල  අහිමි කර ගත් මනුස්සයෙක්.

ඉතිං මට හිතෙනවා මනුස්සයෙකුට මේ ලෝකේ ආදරේ නැතිව යනවා ආදරේ නොලැබෙනවා  කියන්නේ ඒ මනුස්සයා හරියට ඇවිදින මළ මිනියක් වගේ වෙනවා  කියලා. ඒ උනත් එහෙම මළ මිනියකට උනත් දවසකදී අවර්ණ පැවැත්මෙන් මිදීමට උවමනාවක් ඇති වෙන්න පුළුවන්, ඒත් නොහැකියාවෙන් ජීවිතය ඒකවර්ණයෙන් දකිමින් ඉන්නවා වෙන්නත් පුළුවන්. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.එහෙම තමයි ආදරේ නොලැබුණ, ආදරේ නොලැබෙන මිනිස්සු. කොතනක හරි හිර වෙනවා. සදහටම. කිසිම ගැළවීමක් නැතිව. හරියටම මම එක තැනක නතර වෙලා හිර වෙලා ඉන්නවා වගේ.

Monday, April 22, 2024

ඔබේ පැමිණීම

 "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?"


මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ වෙද්දීත් ඒ නකුටාගේ කන් වල  වහලා හිටපු කිනිතුල්ලෝ දෙතුන් දෙනෙක්ව ගලවලා අයින් කරලා තිබ්බා. අපි මෙතන නතර උනේ එක පාරටම කඩාගෙන වැටුණු වැස්සකට. ප්‍රතිභාට ඕන උනේ වැස්සේම ගමන යන්න උනත් මට ඕන උනේ නෑ යටකලිසම තෙමෙන තරමට වහින වැස්සේ තෙතබරියන් වෙන්න. ඉතිං වැස්ස යාන්තම් වැටීගෙන එනකොට ඉස්සරවෙලාම හම්බුණ රොටී කඩේ ගාව මම බයිසිකලේ නැවැත්තුවා. ඒ නැවැත්තිල්ලට ප්‍රතිභාගේ හිතේ කැමැත්තක් ඇති උනේ මේ නකුටු බල්ලා උගේ නකුටු නැට්ටත් වනාගෙන ප්‍රතිභාගේ ඇඟේ ඇතිල්ලෙන්න ගත්තට පස්සේ. මට අද ප්‍රතිභාව හම්බුණේ පළවෙනිවතාවට. අපේ පළමු හමුවීමෙන් පැය කීහිපයක් මේ වෙද්දි ගෙවීලා ඉවරයි. මට ප්‍රතිභාව දැනෙන බවක් මාස ගණනක් පුරා අපි අතර හුවමාරු උන කෙටි පණිවිඩ දුරකථන සංවාද වලින් මම තේරුම් අරන් තිබුණත් ප්‍රතිභාව මගේ මුළු ආත්මයටම දැනෙන බව, අපි පළවෙනි වතාවට මුණ ගැහිලා ගෙවිච්ච මේ පැය කිහිපය ඇතුළේ දී මම තහවුරු කර ගත්තා.

"මේ වගේ"

නකුටු බල්ලා ළඟ බිම ඇණ තියාගෙන ඌව හුරතල් කර කර හිටපු ප්‍රතිභා ඔළුව උස්සලා කෙළින්ම මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙලා දුන්න උත්තරේට මාව ගිනියම් වෙන්න ගත්තා.  ඒක ඇත්තටම ඒ උත්තරේ හින්දම නෙවෙයි, ඒ හිනාවෙයි ඒ ඇස් දෙකේ බැල්මයි මගේ හදවත උණුසුම් කෙරෙව්වා. ඒ වෙද්දිත් මම ප්‍රතිභාට, මගේ හදවත ප්‍රතිභාට ආදරේ කරන බව, ආදරේ කරන්න පටන් ගත්ත බව  මට තේරීලා තිබුණේ. ඒත් අපි කතා බහ කරන්න පණිවිඩ හුවමාරු කර ගන්න ගත්ත මුල් වතාවලදීම ප්‍රතිභාගේ කොන්දේසිය උනේ

" මට ආදරේ කරන්න හදන්න එපා. මම මැරෙන්න ඉන්න මනුස්සයෙක්"

පුංචි කෙටි පණිවිඩේකින් උනත් ප්‍රතිභාට මගේ හිතේ කැමැත්තක් ඇති වෙන බවක් ඇගෙව්වොත් ඒ හැම වතාවේදිම එයා ඒක මතක් කරලා පණිවිඩයක් එව්වා.

" මැරෙන්න ලේසියි, ඒත් ජිවත් වෙන එකයි අමාරුයි, ඇයි ඔච්චර හිතන්න පුළුවන් මනුස්සයෙක් වෙලත්  ඇයි ජිවත් වෙන්න ආයෙම උත්සහා නොකරන්නේ"

සමහර විට මම එහෙම යවන පණිවිඩේකට ආපහු උත්තර විදිහට කිසිම පිළිතුරක් නොඑව්වත් තප්පර ගානකට පස්සේ ආයෙ ම සම්බන්ධ වෙන්න බැරි විදිහට මාව බ්ලොක් කරලා දාන පුරුද්දක් එයාට තිබුණා. පහුගිය මාස පහ හයට මම කිප වතාවක්ම එහෙම බ්ලොක් වෙලා හිටියා උනත් එයා ආයෙම මට පැය ගානකට පස්සේ, දවස් කිහිපයකට පස්සෙ  කතා කරනවා. ඒක පුරුද්දක් විදිහට සිද්ධ උන දෙයක්.  අද මේ හමුවීම පවා එයාගේ උවමනාවට සැලසුම් උනත් අවසන් මොහොත දක්වාම කහ පාට ඇඳුමක් ඇඳගෙන ඇත්කඳ වෙහෙර ලඟට ඇවිත් කතා කරන වේලාව වෙනකම් ම මම විශ්වාස කරේ නෑ එයා මේ ගමන යන්න ඒවී කියන එක.  ප්‍රතිභාට හැමදේම එක මොහොතින් අවලංගු කරලා දාන්න තිබුණා හේතුවක් නොකියාම.

" මැරෙන්න හදන මනුස්සයෙක් මෙච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලද මහත්තයා කල්පනා කරන්නේ" ප්‍රතිභා නකුටු බල්ලව අත ඇරලා එහෙම කියාගෙන මගේ ඉස්සරහින් හිට ගත්තා. එයා නැගිට්ටේ මම බලාපොරොත්තු නොවිච්ච වෙලාවක, අපි දෙන්නා අතර දුර තිබුණේ මිලි මීටර් කිහිපයක්, එයා කොච්චර සරලව එහෙම ඇහුවත් බරට ගත්ත හුස්මක් ඇවිත් මගේ මුණ උණුසුම්ව සිප ගත්තා. මට වචන කිහිපයක් ගොත ගැහෙද්දී ප්‍රතිභා මෙච්චර වෙලාවක් ගාණක් නොතිබිච්ච වැස්සෙන් බේරෙන්න වගේ කඩේ ඇතුළට පැන ගත්තා. තවත් තත්පර ගාණකට පස්සේ මම දැක්කේ උණු තේ කෝප්පයක් අතේ තියාගෙන ඒක නිවා ගන්න තොල් වලට ලං කරන ගමන්, රොටී තැටිය ගාව හිටිය ගෑණු කෙනා එක්ක මොනවදෝ කියවමින් හිනා වෙන ප්‍රතිභාව. එයාට ඒ වේලාවේ මාව අමතක වෙලා තිබුණා හෝ මගේ ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන බවක් ඇගෙව්වා.

කොහොම උනත් මගේ හිත බර වෙමින් තිබුණේ, මම සියළුම දොස් වැස්ස පිටින් යැව්වා. ඒ සීතල හිරි පොද වැස්සට මම වෛර කරන බවක් හිතට දැනෙන්න ගත්තා. තද සීතල වෙනුවට මම මගේ ඇතුළතින් දැවෙමින් ගිනි ගනිමින් පිච්චෙමින් ඉන්න බව මට දැනුනා. මට ඕන උනා ප්‍රතිභාව මෙතන තනි කරලා යන්න. එකෙන් මේ දේවල් තව දුර අරන් යන්න නොදී නවත්තන්න කියලා හිතට බල කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් මගේ හිතට දැනෙන්න ගත්තා. මම ආපහු වතාවක් ප්‍රතිභා දිහා බලද්දී එයා එයාගේ කැමරාවත් එක්ක කාර්ය බහුල වෙලා හිටියේ. එක පාරටම මගේ දිහා බලලා අහිංසක විදිහට හිනා උන ප්‍රතිභා ඊලඟ තත්පරේට මගේ පින්තුර කිහිපයක් ගත්තා.

"අපි යමු" ඊළඟ තත්පරේදී ප්‍රතිභා එහෙම කියාගෙන බයික් එක ළඟ. මට වෙන හෝ වෙන්න නියමිත කිසිම දෙයක් ගැන හිතා ගන්න බැරි උනත් මම එයාට නතු වෙමින් හිටියේ. ප්‍රතිභාට  ගමන එතනින් නතර කරන්න උවමනා වේලා තිබුණා. බයිසිකලේ නුවර පාරට හරවන්න නොදි ආපහු කුරුණෑගල පැත්තට හරවන්න කියද්දිත් මම ඒ ඇයි කියලා ප්‍රතිභාගෙන් ඇහුවේ නෑ. මට කතා කරන්න බැරි  තරමට වචන අමතක වෙලා තිබුණා කියලා ඒ වේලාවේදි දැනුණා.

අවසානේදී මම වචන හොයා ගත්තේ අපි අපේ ගමනාන්තයට ලඟා වෙන්න විනාඩි කිහිපයක් තියෙද්දී.

"ඔයා ඔයාගේ ජිවිතේ සංකිර්ණ කර ගන්නවා" මගේ ඒ වචන සමහර විට හුළඟේ ගහ ගෙන යන්න ඇති එයා නිශ්ශබ්දවම හිටියා. මෙච්චර දුරක් එනකම් මම එයා දිහා පැති කණ්ණාඩියෙන් බලමින් ආවත් එයාගේ මුණෙන් කිසිම දුකක් පසුතැවීමක් පෙනුණේ නෑ. මට පෙනුණේ හුළඟ  එක්ක හිනා වෙමින් ඒ හුළඟ එක්ක මිතුරුකමක් හදා ගන්න උත්සහ කරන ප්‍රතිභාගේ සියුමැලි සුදු මුණ විතරයි. ඒ කොයිතරම් ලෝභ හිතෙන පින්තුරයක් ද කියලා මම කල්පනා කළා මිසක් ඒ හැඟිම් වචන කරන්න විදිහක් දැනන් උන්නෑ.

"ජිවත් වෙන්න ඕන තරම් හේතු ඔයාට තියෙනවා, ජිවිතේ ඕනම දෙයක් පටන් ගන්න හැකියාවක් තියෙනවා, ඔයාට ඕනම කෙනෙක් ආදරේ කරයි, මේ මම උනත්, ඔයා ඒක විශ්වාස නොකළත්," එයාගේ නිශ්ශබ්දතාවය මට වචන එකතු කර ගන්න ශක්තියක් උනා. මේ හැම දෙයක්ම හුළඟේ ගහ ගෙන යන බව දැන දැනම මම හිතේ තියෙන හැම දෙයක්ම කියලා දානවා කියලා හිතා ගත්තා. සමහර විට ඒක එක විදිහක නිදහස් වීමක් වෙන්න පුළුවන් බව මට දැනෙමින් තිබුණා.

" ඇත්තටම මම ඔයාට ආදරෙයි, ඇයි අපිට බැරි එකට ගමනක් යන්න. ඔයාගේ ඔය විකාර අදහස අත ඇරලා. ඔයා නොදන්නවා උනාට ඔයා වටේ කොච්චර මිනිස්සු ඉන්නවද? ඔයා ලියන දේවලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ පින්තුර වලට ආදරේ කරන මිනිස්සු, ඔයාගේ කතාවලට ආදරේ කරන මිනිස්සු.ඔයාගේ කවි වලට ආදරේ කරන මිනිස්සු, ඒ හැමෝටමත් වැඩියෙන් මම ඔයාට ආදරේ කරනවා. "

මගේ වචන නැවතුනේ අපි ගමනාන්තයට ආව නිසා. ඇත්කඳ වෙහෙර පේන මානෙදි බයිසිකලේ නතර කරන්න කියලා ප්‍රතිභා  මගේ උරහිසට තට්ටුවක් දැම්මා. මෙච්චර වෙලාවක් මම කියවපු වචන නිකම්ම නිකම් හිස් වචන ටිකක් බවට පත් වෙලා තිබුණා. මගේ හිත බර වෙමින් තිබුණේ. එයාට වැඩි උනන්දුවක් තිබුණේ නෑ ඒ වේලාවේ බයිසිකලෙන් බහින්න. ප්‍රතිභා විනාඩි ගාණක් එහෙමම හිටියා. විනාඩි පහ හයකට පස්සේ එයා හිමින් බයිසිකලෙන් බැහැලා මගේ ලඟට ආවා. තත්පර කිහිපයක් මගේ දිහා බලාගෙන ඉදලා මගේ වම් අත අල්ල ගත්තා. ඒ වේලාවේ මම හිටියෙ කොහෙ හරි අතරමං වෙලා. මම ප්‍රතිභා  දිහා බලන්න උනන්දුවක් නැතුවම එයාගේ අත් දෙකේ පැටළුන මගේ වම් අත දිහා බලාගෙන හිටියා. තත්පර කිහිපයක්ම. ඒත් මට ඒ කාලය පැය ගණනාවක්. ප්‍රතිභා හිමිට කතා කරන්න ගත්තේ මට එහෙම දැනෙමින් තියෙද්දි. සාමාන්‍යයෙන් ප්‍රතිභා ඒ විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. වචන අස්සෙන් උගුර හිර වෙන එක වළක්වන්න හරි, ඉකි ගැහෙන එක වළක්වන්න හරි, එහෙම නැත්නම් ඇස් වලට කඳුළු උනන එක වලක්වන්න හරි එයා ඒ විදිහ තෝර ගන්න ඇති. මොන දේ උනත් ප්‍රතිභා ට  උවමනා වෙන්න නැතිව ඇති එයාගේ දුක හරි, කඳුළු හරි මගේ ඉස්සරහා පෙන්නන්න.

"සමහරවිට ඔයාට තාම තේරිලා නැතිව ඇති,  මම තව මනුස්සයෙක් එක්ක එකට ගමනක් යන එක ගැනවත්, තාවකාලිකව සතුටක් හොයාගන්න එක ගැනවත් තව දුරටත් කැමත්තක් නැති බව. ඔයාට හිතාගන්නවත් බැරි වෙයි ඒක මගේම පැවැත්ම සහ මගේ ගැන, මට ගන්න පුළුවන් කොයි තරම් සාධාරණ තිරණයක්ද කියන එක. මට කාත් එක්කවත් අරගලයක් නැහැ. ඒ වගේම මට කිසි කෙනෙකුගෙන් සාමයක් හොයාගන්නත් බෑ.  මට වේදනාවක් ඇති කරපු ලෝකයෙක් එක්ක  තවදුරටත් ආදරේ ගැන කතා කරන්න මට හිතෙන්නෑ. සමහර විට මම වැරදි ඇති. ඒත් ඒ වැරුද්ද පෙන්වලා දෙන මිනිස්සු ගැන හිතන්නවත් මට උනන්දුවක්, උවමනාවක් නැහැ. හෙට ඉර පායනවා කියලා අපි දන්නවා. මිනිස්සු ඒක අවිශ්වාස කරන්නෑ. මොකද අපි ජිවිතේ දකින්නේ ඒ දේ විතරයි. අපි ඒක විශ්වාස කරනවා.ඒ විශ්වාසය එක්ක බැඳීමක් හදා ගන්නවා. ඒත් මට ඕන එහෙම විශ්වාස කරන්න තරම් මිනිස්සු  බැදෙන ග්‍රහණයෙන් ඈත් වෙන්න. මගේම තීරණයක්  එක්ක නිහඬවම   සැනසීමක් අත් විඳින්නයි. මට මේ ජිවිතේ දී ලබා ගන්න ඉතුරු ඒ සැනසීම විතරයි"

මට හිතුනේ ප්‍රතිභාගේ ඒ වචන මගේ කන් වලට ඇහෙන් නැතුව හුළඟේ විසිරිලා ගියා නම් කියලා. මම එහෙමම විනාඩි ගාණක් බයිසිකලේ වාඩි වෙලා හිටියා. ප්‍රතිභා  යන්න ගියා. මම වචනයක් කියන්නත් කලින්ම. කොහොම උනත් මට කියන්න තරම් වචනයක්වත් හොයා ගන්න බැරිව හිටියේ. තවත් විනාඩි කිපයක් ගත උනාටත් පස්සේ මම පියවි සිහියට ආවේ මගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත නිසා. දුරකථනයට පිළිතුරු දෙන අතරේදි මම දැක්කා ප්‍රතිභාගේ කැමරා බෑග් එක පිටි පස්සේ ශිට් එක උඩ තියෙනවා. මම ප්‍රතිභාගේ අංකය ඇමතුවත් එයා දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණා. මම තව දුරටත් උත්සහා කිරිමේන් පලක් නැහැ කියලා මට තේරුම් ගැන්නුවේ, මගේ කන් ඇතුළේ දෝංකාර දුන්න එයාගේ අන්තිම වචන ටික. හදවත ඇතුළෙන් රස්නයට පිට වෙච්ච හැඟිමක් කඳුළක් වෙලා වැටෙද්දී මමත් මගේ දුරකථනය ඒ මොහොතේම විසන්ධි කරලා දැම්මා.


.................................................................................................................
.................................................................................................................
.................................................................................................................


⁣" මේ ෆෝන් එක ඔයාගේද? "

සත්සරණි  බඩත් උස්සන් පැද්දී පැද්දි මගේ ලඟට ආවේ ෆෝන් එකට හිනා වේවි.

" ඔයා fb නෑ කිව්වට ඉස්සර මේ ඉදලා තියෙන්නේ," "ඔයාගේ නේද මේ එකවුන්ට් එක"
"මොකක්ද අනේ ඒකේ නම ඇත්තට"
"සන්තියාගෝ නම් සැරිසරන්නා, ඉස්සර ට්‍රැවල් කරපු නිසාද ඒ නම දා ගත්තේ"
" මම නිකං ඔන් කරලා බැලුවේ අනේහ්"
" මං මේ ඉඳිකට්ටක් හොයන්න අර පෙට්ටිය අදිද්දි හම්බුනේ, ඔයාගේ වෙන්නැති කියලා නිකමට ඔන් කරේ" 
" ආ මේ ඔයා කඩේ යනවා කිව්වා නෙහ්, අම්මා කිව්වා පොල් තෙලු යි පහන් වැටී ගේන්න කියලා, හවස බෝධි පුජාවට යන්න. ආ ඔයත් එනවානේ හ් හවස"

සත්සරණි ෆෝන් එක මගේ අතට දෙන ගමන් අහපු ප්‍රශ්න වලට කිසිම උත්තරයක් බලාපොරොත්තු ⁣උනේ නැතුව ම, මට වචනයක්වත් කියන්න තරම් කාලයක් නොදිම ආයෙම ගේ ඇතුළට ගියා. මේ අවුරුදු එක හාමරම ⁣සත්සරණි⁣ගේ හැසිරීම එහෙමයි.
මගේන් දාහක් දේවල් ඇහුවත් ඒ කිසිම දේකට උත්තර බලාපොරොත්තු නොවී හිටියා. එහෙම දෙයක් ඇහුවත් එයා ඒකට මගේ උත්තරේ දැනගෙන හිටියා වගේ හැසිරුණා. ඇත්තටම එයා මගේ උත්තර දැනගෙන ඉන්න ඇති.  ඒකට හේතු උනේ මම උත්තර නොදීම ද එහෙම නැත්නම් එයා උත්තර බලාපොරොත්තු නොවුන එකම ද කියලා මම මෙච්චර කාලයකට හිතලා තිබ්බේ නෑ. සමහර විට මම නිහඬ පුද්ගලයෙක් විදිහට එයා දකින්න ඇති, සත්සරණිගෙයි අම්මාගෙයි හිනාවල් ඇහෙන්න ගත්තා කාමරෙන්, අම්මාගේ යාලුවෙකුගේ දුවක් වෙච්ච සත්සරණි අම්මාගේම යෝජනාවකින්  ගෙදර ලේලි වෙලා ආවා. මගේ බිරිඳ වෙලා ආවා. අම්මයි සත්සරණි දවස ගත කරේ එයාලටමවෙන් වේච්ච ⁣එක ලෝකේක. ඒත් අපි අතර ලෝක දෙකක් තියෙනවා නේද කියලා මට දැනුනේ ආයෙම දෙන්නා හිනා වෙන සද්දේ ඇහුණ නිසා. ඒක තාත්තාගේ විහිළුවක්. මගේ හිත බර වෙන්න ගත්තා. මට අයිති නැති ලෝකයක් මේ ගෙදර ඇතුළේ ගොඩ නැඟිලා තියෙනවා කියන්න  මට දැනුනෙත් ඒ වේලාවේ.

ඒ හිතේ බර ගතියෙන්මයි මම "ප්‍රතිභා දිව්‍යාංජලී" කියලා ප්‍රතිභාගේ නම සර්ච් කළේ. කැමාරව අතින් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ එදා විදිහටම තිබුණා. කිසිම වෙනසක් නැතිව. එහෙම වෙනස් කරන්න  උවමනාවක් වෙන්න නැතුව ඇති කියලා දැනෙද්දි මගේ අතයි හිතයි වේව්ලන්න ගත්තා. ෆෝන් එක ඔෆ් කරලා පැත්තකින් තියන්න හිතුවත් මොකක්දෝ හිතෙන් ආව බල කිරිල්ලකට මට ප්‍රතිභාගේ පින්තුර දකින්න ඕන උනා. මට හම්බවුන පළවෙනි සටහන මීට අවුරුදු දෙකකට කලින් දිනයක් සටහන් වේලා තිබුණා.  ඒ එයාගේ අන්තිම සටහන වෙන්න ඇති. ඒත් ආයෙමත්  මගේ හිත ඒ සටහන කියවන්න බල කළා. මොන දේ උනත් ඒක හිතට දරා ගන්න පුළුවන් නිහඬකමක් මේ අවුරුදු දෙක තිස්සේ  හිත ඇතුළේ ගොඩ නැඟිලා තිබුණා.

"මම ගත්ත සමහර තීරණ වෙනස් නොවන බව සහ වෙනස් නොකරන බවට දිවුරා පෙරොන්දු දුන් අවස්ථා  මගේ ජීවිතයේ තියෙනවා.  එහෙම, දැඩි තීරණ  හදවත  තුළටම කිඳා බැස ඇති අවස්ථාවක උනත්, මගේ පැවැත්ම වෙනුවෙන් ම, ජිවිතය ජිවත් කර විය හැකි තරම් පැවතීමේ ආශාවන්ගේ දිශාවට ජිවිතය තල්ලු කරන්නට වන අවස්ථා, එහෙම නැත්නම් දැඩි හෝ සෘජු තීරණ වඩාත්  මෘදු හා මොළොක්  තීරණයක් දක්වා මාරු කරන ලෙස හදවත ඉල්ලා සිටින දුර්ලභ අවස්ථා ජිවිතේ ට උදා වෙන්න පුළුවන්. ඒක එක්තරා කුණාටුවක් මැදින් ගමන් කරලා අවසානයේ කුඩා නීල වර්ණ දුපතක් සොයා ගන්නවා වගේ හැඟිමක්. මම පසුගිය දවස් කිහිපය ගත කරමින් සිටියේ එවන් කැළඹිමක් සහිත කුණාටු සාගරයක.  කැළඹිලි සහිත සාගරක් වගේ හදවතක් දරන ගැහැනියක් එක්ක, වරින් වර වෙනස් වෙමින්  කුණාටු ස්වරූප ගන්නා හදවතක් සහිත ගැහැනියක්  එක්ක වඩාත් කරුණාවෙන් යුතුව නිර්භීතව ගමන් කිරීමට ධෛර්යය ඇත්තේ ආත්මීය හදවතක් සහිත  පුද්ගලයෙකුට පමණක් බව ඒ කුණාටුව මැද්දේ දී මට අවබෝධ කර ගන්න පුළුවන් උනා. හරිම සරළ කාරණාවක් වගේ.

පහුගිය දවස්වල මගේ ආත්මයම වසාගෙන පැතිරුණ   නිහඬ කෙඳිරිලික්, මට ඒත්තු ගැන්නුවා, ආත්මීය  මනුස්සයෙක්  එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන නිමා කිරීම කොයි තරම් සැනසිලිදායක විය හැකිද යන වග. සීතලම මීදුම පිරුණු පාරක, කොයි තරම් නම් උණුහුම් විය හැකිද යන වග.  වැසි සහිත දහවලක පවා  පෙරන ලද කෝපිවල සුවඳ විඳිම කොයිතරම් නැවුම් හැඟිමක් විය හැකිද යන වග. බෙදාගත් කෑමක්  අනාගෙන කවා ගැනීම කොයිතරම් මෘදු හැඟිමක් විය හැකිද යන වග, නිස්කලංක නිවහනක ආදරණීය සුරතලකු  වැලඳ ගැනීම කොයි තරම් ආදරණිය විය හැකිද යන වග. මහ රෑක මැදියම තුරුළුව කඳුළු පිහදමමින් බාල බොළඳ සිනමා පටියක් නැරඹිම කොයිතරම් ප්‍රේමණිය විය හැකිද යන වග. බඳා වැළඳ ගනිමින්, හාදු තවරමින් යන ඉතා දුර ගමනක් කොයි තරම් සුරක්ෂිත විය හැකිද යන වග.මේ සියලු ආශාවන්, බලාපොරොත්තු මේ වන විටත් මගේ හදවත තුළ නැංගුරම් ලා අවසානයි.

  මෙය මම පාපොච්චාරණය කරන්නට ලියමි ,  සිහින දැකීම  වරක් මා සහ මගේ හදවත භීතියකින් පුරවා තබා තිබුණි. නමුත් දැන්, ඔබ ඉදිරියේ, සිහින ඉටු විය  හැකි බවක්, සිහින ඉටු වන බවක් දැනෙමින් මගේ හදවත ප්‍රිතියකින්, ප්‍රේමයකින් බැබලෙන්නට පටන් ගෙන ඇති බව ඔබට මෙලෙසින්  පාපොච්චාරණය කරමින් ලියමි.  ඔබේ පැමිණිම,  ඔබේ ස්පර්ශය, මගේ  හදවත  තුළ  මට මා අයිතිය යන  හැඟීමක් ඇති කරවන්නට සමත් වී අවසන්. ඒ හැඟිම ලෞකික සීමාවන් ඉක්මවා යන ගැඹුරු සම්බන්ධයක් බව හදවත මට ප්‍රති උත්තර දෙයි.  එය හරියට තර්කයට සහ තර්කයට පටහැනිව නොබිඳිය හැකි බැඳීමක් ඇති කර ගනිමින් අපගේ ආත්මයන් එකට බැඳීමට නියමිත වූවාක් මෙනි.

  මගේ කැමරාවේ කාචයෙන් ඔබේ රූව කාචගත කර ගත් අවස්ථාවේ, මම ඔබේ  සුන්දරත්වය තුළින් මගේම විය යුතු යැයි බල කරමින් කියන ඕබේ හදවත සමඟ අනුනාද වන ඔබේ ගැඹුරු දෑස්  දුටුවෙමි.  එදා මම මගේ කැමරාව ඔබ ළඟ හිතා මතා ම අත හැර දමා ආවාත්, නොදැනුවත්වම එදා මම ඔබට  මගේ  හදවත ද බාර දී ඇත. ඔබ කෙරෙහි වූ මගේ ආදරය මා තුළ ජිවිතයෙන් නික්ම යාම ප්‍රතික්ෂේප කර, බලාපොරොත්තුවේ දැල්ලක් දල්වා ඇති බව ඔබ දැන ගත යුතුයි.

  ඉතින්, මම හුස්ම හිරකරගෙන,  අපේක්‍ෂාවෙන් හදවත පුරවා ගනිමින් ඔබට ලියමි. ඔබේ දෑතට වාරු වී, ඔබ සමඟ ජීවන ගමන එක්ව යාමට මා බලා සිටින වගත්, වරක් ළඟා විය නොහැකි යැයි පෙනුණු සිහින වැලඳ ගැනීමටත් මා තුළ දැඩි ආශාවක් ඇති කරමින්, මගේ වෙහෙසකර ආත්මයට නව ජීවයක් ලබා දුන්නේ ඔබේ ආදරය බව නොසගවා ලියමි. තවමත් අමනාපයෙන් නොවේ නම්, ඉතිං ඔබ මා අමතන තුරු ආදරෙන්............

මට තව දුරටත් ඒ සටහන කියවගෙන යන්න පුළුවන් කමක් තිබුණේ නෑ.  ඒ ඇස්වලින් වැටෙන කඳුළු නිසාවත්, හිත තද උන නිසාවත් නෙවෙයි, "ප්‍රතිභා දිව්‍යාංජලි" කියන නමත් එක්ක කැමරාවක් අරන් කණ්නාඩියට හිනා වෙලා ඉන්න කළු සුදු පින්තුරේ උඩ පුංචි කොළ පාට එළියක් දැල්වෙන්න ගත්ත බව දැක්ක නිසා.  මගේ වෙව්ලන ඇඟිලි වලින්  ඒ මොහොතේ දී ම දුරකථනය  ක්‍රියා විරහිත උනා.





Saturday, April 20, 2024

පිළිතුරු

 


දිලෙන අහසක
නොදිලෙනා තරුවකින්
නොඅසන්න ඊට හේතුව
"සත සහශ්‍ර ගණනකට පෙර
දුහුවිලි කුණාටුවක්"
ඒ විය හැකියි එයට උත්තරය

සයුර හමුවන්න පෙරදීම
සීඳී ගිය ගඟුළකින්
නොඅසන්න ඊට හේතුව
"නම ගමත් වගතුගත් නොසොයා
ඉඩෝරයකට පෙම් බැඳීමක්"
ඒ විය හැකියි එයට පිළිතුර

සමතලා තැනිතලා බිමක
හුදකලා උන කන්දකින්
නොඅසන්න ඊට හේතුව
"මල් පිපුණු පුංචි ගසකට
හෙවන වෙන පොරොන්දුවක්"
ඒ විය හැකියි එයට පිළිතුර

රෝස මල් උයනක
මල් නොපිපි ගසකින්
නොඅසන්න ඊට හේතුව
"විසුණු වන පෙති දැක
රළු සුළඟ ගැන ඇති  බියක්"
ඒ විය හැකියි එයට පිළිතුර

බැබලීම සඳට දී
සයුරකට මුවා වන ඉරකින්
නොඅසන්න එයට හේතුව
"ඉරට නැති විය හැකියි
සඳේ බැබලීම තරම් සතුටක්"
ඒ විය හැකියි එයට පිළිතුර

ඉතිං එක දිනකදි
ඔබව විමසන මිනිසුන්ගෙන්
නොඅසන්න එයට හේතුව
කිසිවක්ම නොකියා
නිහඬ වී හිනැහෙන්න
ඒ තමයි  එයට "හොඳම" පිළිතුර



Friday, February 16, 2024

C ට ආදරෙන්

 ආදරණීය C,


මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැහැ, අපි කොහොමත් දුරස්ථ ජීවින් විදිහට කාලයක් තිස්සේ අපේ ජිවන මාර්ග වල ඇවිදිමින් ඉන්නවා.

ඒත් දන්නවද C, සුදු පාට වෙරළ තීරයත්, එක පිට එක රෑළි නැඟෙන ඔබේත් - මගෙත් ප්‍රියතම දසුනක් වු මුහුද දිහා ඉගිල්ලෙන ගුවන් යානයේ සිට මම බලාගෙන හිටියා, ඈතින් ඈතට යන තුරුම, බොඳ වෙලා යන තුරුම, මේ සීමාව කුමක්දැයි හඳුනාගත නොහැකි වනතුරුම, මම බලාගෙන හිටියා. හුස්ම වැටෙන වේගය ටිකෙන් ටික වැඩි වෙද්දී, මහා තදැති බරකින් හදවත තෙරපෙන හැඟිමක් මට දැනෙන්නට ගනිද්දිත්, සියළු ප්‍රියයන්ගෙන් වෙන්ව යන දුක හා ශෝකය මිශ්‍ර හැඟීමකින් දෑස් බොඳ වෙද්දීත්, ⁣කොහේදෝ තැනක සිටි ඔබේ සතුටු සිනහ පිරි මුහුණ ටිකෙන් ටික මැ⁣වෙන්නට වීම, ඔබේ මුදුම කටහඬ ඇසෙන්නට වීම, ඔබෙන් මා සදහටම වෙන්ව යන බවත්, මා ඔබට සදහටම සමු දිය යුතු බවත්  හදවතට දැනෙන්නට උනා C.

කාලය විසින් සහ සමහර  තීරණ විසින් අපව ⁣දෙපසකට  කරද්දීත්, ඔබට මා නොහඳුන, නොදන්නා, නොදැනෙන මිනිස් ප්‍රාණියෙකු බවට පමණක් පත්වෙද්දීත්, ඔබ - මට ලබා දුන් ආදරය පිරුණු නම් එකින් එක නෑසී යද්දීත්, ඔබ මගෙන් සදහටම සමුගත් වගක් මට නොදැනුනේ කිමදැයි මම නොදන්නෙමි.

සමහර විටෙක ඔබේ හුස්මක් සිහින් සුළඟේ  පාවී එතැයි යන හැඟිමකින් හෝ ඔබේ කටහඬ කොහෙ හෝ සිට පාවී මගේ සවනත ගැටේවී යැයි යන හැඟීමෙන් මා වේළි ඉන්නට ඇති. එසේත් නොමැති නම් ඔබට නොදැනෙන පරිදි, ඔබ නොසිතන පරිදි, ඔබට නොපෙනෙන පරිදි, එහෙත් ඔබ දන්නා අයුරින් ඉතා දුරන් හිඳ, එකම එක තත්පරයකට අවැසි විටෙක හෝ ඔබ මතකයට එන විටෙක, තවදුරටත් ඔබව දකින්නට නොලැබෙන බව සිතට දැනීම වන්නට ඇති. එය කොතරම් බොළඳ දැයි මා දන්නවා C. එත් ඒ බොළඳ බව ගෙවී යන තත්පරයක් පසා මගේ  මතකයට ඔබේ වෙනස් වන රුව එකතු කරදුන්නා C.

ඔව්, ඔබ මා ගැන දන්නා පරිදිම, මට ඔබව හෝ ඔබ කෙරෙහි වූ ප්‍රේමය අත හැරීමට නොහැකි බව ඔබ දන්නවා C, ප්‍රේමයක් මේ තරම් විශාලයැයි මා කවරදාකවත් ⁣නොසිතු බවත් ඔබ දන්නවා C. එවන් ප්‍රේමයක් මගේ හදවත වෙතැයි මම කෙදිනකවත් විශ්වාස නොකළ බවත් ඔබ දන්නවා C.

එහෙත්, ඔබ ගැන මා දන්නා පරිදි, ඔබේ හදවතත්,  පිරි  ඉතිරුණු  ප්‍රේමයත්  ඉතා විශාල යැයි ඔබ පවසද්දී, මා ඔබව විශ්වාස කළ වග ඔබ දන්නවද C. ඔබට මා හෝ මා කෙරෙහි වු ප්‍රේමය අත හැරීමට හැකි වුයේ කෙසේදැයි  අද ද මා නොදන්නෙමි. එහෙත් එය  කෙසේ සිදුවුණි දැයි විමසිමත්, ඔබ කෙලෙස මා අමතක කළේදැයි සිතිමත්, දැන් දැන් මා වෙහෙසට පත් කරවනවා C. 

මා ඔබට ප්‍රේම කිරීම නවතා දමන්නට තරම් දුර්වල නොවන බව මා දන්නවා C. එහෙත් ඔබෙන් මා සදහටම සමුගන්නා බව  දැනීම, ඉතා ඈතකදී, සුදු පැහැති වළාකුළු පමණක් කවුළුවකින් ඇස ගැටෙන විටකදී පවා, හිතට සහනයක් වී දැනෙනවා C.

ඉතිං ඔබේ හුස්මක් පවා නොගැටෙන බිමක,  ඔබේ කටහඬ පවා නෑසෙන තැනක, ඔබව දැකීමට හිතට බල කළ නොහැකි මොහොතක, මම වෙනස් මගක ගමන් කරනවා C. ඒත් ඒ හැම පියවර සටහනක්ම ඔ⁣බ වෙනුවෙන් ඔබේ නමින් ප්‍රේමයක් දරාවී, ප්‍රේමයක ලියාවී.

මම ඉතා ඈතක සිට
A
2024.01.17












Wednesday, July 26, 2023

C ට ආදරෙන්,


ආදරණීය C,

මේ සටහන තබද්දී වෙලාව මධ්‍යම රාත්‍රීය පසුව ගොසින්, බිත්ති ඔරලෝසුවේ වේලාව 1.08 ලෙස සටහන් වෙලා.

මහ සීත රෑයක්, පාළු හුදකලාවක්, තනිකමක්, ඕනෑම විදිහට හැදින්විය හැකි නින්ද අහලකවත් නැති රාත්‍රීයක මම සුපුරුදු පරිදි කෙටි කෑමක් සදාගෙන සැලෝලයිඩ් පටයක ගිලෙමින් සිටියේ. හදිසියේ ඔබ මගේ හිතට පැමිණිම අහම්බයක් නෙවෙයි. මේ දිග හැරෙන රූප එකින් එකට මට ඔබවත් - මා අමතක කර දැමිය යුතු අපේ මතකත් එකින් එක මතකයට නන්වනවා. කුඩා කුඩා දේවල් වෙනුවෙන් සතුටු වන්නට හුරුව සිටින මට කුඩා කුඩා දේවල් වලට දුක සිතිමත් එක හා සමානයි C, 

දුක සහ සතුට අතර අත්තේ මිලි දශමයක වෙනසක් බව මම ඉගෙන ගන්නේ ඔබේ සමු ගැනීමෙන් අනතුරවයි  C. කිසිඳු පසුතැවීමක් නොතිබු ජිවිතයට පසු තැවීම, මේ වේදනාකාරි බව, දුක, කඳුල ගෙන ආවේ ඔබයි C, එහෙත් මෙය ලියන්නේ චෝදනා ස්වරූපයකින් නොවන බව ඔබට කිව යුතුයි. ඔබට ආදරය කළ තරමටම, ඔබට ආදරය කරන තරමටම ඔබව අමතක කර දැමීය නොහැකි වීම, ඔබව අත හැරීමට නොහැකි වීම, මගේ වරදක් මිස එය ඔබගේ වරදක් නොවන බව මම කිව යුතුයි C.

ජිවිතේ කියන්නේ මහ පුදුමාකාර එකකැයි සිතෙන විටක, හිතේ සිතුවිලි ඔබ හා පැවසීමට අවැසි උවත් අප අතර ගොඩ නැඟි ඇති පරතරය, එය කුඩා එකක් නොවන බැවින් දහසකුත් සිතුවිලි උපන් සිත තුළම මිය යන්නට ඉඩදීම සිදු කළ යුතුයි C. පරාජිත ප්‍රේමයක තව දුරටත් ශේෂ වු මිතුරුකමක් හෝ නොමැති බැවින්,  ගෙවුණු සමහර සැදෑවන් වල දී මෙන් ගැඹුරු සංවාදයක ඔබට මට පැටළීමට නොහැකි වීම මගේ සිතට පාළුවක් එකකු කරනවා C.

එවන් සංවාදයක අග, තව දුරටත් යමක් පැවසීමට, යම් තර්කයක් ගොඩ නැඟිමට ඔබ අපොහොසත් වු විටෙක, ඔබ සතුවු උපමා, උපහැරන, උපුටන අවසන් වු කළක හෝ මට දිනුම දෙන්නට ඔබට අවැසි වු විටෙක, ඔබ නිහඬ වී මගේ දෑසට එබී මද සිනහවක් නඟන්නට හුරුව සිටි හැටි ඔබට අදටත් මතකදැයි මට ඈසිමට සිතෙයි C.  ඔබේ දෑසේ ඇදෙන සිනහවෙන් මා ගොළුව ගිය විට දී ඔබේත් මගේත් දෑස් පමණක් මුවින් නොපැවසු දහසකුත් වදන් එකතු කර දොඩමළු වන සැටි අද ද මා සිහිනයක පරිද්දෙන් මතකයට නඟා, අතීතයට සිනහාවන්නට පුරුදු වී ඇති සැටිත්, එය මට ද විශ්වාස කළ නොහැකි බවත් ඔබ දන්නවද C.

ඉතා දුර ඈත රටවල් දෙකක සිට ආදරය කරන පෙම්වතියක, තම අදරවන්තයාගේ උපන් දිනය ට  යම් කිසි පුදුම කිරීමක් වෙනුවෙන්, ඔහු දකින්නට සැලසුම් කරන අයුරු සිනමාපටියේ දිග හැරෙන විට ඉන් මම මා දැකීම වැරුද්දක් වන්නට ඉඩක් තිබිය නොහැකි බව ඔබ දන්නවා C. කුඩා කුඩා පුදුම කිරීම් මැද ගෙවී ගිය අවුරුදු ගණනක මතකය තත්පරයෙන් තත්පරය අලුත්වෙද්දී මේ කුඩා ඇස් කඳුළු වලින් බොඳ වී තව දුරටත් සිනමාපටියේ ගිළි දෑස් වෙහෙස කරවන්නට නොහැකි තරමට  කාංසියක් දැනෙනවා C.

මම නැවතත් බිත්ති ඔරලෝසුවට දෑස් යොමන්නේ තෙමුණු කඳුලෙන් උවත්,  එහි සටහන් වන වේලාව, ඔබේ උපන් දිනය පසු වී පැය දෙකකුත් විනාඩි කිහිපයක් ඉකුත් වී ඇති බව මට මතක් කරවනවා. සමහර විටෙක ජිවිතයට ගැඹුරු සංවාදයක් අවැසි C. මෙවන් වු රැයක මිනිස් හදවතකට එවන් වු සංවාදයකින් කුමන ඵලක් දැයි සිතෙන නමුත්, හුස්ම ගන්නා මිනිස් ජිවිතයකට එවැනි සංවාද අවැසිමයි C. මුලක් මැදක් අගක් ගලපා ගත නොහැකි සිතුවිලි සමුහයක් මැදින් මම ඔබට ගත වූ දිනය වෙනුවෙන් හදවතින් සුබ පතනවා C.

ආදරයක් පරිද්දෙන් නැතත් ඔබ මතකයක් පරිද්දෙන් හෝ හදවත තුළ පැවතිය යුතුයි C, ජිවිතයේ සමහර හිස් තැන් පිරවෙනවට වඩා අලංකාර හිස් තැනක් ලෙස ම පැවතිමෙන් බව කෙනෙකුට වටහා දිය නොහැකි බව මම දන්නවා. එහෙත් ඔබ එපරිද්දෙන් පැවතිය යුතුයි C. මගේ හදවත තුළ ඔබ පැවතිය යුතුයි. තවත් වසරක් නොව වසර සීයයක් හෝ කෙනෙකුට තේරුම් ගත නොහැකි පරිදි තේරුම් කර දිය නොහැකි පරිදි ඔබ මේ කැබළි වු  හදවත තුළ පැවතිය යුතුයි.


A.
2023.06.10




Sunday, April 23, 2023

එක් කුඩා තිතක්

එක කුඩා තිතක් වීම. ඒක මොන තරම් වේදනාකාරි දෙයක් ද? සෑම නොසලකා හැරීමකම පිටු පස ඒ ගුප්ත වු වේදනාව තියෙනවා. සම මතට වැටී නහර පසාරු කරමින් ඒ වේදනාව සිරුර පුරාම ගලා යන්න පටන් ගන්නවා. කුඩා නොසලකා හැරීමක පවා, ඒ වේදනාව ගැබ්වෙනවා. එකකට පස්සේ එකක්, ඉවරයක් නැති නොසලකා හැරිම් මැද්දේ සිදුවන තනිවීම්, ජිවිතය ගැඹුරු අගාධයකට ඇද දමනවා. මට දැනෙනවා මම ඒ අගාධයෙ  ටිකෙන් ටික ගිලෙමින් පවතින වග. අඳුර,දුගඳ,  නාස්පුඩු අතරින් ගමන් කරනවා දැනෙනවා.  ජිවිතේ අළු පැහැතිව, තෙතබරිතව දැනෙනවා.

මේ නොසලකා හැරිම් හැමකකටම පසුව ඇති වන හුදකලාව විසින් තව තවත් කුඩා තිතක් බවට මා පත් කර ඇති බව දැනෙනවා.

වේදනාවෙන් තනිවන සෑම මොහොතකම දෝංකාර දෙන සංගීතයක් හිස තුළ භ්‍රමණය වෙන වග මට දැනෙනවා. කිසිම තාලයකට අයත් නැති, කිසිම ස්වරයකින් නැවත නිර්මාණය කළ නොහැකි, කිසිම සංගීත භාණ්ඩයින් නැවත වාදනය කළ නොහැකි රාවයක් එය. යම් කිසි හඬා වැටීමක ආරම්භක හඬ වගේම සතුටින් පිරුණු සිනාසීමක අවසන්ම තත්පර කිහිපයේදී ගලා යන හඬ ඒ තුළ තියෙනවා. මට ඇහෙනවා.මට දැනෙනවා. ඇසී නැසී යන වේදනාකාරී විලාපයකට අයත් ව තිබු නොතිබු  ඒ සංගීත රාවය
තව දුරටත් මා කුඩා තිතක් බවට පත් කරවනවා.

උදෑසන තෙතබරිත වීම, දහවල දාහයෙන් යුක්ත වීම, රාත්‍රීය සීතල වීම පවා හදවත තුළ අතිරේක විඩාවක් ගොඩනගනවා. නිරායාසයෙන් සිදුවන හුස්ම ගැනීම පවා ආයාසයෙන් සිදු කළ යුතු බව වැටහෙද්දි මම තව දුරටත් කුඩා තිතත් බවට පත් වෙනවා. සෑම හුස්මකම යාන්තමින් ඇහෙන නැසෙන පමණට සුසුම් ස්වරයක් ගැබ් වෙනවා. ඉතා තියුණු නොවුවත් සෑම විටම හදවත සමීපව ඇහුම්කන් දෙන මගේ දෙසවනට ඒ සුසුම් ස්වරය ඇසී නෑසී යනවා. දැස් පියවෙන එක්  නිමේෂයන් වලදී  මහා ඝෝෂාවක් ලෙසින් ම දෙසවන් මතින් හදවත වෙත පහත් වන්නේත් මේ සුසුම් ස්වරයම බව මම හඳුන ගන්නවා.

සියල්ල එක්ව මා කුඩා තිතක් වු පසුව, තිත් දහසක් මැද පවතින එහෙත් නොපෙනෙන කුඩා තිතක් බව දැනෙන්න පටන් ගන්නවා.සිතුවිලි අතර එහෙ මෙහෙ සැරි සරන නොපෙනී ඉන්නම වෙර දරන, විටෙක නොපෙනී යන්නට සැලසුම් කරන එක් කුඩා තිතක් බවට මා පත් වෙනවා.

නොහඳුනන හා හඳුනන එවන් තිත් ගණනාවක්  සැලසුම් සහගතව බොහෝවරක් මැකී නොපෙනී ගොස් ඇති බව, දැන හඳුන ගත් පසු, යමක් ලෙසින් කුඩාවට හෝ පවතින්නට පැවතිය යුතු බව සිතන කුඩා තිතක් බවට මා නැවත නැවත පත්වනවා. එලෙසින් තිතක් ලෙසින් හෝ මේ අඳුරු අගාධයේ, මේ අත්භුත සංගීත රාවයට සවන් දෙමින් පැවතිය යුතු බව නැවත නැවතත් මම සිතනවා.





Sunday, August 28, 2022

නිද්‍රාව.

 මම හිටියේ නිද්‍රාවක. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. ඒත් එහෙම පාවෙන ගමන් මම ආදරේ කරන්න ගත්තා." ආදරේ කරන්න " ඔයා එහෙම අහන්න ඉඩ තිබ්බා "ඔව්, ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. "කාටද?" ඔයා ආයෙම එහෙම අහන්නත් ඉඩ තිබ්බා. "ඔයාට, ඔව් මම ඔයාට ආදරේ කරන්න ගත්තා" මම එහෙම කියන්නත් ඉඩ තිබ්බා. ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී.


මම ආදරේ කරන්න ගත්තා. මම ඔයාට ආදරේ කරන්න ගත්තා. ඒක හරි හදිසියෙන් ඇති වුණේ. ඒත් අහම්බයක්ම නෙවෙයි. ආදරේ කියලා දෙයක් විශ්වාස නොකරපු මං ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා. හරියට අකුණක් පුපුරණවා වගේ. විදුලියක් කොටනවා වගේ. හරිම හදිසියෙන් හිතේ ආදරයක් ඇති උනේ. මම ඔයාව කාලෙක ඉදන් දැනන් හිටියා. අපි වරු ගණන් කථා කරලා තිබුණා. අපි එකිනෙකා වෙනුවෙන් ඉදලා තිබුණා. ඒත් ඒ කිසිම මොහොතක මම ඔයාට ආදරේ කරලා තිබුන්නෑ. ආදරේ හිතිලා තිබුන්නෑ. ආදරේ වෙලා තිබුන්නෑ. කොටින්ම ඔයා ගැන එහෙම කිසිම හැඟිමක්වත් තිබුන්නෑ. ඒත් මම පාවී පාවී ඉන්නකොට හදිසියෙම විදුලියක් ව⁣ගේ මගේ හිතට ඔයාව කඩන් වැදුනා.අකුණක් වගේ හිතට ඔයාම පතිත උනා. මම එහෙම කිව්වොත් හරි කියලායි මම හිතන්නේ. එතන ඉදන් මගේ හිත ටික ටික බර ගතියක් දැනෙන්න ගත්තා. මම ඔයාට ආදරේ කරනවා කියන්න මට දැනුනේ එතකොට. හරියට පුංචි අංශුවක් වගේ පුදුම සැහැල්ලුවකින් පාවෙවි ඉන්නකොට.

ඔයා මාත් එක්ක දවස් තුනක් කතා නොකර ඉන්න ඇති. කිසිම පණිවිඩයක් නැතුව. හරි හිතුවක්කාර තිරණයක් අරගෙන ඔයා එහෙම නිශ්ශබ්බද උන වේලාවේ තමයි මම නිද්‍රාවකට වැටුණේ. මට කරන්න කිසිම වැදගත් වැඩක් තිබුණේ නැති නිසා නෙවෙයි. මම පාවී පාවී ඔයා ගැන කල්පනා කළා. හීන මැව්වා. හීන දැක්කා. ඔයාගේ අතින් අල්ලගෙන මුහුදක වෙරළක වැල්ලක හවසක තනිවෙනවා හීන විදිහට පෙනුණා. මන්දස්මිති නැගෙන ඔයා⁣ගේ තොල් අතරින් හිනාවක් පනින්න නොදි මම ඔයාගේ තොල් වල හාදු තැවරුවා. ඔව් මම හීනෙන් දැක්කා. ඔයාට ම මේ වචන මේ විදිහට කියන්න තිබ්බා නම් ඔයා ලජ්ජාවෙන් රතු කර ගත්ත කම්මුල් එක්ක බිම බලාගෙන හිනා වෙන ගමන්, මගේ පිටට පාරක් ගහන්නත් තිබුණා. ඒත් මම මේ කිසි දෙයක් කියන්නේ ඔයාට නෙවෙයි නේ. මට දැන් මගේ හිත එක්ක කතා කරන එකත් ඔයත් එක්ක කතා කරන එකත් අතරේ වෙනසක් දැනෙන්නැ. හරියටම අපේ හුස්මත් හුස්ම ගන්නා හඬත්, හුස්ම හෙළන වේගයත් සමානයි.ඔව් මට එහෙම දැනෙනවා. අපි හරි සමානයි කියලා.

ඉතිං මම ඒ නිද්‍රාවේදි ඔයාට ආදරේ කරන්න ගත්තා. ආයෙ ආයෙමත් කියන්න බෑ. කවමදාවත් නැති විදිහට නොදැනුණ විදිහට හරි හදිසියෙන් එහෙම ආදරේ ඇති උනා. ආයෙමත් හීනයක් දකිනවා. ඔයා මගේ ලඟ ඉන්නවා, මාව බදාගෙන ඉඹිනවා, මගේ සුවඳ තැවරුණ කමිසයක් ඔයා තුරුල් කර ගන්නවා, ඔයා හිමිට ඒ කමිසෙ සුවඳ බලනවා.  හිමිට කඳුළක් පිහදානවා. මට එතකොට නම් හීනෙට ඕන දෙයක් වෙච්චාවේ කියලා හිතා ඇහැරෙන්න හිතුනා. ටිකක් කලබල වෙච්ච පාර එහෙට මෙහෙට දඟලද්දි අර හීනෙත් බොඳ වෙන්න ගත්තා. එක අතකට ඒ හීනේවත් බොඳ නොවී තිබුණදෙන් කියලා මම  සන්සුන් උනා. හීනේ ආයෙම පෙළ ගැහෙන්න පටන් ගත්තා. ඔයාගේ කඳුළු ටික ටික ගලන්න පටන් ගත්තා. පුංචියට පටන් ගත්ත ඉකියක් මහ ටික ටික සද්දෙන් ඇහෙන්න ගත්තා.

' මම ඔයාට ආදරෙයි දෙයියෝ' හීනේ අන්තිම කොටස ඔයා මහ හයියෙන් කෑ ගගහා මාව බඳා ගත්තා. ඕං එතකොටයි මම මාව දැක්කේ ලස්සනට මනමාලයෙක් වගේ අද පැල⁣දගෙන. හරියටම විදුලියක් වැදුනා වගේ උනා. මමත් ඔයාට ආදරේයි කියලා මම කිව්වා ට ඔයාට ඇහුන්නෑ. ඊට පස්සේ හැමදෙයක්ම බොඳ වෙන්න ගත්තා. දඩ බඩ ගලා ලැලී පුට්ටු උනා. මගේ හීනෙන් මාව අයින් වෙලා ආයෙම ඔයා ව පෙන්න ගත්තා. අඬලම ඔයා හොඳටම හෙම්බත් වෙලා කියලා කවුද කිව්වා ඇහුනා. තවත් මිනිස්සු ඒ හීනේ ඇතුළේ ඉදලා කියලා තේරුණේ එතකොටයි.  මට එක එක හඬවල් ඇහෙන්න ගත්තා. සමහර හඬවල් හරියටම හුරු පුරුදු උනාට කවුද කාගෙද කියලා පෙනුන්නෑ. සමහර හීන අපිට ඕන විදිහටම පෙන්නෑනේ.

" දැන් ඔය වැළහින්නක් වගේ ඇඬුවට,මේ  කොල්ලා වහ බීලා තියෙන්නේ ඔය අම්මණ්ඩිගේ වෙන සම්බන්ධයක් අතටම අහු උන හින්දලු" කවුද කාගෙද කියලා කියන්න බැරි හඩක් ආයෙම ඇහුණා. ඒ වෙලාවේ "නෑ, ඒක වැරදි ඒ වැරැද්ද කරේ මම, ඔව් වැරදි මම, වැරදි කරේ මම" කියන්න මට ඕන උනා.  ඒත් එක්කම ආයෙම ඔයා හීනෙට ආව, දෙතුන් දෙනෙක් ඔයාව උස්සගෙන වාහනෙකට දා ගත්තා. අන්තිමට මම නිද්‍රාවේන් නැගිටින්න හැදුවා උත්සහ කරා. ඔයා මගේ පණ, කියන්න ඕන උනා. පරිස්සමින් හිමින්, රිදෙයි කියලා කියන්න ඕන උනා. ඒත් එක්කම ආයෙම මාව වේගයෙන් පාවෙන්න ගත්තා.

මම හිටියේ නිද්‍රාවක. එහෙට මෙහෙට පාවෙවී. හරි හදිසියෙම මම ආදරේ කරන්න අරන් තිබුණා. ඔව්, මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් තිබුණා.  මම පාවෙවී පාවෙවී ඔයාව හෙව්වා. ඔයාට ඇහෙන්න "අනේ මම ඔයාට ආදරෙයි" කියලා කෑ ගහුවා. මම හිටියේ නිද්‍රාවකනේ  ඔයාට ඇහෙන්න නැතුව ඇති. එහෙම ඇහුනා නම් ඔයා පුදුමෙන් මගේ දිහා බලලා හිනා වෙයි. "මාත් ආදරෙයි" කියලා කියයි. මම ආයෙමත් හීනෙක ඔයාව හරි තදින් අල්ලගෙන. "අනේ, මම ඔයාට හරි ආදරෙයි". එහෙම කියලා හීමිට නලළ ඉඹිනවා.  මේ හීන, හීන නෙවෙයි සමහර කතා ලියවෙන්න තිබ්බේ මෙහෙම.

"අනේ මම හරි ආදරෙයි."ඒත් ඒ එක වචනයක්වත් දෙබස් විදිහට පිට උනේ නෑ. මොකද මම හිටියේ නිද්‍රාවකනේ. ඔහේ එහෙට මෙහෙට පාවෙවී. මට හිතුනා තව තත්පර ගානකට කළින් මම ඔයාට ආදරෙයි කියලා දැනුනා නම්, හිතුනා නම්, කිව්වා නම්,
ඒත් ඒ වෙනකොටත් මම නිද්‍රාවට පත් වෙමින් ඉන්න ඇති. මට ඒ තරමටම ආදරේ මඟ හැරෙන්න ඇත්තේ, ඔයාව මඟ හැරෙන්න ඇත්තේ, මම ජිවත් වෙච්ච හැම මොහොතකමත් නිද්‍රාවට පත් වෙලා ඉන්න ඇති. හරියට මේ දැන් වගේ, මැරිච්ච මිනිහෙක් වගේ ඔහේ පා වෙවී ඉන්න ඇති. ඔව් මම මැරිච්ච මිනිහෙක් වගේ නිද්‍රාවක ඔහේ පා වෙවී ඉන්න ඇති. 




Friday, June 17, 2022

දන්නවද? සොඳුරිය

නිල් පැහැති අඳුරු පෙදෙසක

මිහිදුමට සීතලවු තෙතබරිත හවසක
හදවත නැගෙන වේදනාත්මක ඉකියක
ස්වරය සමාන
කුමන වේදනාත්මක කුලකයටද දන්නවද?
සොඳුරිය

රිදුම් දහසක් පිට ගී ගැයෙන හදවතේ එක කුටීරෙක
සුගන්දවත් මතක අල්ලාප සල්ලාප මධු  සාදයක
විරහා ගීත ඇල්බම සිඹින අළු පැහැති දුමාරයක
සෝ සුසුම් නද
කුමන තාලයකට අයිතිදැයි දන්නවද?
සොඳුරිය

රතු පැහැති විෂ පෙවු රෝස මල් පොකුරක
තොල් මතින් ගිලිහුනු කුඩා තුහින අංශුවක
ප්‍රේමය පෙරා මැන ගිල්ලවන වේදනා කවියක
සිහිරූම් සලකුණු
කොයිතරම් නම් රිදවනවදැයි දන්නවද?
සොඳුරිය

කොහෝ හෝ සීතලවු පෙදෙසක
ලා පැහැති වර්ණ ගැල්වු අඩ අඳුරු කුටියක
සරාගී නෙතින් ආදරය ඉඟි කරන හවසක
තවත් එක් අඳුරු වු කුටියක
පතොක් පැළයක් මිය යනෙන බව දන්නවද?
සොඳුරිය





Friday, March 25, 2022

C ට ආදරෙන්,

 ආදරණිය C,


දන්නවද? C. මම කියන්නෑ මම ලිව්ව හැම කවියක්ම ඔයා වෙනුවෙන් ලිව්වා කියලා. හැබැයි ඒ ලියන හැම වේලාවකදීම ඔයා මගේ මතකයේ හිටියා. මිනිස්සු දාහක් අතරේ හිටියත් මට ඔයාව මතක් වෙන වාර මගේ ජිවි⁣තේ තිබුණා. තව දුරටත් තියෙනවා. හේතුවක් නැතිව කල්පනා කරපු කරන වේලාවල්, හේතුවක් නැතිව කඳුළු ආපු, කඳුළු එන වේලාවල් තව දුරටත් තියෙනවා. මේ දේවල් ඔයාට කියන එකේ තේරුමක් නෑ කියන්න දන්නවා C. ඔයා මගේ ජීවිතේ අමාරු කළා කියලා තවදුරටත් මම ඔයාට කියන්නෑ.  ඔයා මගේ ජීවිතේ කුඩා පරිච්ඡේදයක් දන්නවා. ඔයා ඒ පරිච්ඡේදයේ  ලොකු ම ජේදයක්.  ඒත් එතන ඉදන් හැම පරිච්ඡේදයක්ම මට විඩාවක් උනා. මට මම ගැනම පිළිකුලක් ඇති වෙච්ච වාර අනන්තවත් තිබුණා. මම දන්නවා ජිවිතේ හැමදාම එකම සරල රේඛාවක තියෙන්නෑ කියන්න. මට හිතෙනවා මම ඔයාගේ ජිවිතේ එක වැරදිකාරයෙක් කියලා. ඒ පසුතැවීම නිසා වෙන්න ඇති මම පහුගිය ටිකේම ඔයාට ලියන්න ඇත්තේ. ඒ ලීවිම් වලින් මට ඔයාගේ සැප දුක අහන්න ඕන උනේ නෑ C. මම දන්නවා ඔබ කොතරම් සුව පහසුවෙන් ඉන්නවද කියන්න.

මම හිතන්නේ C, මගේ හදවතේ කොටසක ඇති උන කඩා වැටීමක් මම සකස් කර ගන්න ඔයාව තෝර ගන්න ඇති. හැමදාමත් මට ඉන්න විශ්වාසවන්තම කෙනා විදිහට ඔයාව මතක් වෙනවා. කොච්චර අමාරු කාලයක උනත් මට ඔයාව ඒ විදිහටම මතක් වෙයි. හැමදාම මතක තියා ගන්න, කාලයකට පස්සේ උනත් මම ඔයාට ලියනවා නම් ඒ ඉතාම දරුණු විදිහට මාව කඩන් වැටිච්ච වෙලාවකදී කියන්න. එයින් අදහස් වෙන්නෑ අනිත් හැම වේලාවකම මම ඉතාමත් ප්‍රීතීයෙන් ඉන්නවා කියන්න. මිනිස්සුන්ට එහෙම ඉන්න බැහැනේ C. ඒත් ඒ හැම වෙලාවකදීම මම ඉතාම සැහැල්ලුවෙන් හිනා වෙනවා වෙන්නම ඕන. මම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට ඔයාව අමතක වෙනවා නෙවෙයි. ඒ හැම වේලාවකම මට හිතෙනවා මාත් එක්කම ඔයාත් හිනා වෙනවා ඇති කියලා C.

ආත්මගත පුරුදු ගැන, සංසාරගත බැඳීම් ගැන මම විශ්වාස කළා. බොෟද්ධයො හැටියට අපි ආත්මය විශ්වාස කරනවානේ. මම ගොඩ නඟා ගත්ත හැම සම්බන්ධයකටම මොකක් හරි හේතුවක් ඇති කියන්න මම විශ්වාස කළා. ඒත් මම එහෙම විශ්වාස කරපු හැම සම්බන්ධයකම තිබ්බේ ආත්මාර්ථය විතරයි. තවදුරටත් එහෙම සංසාරගත බැඳීම් ගැන මම විශ්වාස කරන තැනක නැහැ. අපි ආයෙමත් කවමදාවත් මේ සංසාරේ පෙම්වතුන් විදිහට මුණ නොගැසිය යුතුයි C.

" සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු,
සංසාරෙන් අපි සමු ගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු"

ආදරේ පිරුණු රාත්‍රීන් වල ඔබත් මමත් අතර කෙටි පණිවිඩ මඟින් හුවමාරු උන ගීතයේ මේ කොටස මතකද C. මා වෙනුවෙන් ඔබේ හදවත එවන් ප්‍රාර්ථනා තවදුරටත් දරා හිදින්නේ නැති බව මා දන්නවා. C, ඔබ වෙනුවෙන් එවන් වු ප්‍රාර්ථනයක් මගේ හදවතේ ද නොමැති බව ඔබ දැන ගත යුතුයි. C, සංසාරගත ප්‍රේමයක් නොමැති බවත් එයින් අත්මිදිය යුතු බවත් මා හොඳින් ම දන්නවා C.

ඒත් දන්නවද C, ඔයා මට ආදරේ  කරන්න පුළුවන් සුන්දරම විදිහට ආදරේ කරා. ඒ ආදරේ කරපු  විදිහට මමත්  ආදරේ කරා. ඒ හැමදේම මතකයක් වීම ගැන මම අද සතුටුයි. ඒ මතක වලට වගේම ඔයාටත් ආදරෙයි.

මේ දේවල් මම ලියන්න ඕන දේවල් නෙවෙයි කියන්න දන්නවා C. ඒත් ඔයා දන්නවද මට දැන් වචන නෑ C. මට  පාළුයි කියලා කියන්න වචන දන්නෑ. මම ඔයාට රිද්දන්න හිතාගෙන ලියන්නෑ. ඔයාට රිදෙන්නෑ කියන්න දන්නවා. මේ වචන මට  මගේ ඇතුළාන්තය හදා ගන්න උදව් වෙනවා C.

ආදරණිය C, ඉතිං මේ ලොකේ පුංචිම පුංචි මනුස්සයෙක්ගේ හිත හදා ගන්න උදව් උනා කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන් වෙයි,

හැමදාටම ආදරෙයි.
මම A. 



Thursday, January 27, 2022

පසුව ලියමී,


මා නොමැති දිනයක
ඉදින් ඔබ හුදකලා වීමද?
මා නොමැති තැන් වල
මා ඇතැයි සිතිමද?
‍‍දැන් ඉතිං, අත්හළ යුතුය
ප්‍රේමිය.

සෘතුවකට පසු සෘතුවක
‍තැවැරෙන ප්‍රේමයක් වෙද?
ඉතිං, ඔබ ඒ වැළඳ හිනැහෙන්න
ප්‍රේමිය.

උද්‍යානයක කෙළවර
වෙන් කෙරුණු බංකුවක් ඇත
හැම වසන්තයකම
ඉතිං, එය හිස් නොකරන්න
ප්‍රේමිය.
පසුව ලියමි.
මම ඔබට ආදරෙයි.



Saturday, November 20, 2021

කැමැත්තෙමි

මම ලියන්නට කැමැත්තෙමි.
මහ පොළව මත හිද,
මහ විසල් අහස ගැන.... 


මම සිතන්නට කැමැත්තෙමි.
තත්පරත් මියෙන අවකාශයක සිට,
හිතක නොමියෙන සිනහවන් ගැන.....
 

මම දකින්නට කැමැත්තෙමි.
උසැති කඳු මුදුනට පෙනෙන,
හිරු සැගව යන ක්ෂිතිජය.....
 

මම සිඹින්නට කැමැත්තෙමි.
සුළඟ විසි කළ මලක්,
දෝත පා පිළි ගන්න වැලිබිම.....
 

මම නිදන්නට කැමැත්තෙමි.
ලේ පැහැති කඳුළු කැට,
වැටි සැඟවෙන තෙත්බිම.....





Saturday, November 6, 2021

"මැණිකේ මගේ හිතේ"*

 

ඇසෙන විට
"මැණිකේ මගේ හිතේ"*
තනි කකුල තාලයට සෙලවේ
සෙමින් කියැවේ
"මගේ හිත නෑ මටම මෙල්ල"*
 
අවුරුදු දොලහක් තිස්සේ
ටයිල් නොකළ ගේ බිම
ඇස් අඟට දිස්වේ
ඊට ඉහළින් බිත්තියේ
ඇණ ගෑසු බ්ලොක් ගලක් මත
පදක්කම් කිහිපයක් හිනැහේ
 
කියන විට
මගේ මැණිකේ දුක හිතේ
දකුණු අත මිට මේලවේ
වැරෙන් නතරවේ
කැළල ළඟ කපා දැමු කකුලේ
 
ලොකු කෙල්ල දැන් දොළහ වසරේ
දොස්තර කෙනෙක් වෙනවාමයි කියනවා
ඔන්ලයින් පංති යන අතරේ
හාල් එකසිය හැටයි සීනි නෑ බෝතලේ
බඩගීනි කියනකොට ඇහෙනවා
කුස්සියේ දොස්මුරේ
"පන්සීය තියා ගමු
ඔන්ලයින් වලට ඩේටා ඕනනේ,
පන්ති සල්ලිත් දෙන්න වෙයි ඔන්න
මේ දෙවෙනි සතියනේ"
 
කියන විට
මගේ මැණිකේ දුක හිතේ
රන් විමනයි, මිණි පහණයි
කන්න දැයි මට සිතේ
ඇසෙන විට
"මැණිකේ මගේ හිතේ"*
දුක නිවෙයි
අපි ගිහිල්ලලු නේද
දැන් ජාතියන්තරේ
 
* උපුටන
*"මැණිකේ මගේ හිතේ" (ගීතය)

FourTwentyAMThought

මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...